-Rashmika Mandawala-
‘Shawshank Redemption’ ෆිල්ම් එකේ 'රෙඩ්' අවුරුදු හතලිහකට පස්සේ හිරෙන් නිදහස් වෙලා ඇවිත් පොඩි සුපර් මාකට් එකක වැඩ කරනවා. එතනදී එක අවස්ථාවක ඔහු තමාගේ වැඩ පරීක්ෂකවරයාගෙන් අහනවා ටොයිලට් එකට ගිහින් එන්නද කියලා. එවෙලේ වැඩ පරීක්ෂකයා ඔහුව කැඳවලා කියනවා,
උඹට චූ බර හැදෙන හැම වෙලාවෙම මට කිය කිය ඉන්න ඕන නෑ කියලා.
The Shawshank Redemption (1994) චිත්‍රපටයේ 'රෙඩ්' (Red) ගේ චරිතයේ රූප රමුවක් (මෝගන් ෆ්‍රීමන් රඟන)
කොහොම වුණත් ටොයිලට් එකට යන ගමන් රෙඩ් කියනවා මම අවුරුදු හතලිහක් තිස්සේ චූ කළේ කාගෙන් හරි අහලා අනුමැතිය ලැබුණට පස්සේ. දැන් එහෙම අහන්නේ නැතිව මට චූ බිංදුවක්වත් පිටවෙන්නෑ කියලා.
සරලවම මේ කතාවේ ඉතාම භයානක ඒත් ගැඹුරු ඇත්තක් තියෙනවා. අවුරුදු හතලිහක් කියන්නේ දීර්ඝ කාලයක්. මනුස්සයෙක් එහෙම කාලයක් එකම ක්‍රියාදාමයක ඉන්න පුරුදු වුණාට පස්සේ එයාට ඒකෙන් මිදෙන්න අමාරුයි. මොකද රෙඩ්ට නිදහස කියන එක ගැන කිසිම හැඟීමක් නෑ. අවුරුදු හතලිහකට පස්සේ හිර ගෙදරින් එළියට ආවට පස්සේ එයාට එළියේ ලෝකයක් නෑ. ඔහු හැඩ ගැහුණ ක්‍රමය නැත්නම් සිස්ටම් එකට නෙමෙයි මේ ලෝකේ දුවන්නේ.
මේ කාරණය අපි අපේ ජීවිත ඇතුළට ඇප්ලයි කර ගත්තොත් පාසල, ආගමික සංස්ථාව, රැකියා පුහුණුව ආදී මේ සේරගෙන්ම කරන්නේ අපිව මේ ක්‍රමයට සුදුසු මිනිහෙක් කරනවා මිසක් අපි සැබෑ පුද්ගලයෙක් කරන එක නෙමේ. මේ ක්‍රමය ඇතුළෙ අපිට දුවන්න ඇති තරම් රේස් දීලා තියෙනවා. හොඳ වාහනයක්, ගෙයක්, ලස්සන බිරිඳක් පවුලක්, එතනින් එහාට තවත් සුඛෝපභෝගී ජීවිත. එකක් ඇචීව් කරද්දී තව එකක්. රේස් එකේ දුවන අතරේ අපි නොදැනුවත්වම මේ රේස් එකේ හිරකාරයෙක් වෙලා ඉවරයි. අන්තිමට අපිට ලන්ච් ටයිම් එක එනකන් කන්න බැරි, ටයි එක කෝට් එක නොදා වැඩට යන්න බැරි, එහෙම කරන කෙනෙක්ව පිස්සෙක් විදියට දකින, තැනකට පත් කරනවා. කොටින්ම කිව්වොත් නිදහස කියලා දෙයක් පෙන්නුවොත්, ඒක පෙන්නන මිනිහට ගහන ජාතියේ තත්වයකට පත්වෙනවා. ඒ අය කියන්නේ අපි හැමෝටම මෙහෙම තියෙනවා. ඒක සාමාන්‍යයි කියලා.
මේ ක්‍රමයට විරුද්ධව ඔබ රේස් එක නැවැත්තුවොත් වෙන්නේ මේ ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වෙන එක. එතකොට ඔබට හුදෙකලා වෙන්න වෙනවා. නැත්නම් සියදිවි නසාගන්න වෙනවා.

වාසනාවට ඔබට ඔබ වගේ පිරිසක් හමුවුණොත් එතන පොඩි කල්ට් එකක් හදාගන්න ලැබෙනවා. හිපි, ජිප්සි වගේ ඒවා එන්නේ මේ වගේ ජීවත්වීම කියන එක ගැන වෙන අදහසක් හරහා. ගහක් හුළඟට වැනෙන හැටි, ඒකේ කුරුල්ලෝ වහන හැටි, පාට වෙනස් වෙන හැටි වගේ මේ දේවල්වල සුන්දරත්වයක් විඳින්න නොලැබෙන ජීවිතයකින් අපිට ඉතුරු වෙන්නේ මොනවද කියන එක ප්‍රශ්න කළ යුතුයි.
අද තියෙන්නේ අර පැරණි වහල්භාවය නෙමෙයි. ඒකෙදි ලැබුණෙ දුක විතරමයි. නමුත් නූතන වහල්භාවය ඇතුළෙ ඔබව පිනවන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ඒවට ඔබ ලොකු වියදමක් කරන්නත් ඕන. එතනදී ඔබට පෙන්නනවා බොහොම සාර්ථක ව්‍යාපාරික චරිත. ඔබටත් ඉලක්කයක් දෙනවා අන්න අර වගේ කෙනෙක් වෙන්න. එතකොට නිදහස ගන්න පුළුවන්. නිදහස තමයි සල්ලි කියලා. ඒ වියදම කරන්න ඔබ හොඳට හම්බ කරන්න ඕන. හම්බ කරන්න නම් දිවා රෑ නැතිව මේ රේස් එකේ දුවන්න ඕන. ඉතින් මේ චත්‍රයේ දිවීම අඩු වැඩි වශයෙන් අපි හැමෝම කරනවා. මොකද අපි හැඩගැහිලා තියෙන්නේ, අපිව හදලා තියෙන්නේ මේ ක්‍රමය තුළම නිසා.
මේ කියන කාරණයට ධනවාදී-සමාජවාදී කියලා වෙනසක් නෑ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙම නැතිව මේ ලෝකේ දියුණු වෙන්නේ කොහොමද කියලා. අන්න එතනදී අපිට හිතන්න වෙනවා දියුණුව කියලා අපි මේ විශ්වාස කරන දේ තවදුරටත් අර්ථ සම්පන්නද කියලා. එහෙම නැත්නම් ඊනියා දියුණුව වෙනුවට අපිට ගැලපෙන දියුණුවක් ගැන අදහසක් නිර්මාණය කරන්න. හැබැයි ඒ සේරම මේ රෙස් එක අතෑරියොත් විතරයි. එතකන් කෙනෙක්ට මේ කියන දේත් නිකන්ම විහිළු කතාවක් විතරයි කියන එකත් ඇත්තක්.

සටහන - රශ්මික මණ්ඩාවල
(මෙම සටහන 'Rashmika Mandawala' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)











