හැත්තෑ දෙවසරක ලාංකේය සිනමාභිනන්දනය යන මැයෙන් ජනාධිපති සිනමා සම්මාන උළෙල ඉකුත්දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂයට නැංවුණේ 2016, 2017 සහ 2019 යන සිනමා වර්ෂ ත්‍රිත්වයට ම අදාළ ඇගයීම් ප්රදානය සඳහා ය. වසරක් පාසා පැවැත්විය යුතු සම්මාන උළෙලක් වුවත් මෙවර නොපැවැත්වුණු දෙවසරක සම්මානයන් ද ප්රදානය කරමින් සම්මාන උළෙල තුනක ක්‍රියාන්විතය එකවර සිදුකිරීමේ අභියෝගය ජාතික චිත්‍රපට සංස්ථාව වෙත පැවරිණි. එහි වත්මන් ක්‍රියාකාරී සභාපතිනිය වන සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු විසින් උත්සවය පිළිබඳ සියලු වගකීම් තමා විසින් දරන බව ද උළෙලාරම්භයේ දී ම පවසා සිටියාය. එහෙයින් මේ සටහන පළ කරනුයේ සම්මාන උළෙලේ ගුණදොස් දැන්වීම සඳහා ය.
ජනාධිපති සිනමා සම්මාන උළෙල පිළිබඳ බොහෝ දෙනෙකුට ඉඟි සැලවූයේ මෑතකදී ය. ඒ සමගින්ම ඇරයුම්පත් බෙදා දීම ඇරඹුණත් තැපැල් දෝෂ මූලික ඇතැම් සංසිද්ධීන් මත නිසියාකාරව ඇරයුම් බෙදී තිබුණේ නැත. ඇතැම් සම්මානලාභීන් පවා නිවෙස්වලට වී සිටියේ ඔවුන්ට දුරකථන ඇමතුමක් පමණක් ලැබී නිසියාකාර ආරාධනාවක් නොලැබුණු බැවිනි. එනිසා සංවිධායක ක්රියාකාරීත්වයේ විධිමත් ක්‍රියාවලියක් ඒ සඳහා විකල්ප ලෙස තෝරාගැනීමට තරමක් ඔවුහු අපොහොසත් වූහ. සම්මාන උත්කර්ෂය වෙත පියමනින දිනයේ නෙළුම් පොකුණ රඟහල පිටත පරිශ්‍රයේ සිටම විවිධ සිනමා මතකයන් ආවර්ජනය වන විචිත්රාංගයන් දක්නට ලැබුණි. දේශපාලන සහ කලා පර්ෂදයන් නියෝජනය කරන සුලවතුන්ගේ පැමිණීම මධ්‍යයේ උළෙල ඇරඹුණු අතර සතුටට කරුණක් වූයේ බොහෝ ජ්‍යෙෂ්ඨ සිනමා ශිල්ප ශිල්පිණියන් උළෙලට ඇරයුම් ලබා තිබීම ය. නිලි රැජිණ ආචාර්ය මාලනී ෆොන්සේකා, ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය ප්රමුඛව ස්විනීතා වීරසිංහ, ස්වර්ණා කහවිට, ශාන්ති අබේසේකර, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, අනුලා කරුණාතිලක, අමරසිරි කලංසූරිය, ශ්‍රියානි අමරසේන, සතිශ්චන්ද්‍ර එදිරිසිංහ, නීටා ප්‍රනාන්දු, වීණා ජයකොඩි, ස්වර්ණා මල්ලවාරච්චි, ධර්මසිරි බණ්ඩාරනායක, සුමනා අමරසිංහ, කාන්ති ලංකා, මැණික් කුරුකුලසුරිය, දයා හේමන්තා අබේසේකර, අවන්ති අපෝන්සු, විජේරත්න වරකාගොඩ, විල්සන් කරු, නදීකා ගුණසේකර, අසංකා මොණරවිල, තිස්ස ලියනසූරිය, තිලකරත්න කුරුවිටබණ්ඩාර, ක්ලීටස් මෙන්ඩිස්, දමයන්ති ෆොන්සේකා, මියුරි සමරසිංහ, යශෝධා විමලධර්ම, කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනී වැනි පිරිසක් උළෙලට පැමිණ සිටියහ. පුරෝගාමී, ස්වර්ණසිංහ සහ විශ්වකීර්ති සම්මාන ප්රමුඛව ප්‍රදානිත 90කට අධික සම්මානයන් සඳහා විනිශ්චය මණ්ඩලය වූයේ මහාචාර්ය පැට්රික් රත්නායක, ආචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය සුනිල් රණසිංහ, මහාචාර්ය සේන නානායක්කාර, ආචාර්ය ප්‍රභා මනුරත්න, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිතුමිණ රත්නමළල සහ එස්. විශ්වනාදන් යන පිරිස යි. මෙතෙක් කල් පැවැත්වුණු සම්මාන උළෙල හා සංසන්දනය කරන කල්හි මෙම විනිශ්චය මණ්ඩලයේ ඇතැම් නිර්දේශ මවිතයට තුඩු දෙන සුළු වුවත් ඇගයීම් බොහොමයක් පිළිගත හැකි මට්ටමේ පැවතිණි. ඒ මෙසේය.
වෙන වෙනම සම්මානයන් ගැන නොවිමසා අසාධාරණයට ලක්වූ පිරිස සහ සාධාරණ විනිශ්චයන් පමණක් මෙලෙසින් හුවා දක්වමි. මෙම සම්මානේ උළෙලේදී පිරිනැමුණු කලාකරුවෙකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ස්වර්ණසිංහ සම්මානයෙන් පිදුම් ලැබූ රංගධර රවින්ද්‍ර රන්දෙණිය, රංගධාරිණි නීටා ප්‍රනාන්දු සහ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා යන චරිතත්රය මේ සඳහා නිර්දේශ කර ගැනීම මෙම උළෙලේ දුටු සුභ ලකුණකි. එමෙන්ම සිනමාවේදී, ප්‍රකට නළු ශාන්ති අබේසේකර, සටන් අධ්යක්ෂ සහ සිනමා නළු ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සිනමාවේදී ඇන්ටන් ග්‍රෙගරි, සිනමා නිළි ස්වර්ණා කහවිට, කැමරා අධ්යක්ෂ කේ. ඩී. දයානන්ද, සිනමා නිර්මාපක සුනිල් සෝම පීරිස් යන චරිත සය වෙනුවෙන් පිරිනැමුණු පුරෝගාමී සම්මානත්, ජාත්‍යන්තර ජයග්‍රහණ මෙරට සිනමාව වෙත සමීප කිරීම අගයනු පිණිස අනෝමා ජනාදරී සහ සංජීව පුෂ්පකුමාර අගයා පිරිනැමූ විශ්වකීර්ති සම්මාන යුගලත් අගය කළ මනාය. ඉන්මතු එළඹුනේ ජූරියේ කුසලතා ඇගයුම් සහ විශේෂ ජූරී සම්මාන වාරයයි. බොහෝ උළෙලන්හි නොඇගයුණු "ගෝල්" චිත්‍රපටයේ සඳුන්ගේ චරිතය රංගනය කළ ඩේවිඩ් කරුණාරත්න සහ කල්පගේ මව ලෙසින් චරිත රංගනය කළ නයනා හෙට්ටිආරච්චි, "කාල" චිත්‍රපටයේ ලමා රංගනය වෙනුවෙන් ජලේශ චාරුනේත්ර සහ "අරුණලු ගීත ගයන........" ගීතය ගායනාව වෙනුවෙන් හිමාෂ මනුප්‍රිය දිසානායක, "ධර්ම යුද්ධය" චිත්‍රපටයේ බාල දියණිය ලෙසින් චරිත මැවූ විනුම් වින්සදී (හිරු ජනප්‍රියම ළමා නිළිය වුවත් විශේෂ ඇගයුමක් හිමි නොවීය), "පහ සමත්" චිත්‍රපටයේ ළමා නළු නිළි කැළ නියෝජනය කළ අමිරු කෝරළගේ (ඔහු පමණක් සරසවිය සම්මානයෙන්ද ඇගයුම් ලද්දේය), ශාරද් චන්දුම, සේජාන් හංසන සහ කිවිඳි කසුන්දරා, "පත්තිනි" චිත්‍රපටයේ රංග වස්ත්‍ර නිර්මාණය වෙනුවෙන් වෙනුක වික්‍රමාරච්චි සහ රංග වින්‍යාසය වෙනුවෙන් චන්දන වික්‍රමසිංහ, "මෝටර් බයිසිකල්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සමනලී ෆොන්සේකා, "ඒ ලෙවල්" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් සචිර විජේසිංහ (ඔහු මීට පෙර දෙරණ උළෙලේ විශේෂ ඇගයුම් සහතිකයක් ලැබූ අයෙකි), "සක්කාරං" හි ප්‍රසාදිනී අතපත්තු, "සරුංගල්" හි චමත්කා ලක්මිණී, "ආලෝකෝ උදපාදී" හි දර්ශන් ධර්මරාජ්, රුවන් කොස්තා, "ස්වරූප" හි තුසිත් ලක්නාත් යන අය මෙම උළෙලේ කුසලතා සහ ජූරී ඇගයුම්වලින් පිදුම් ලැබූහ. ඔවුන් එසේ සම්මාන ලබන කල්හි "බන්ධනය" චිත්‍රපටයේ සහේලි සදිත්මා සතරසිංහ, "ආලෝකෝ උදපාදී" චිත්‍රපටයේ මෞලි මතීෂ, "මධුර චාරිකා" චිත්‍රපටයේ සුදම් කටුකිතුල, "ගෝල්" චිත්‍රපටයේ තෙෂාන් තුෂ්මික සහ සේවියර් කණිෂ්ක, "උදුම්බරා" චිත්‍රපටයේ හර්ෂි රසාංගා, "අලිකතාව" චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කෞෂල්‍ය නිර්මාණ සහ ගායනය වෙනුවෙන් ඉරෝෂන් මධුසංක, "දැවෙන විහඟුන්" චිත්‍රපටය වෙනුවෙන් ලියෝනි කොතලාවල සහ "ධර්ම යුද්ධය" වෙනුවෙන් ධනුක ඩිල්ෂාන් කුසලතා පූර්ණ වුවත් කුසලතා සම්මානයෙන් දුරස් වී තිබීම දුකකි. "පහ සමත්" චිත්‍රපටයේ සියලු දරුවන් දක්ෂ වුවත් ඉන් සිනමාරූපී රංගනයක් දක්නට හැකිවූයේ අමිරුගේ සහ ශාර්ද්ගේ පමණි. එනමුත් ඊට වඩා සිනමාත්මක රංගනයක් ඉහතින් කී හර්ෂිගේ, සහේලිගේ, කෞෂල්‍යගේ සහ සුදම්ගේ රංගනයන් තුළින් ගම්‍ය විය. එමෙන්ම මා දක්නා අයුරින් විශේෂ ජූරී ඇගයුමක් ලබා දිය යුතු වන්නේ අතිවිශේෂ භාවිතාවයක් වෙනුවෙනි. රංගන ශිල්ප ශිල්පීන් හෝ අනෙකුත් ශිල්පීන් තමා සිටි ස්ථානයේ සිට ඉහළට පැමිණි අවස්ථාවන් අදාළ වර්ෂයන්හි ඇතොත් ඒවා ඇගයීම මේ තුළින් සිදුවිය යුතු වුවත් එසේ ඇගයුනේ නයනා හෙට්ටිආරච්චි පමණක් ම ය. ලියෝනි කොතලාවල සහ "වෛෂ්ණාවී" චිත්‍රපටයේ වීණා ජයකොඩිගේ රංගනයන් ඔවුන් සිටි ස්ථානයෙන් මුදුන්පත් කළ රංගනයන් වු නමුදු ජූරිය නෙත් මානයේ ඒවා සූදීප්තිමත් නොවී ඇත. එය මවිතයට හේතුවකි. එමෙන්ම ප්‍රථම වතාවට ලාංකේය චිත්‍රපට කලාව තුළ හඬ භාවිතාව හඬ රංග කලාවක් බවට පත් කළ "ඝරසරප" හි ජැක්සන් ඇන්තනී මෙන්ම විශේෂ භාව පරාසයක "දිව්‍ය නදී ගලා......" ගීතය ගායනා කළ දුමාල් වර්ණසූරිය ද විශේෂ ජූරී ඇගයුම් ලැබීමට තරම් වුවත් ජූරි භවතුන් රසිකයා තරම් ඔවුන් ග්‍රහණය කරගැනීමට අපොහොසත් වූහ. හොඳම නළුවා සහ නිළිය සඳහා වන සම්මාන 2016 / 2017 සහ 2018 වසර සඳහා පිළිවෙළින් පිරිනැමුණේ ස්වර්ණා මල්ලවාරච්චි සහ දසුන් පතිරණ, සේමිණී ඉද්දමල්ගොඩ සහ මහේන්ද්‍ර පෙරේරා මෙන්ම අනෝමා ජනාදරී සහ මහේන්ද්‍ර පෙරේරා යන ශිලප ශිල්පිණියන් හට ය. සේමිණී ඉද්දමල්ගොඩ සැමදා සම්මානයන් සඳහා නිර්දේශ වෙමින් අසාධාරණකම් වින්ඳද අවසානයේ ඇය නිසියාකාර රාජ්‍ය ගෞරවය ම හිමි කරගත්තා ය. "28" චිත්‍රපටයේ සුද්දිගේ චරිතය යනු මෙරට සිනමා ස්ත්රීත්වයේ තවත් නොමැකෙන චරිතයක් ම ය. එනිසා එන සම්මානය රසිකයා බලාපොරොත්තු වූවකි. මහේන්ද්‍ර පෙරේරා දෙවරසක ම හොඳම නළුවා වූ අතර ස්වර්ණාවන් සහ අනෝමා ජනාදරිය සම්මානිත වීම ද අතිශය ප්රශස්ත ය. දසුන් පතිරණ හොඳම නළුවා වන විට හේමාල් රණසිංහ (ආදරණීය කතාවක්) සඳහා නිර්දේශ වුවත් නිර්දේශ අතර "සක්කාරං" හි බිමල් ජයකොඩි නොමැති වීම ප්‍රශ්නාර්ථයක් ඉස්මතු කළ අතර දසුන්ගේ ද අදාළ වර්ෂයේ "මෝටර් බයිසිකල්" රංගනයට වඩා "සයපෙති කුසුම" රංගනය සම්මානයට තරම් ප්රශස්ත බව හැඟේ. එමෙන්ම 2016 සඳහා පූජා උමාශංකර්ගේ අමතක කළ නොහැකි "සරිගම" හි මරියා චරිතය නිර්දේශ අතර හෝ නොමැති වීම ද කණගාටුදායක ය. හොඳම සහය රංගනයන් සඳහා සම්මාන පිරිනැමුණේ ද එලෙසිනි. 2016 වසර සඳහා "මෝටර් බයිසිකල්" වෙනුවෙන් වීණා ජයකොඩි ද "පත්තිනි" වෙනුවෙන් අරුණි රාජපක්ෂ ද සම්මානිත වූ අතර එම වර්ෂයේ සහය නළුවා වූයේ "ආදරණීය කතාවක්" හි විදූගේ භූමිකාව කළ බිමල් ජයකොඩි ය. අරුණි සහ බිමල් සම්මාන ලැබීම අතිශය සාධාරණ අතර වීණා ජයකොඩි වැනි ශිල්පිණියක් අගය කිරීම ද වටිනේය. එනමුදු ඇයගේ මෙම චිත්‍රපටය හා සංසන්දනය කරන කළ "වෛෂ්ණාවි" චිත්‍රපටය සඳහා කළ සහය රංගනය ඉහළින් ස්ථානගත කළ හැකිය. එමෙන්ම අදාල වර්ෂයේ "ඇගේ ඇස අග" චිත්‍රපටයේ රිතිකා කොඩිතුවක්කුගේ රංගනය මේ සම්මානයට නිතැතින්ම ගැළපුණද ජූරිය එය දැක නොතිබිණි. 2017 සඳහා හොඳම සහය නිළිය වූයේ නීටා ප්‍රනාන්දු ය. ඒ "ස්වරූප" චිත්‍රපටය වෙනුවෙනි. එනමුත් එම වසරේ "ධර්ම යුද්ධය" චිත්‍රපටයේ කුසුම් රේණුගේ චරිතය එම සම්මානය වෙනුවෙන් අතිශය උචිත බව හැඟේ. එම වසරේ හොඳම සහය නළුවා ලෙසින් "සුලඟ ගිනි අරන්" චිත්‍රපටය සඳහා රොෂාන් රවීන්ද්‍ර සම්මාන ලැබූ අතර 2018 වසර සඳහා සම්මානිත වුයේ "නිදහසේ පියා" චිත්‍රපටයේ පූජිත ද මෙල් සහ "දැවෙන විහඟුන්" හි සමනලී ෆොන්සේකා ය. එම සම්මානයන් ද අතිශය සාධාරණය.
වසරේ නැගී එන නළු නිළියන් සඳහා වන සම්මානයන් ගැන ද කතාබහ අත්‍යවශ්‍ය ය. 2016 වසර සඳහා "සයපෙති කුසුම" වෙනුවෙන් යශෝධා රසඳුනී මෙන්ම ජෙහාන් ශ්‍රීකාන්ත් අප්පුහාමි නැගී එන නළුවා සහ නිළිය වීම අතිශය සාධාරණය. 2017 වසර සඳහා නැගී එන නළුවා ලෙසින් "ආලෝකෝ උදපාදී" හි ගෝදත්ත තෙරුණ් වූ ෂම්මු කසුන් සහ නැගී එන නිළිය ලෙසින් "නිනෝ ලයිව්" හි යුරේනි නොෂිකා ද සම්මානිත විය. ෂම්මු යනු කිසිඳු සම්මාන උළෙලක නොඇගයුනු නමුදු අතිශය ප්‍රතිභාන්විත රංගන ශිල්පියෙකි. එහෙයින් ඔහු අතැතිව එම සම්මානය තිබීම අතිශය සාධාරණය. එනමුත් යුරේනි නොෂිකාට වඩා අදාළ වර්ෂයේ "ධර්ම යුද්ධය" චිත්‍රපටය වෙනුවෙන් තිසුරි යුවනිකා අදාළ සම්මානය වෙනුවෙන් කදිමට ගැළපෙන්නීය. එමෙන්ම 2018 වසර සඳහා නැගී එන නළුවා සහ නිළිය ලෙසින් කිරුළු දැරූ "ඝරසරප" හි දෙව්නක පෝරගේ සහ කවින්ද්‍යා අධිකාරී දෙපළද එම සම්මානය වෙනුවෙන් නිතරඟයෙන් උචිත වුවත් නැගී එන නිළිය සඳහා නිර්දේශිතව හෝ "මැතිව්" හි බිම්සරා ප්‍රේමරත්න නොමැති වීම ඛේදයකි. තවද හොඳම හාස්‍යෝත්පාදක නළුවා වෙනුවෙන් ද වසරත්රයටම සම්මාන පිරිනැමිණි. 2016 වසර සඳහා එම සම්මානය "මායා" වෙනුවෙන් පුබුදු චතුරංග දිනාගත් අතර එය ඔහුගේ චරිතය ජූරිය වරදවා වටහාගත් බව කදිමට පෙන්වූ අවස්ථාවකි. පුබුදු එහි චරිත පහක් නිරූපණය කළ අතර එය ඉතා අසීරූ චරිතාංග රංගනයකි. එමෙන්ම එහි යම් අවස්ථාවන්වල හාස්‍යයක් ඉපැදුණද ඔහුගේ රංගනය හාස්‍යෝත්පාදක ලේබලයෙන් නම් කිරීම නොවටිනේ ය. සම්මානය 2016 සඳහා හිමිවිය යුතුව තිබුණේ "මායා" චිත්‍රපටය වෙනුවෙන් ම නිල්මිණී කොට්ටෙගොඩ රංගන ශිල්පිණිය සඳහා ය. 2017 වසර සඳහා සම සම්මානයන් "පහ සමත්" චිත්‍රපටය වෙනුවෙන් ගිරිරාජ් කෞෂල්‍ය සහ ප්‍රියන්ත සෙනෙවිරත්න දිනූ අතර 2018 හොඳම හාස්‍යෝත්පාදක නළුවා වූයේ "කෝමාලි කිංග්ස්" හි රාජා ගනේෂන් ය. උළෙලේ රංගනය සඳහා වෙන්වූ සම්මාන මෙසේ ය. මෙම උළලේත් අසාධාරණයට ලක්වූ චරිත මෙසේ ය. "ඝරසරප" හි කමල් අද්දරආරච්චි හෝ සංගීතා වීරරත්න ද, "හීන හොයන සමනල්ලු" හි දිල්හානි අශෝකමාලා ද, "බිම්භා දේවි හෙවත් යශෝධරා" හි දිනෙත් ද සිල්වා ද මෙම උළෙලේ ජූරිය දැක නැති බව ඉඳුරා ම පැවසිය හැකිය. මන්ද යත් විශේෂයෙන් ම දිල්හානියගේ "ධර්ම යුද්ධය" චරිතය හොඳම නිළිය සඳහා නිර්දේශ කරන ජූරිය නියතව ම "හීන හොයන සමනල්ලු" නරඹා නැති බව විශ්වාසය. තවද හොඳම සහය නළුවා ලෙස පමණක් නොව හොඳම නළුවා සඳහා ද නිර්දේශ කළ හැකි තරම් ප්‍රබල දිනෙත්ගේ දෙව්දත් චරිතය ද තේරුම් ගැන්මට තරම් ජූරිය දෘෂ්යහීනය. සම්මාන උළෙලක සම්මාන විසිරීම සැමදා එකම ආකාරයකින් සිදු කිරීම සම්ප්රදායක් කර නොගැනීමට මෙම උළෙල ජූරී සභාවන් උත්සුක විය යුතුම ය.
මෙම උළෙල තුළ පිරිනැමුණු යම් සම්මානයක් සමගින් මා හට අදාල කලාව පිළිබඳම ඇතිවූයේ මහත් දුකකි. එනම් චිත්‍රපට ගේය ප්‍රබන්ධ කලාව යි. මනෝරම්‍ය සිනමා ගී සභ්‍යත්වයකට උරුමකම් කියනා ලංකේය ධරණිය මත ගේය පද රචනය වෙනුවෙන් අද්‍යතනයේ සම්මාන ලබන්නේ බොහෝ විට චිත්‍රපට අධ්යක්ෂවරයා ම ය. ඇතැම් අධ්යක්ෂවරුන් තම නිර්මාණයට හානි නොවන ලෙසින් අර්ථපූර්ණ රසාලිප්ත ගී පබැඳුවද සියල්ලන්ම එයට පොහොසතුන් නොවේ. 1979 වසරේ මුල්ම ජනාධිපති සම්මාන උළලේ හොදම ගේය රචනය වෙනුවෙන් සම්මානිත වන ඩබ්. ජයසිරිගේ සිට ඔගස්ටස් විනයාගරත්නම්, අජන්තා රණසිංහ, සුනිල් ආරියරත්න, බණ්ඩාර කේ. විජේතුංග, ධර්මසිරි ගමගේ, ලූෂන් බුලත්සිංහල සහ කේ. ඩී. නිකලස් වැනි සම්මානිත පිරිස් අර්ථයෙන් සහ සිනමාරූපීත්වයෙන් යුතු ගී රාශියක් හෙළ තිරය මත අවක්ෂේප කළෝය. එනමුත් අද්‍යතනයේ සම්මාන ලබන ගීත නිර්මාණ වටිනාකමින් තරමක් අවමය. 2016 වෙනුවෙන් "සයපෙති කුසුම" චිත්‍රපටයේ ගී ලියූ විශාකේෂ චන්ද්‍රසේකරම් සම්මාන ලැබුවද "පත්තිනි" චිත්‍රපටයේ ප්‍රණීත් අභයසුන්දරයන් විසින් ලියූ "රන් හසුන් ලොල්වනා ඉඟි නලුව......" ගීතය සම්මානය ලැබීමට තරම්ම ප්රශස්ත ය. එනමුත් 2017 වසර සඳහා සම්මානිත ගේය ප්‍රබන්ධක රජී වසන්ත වෙල්ගමයන් ඒ සම්මානයට අතිශය සුදුසු ය. "කාල" චිත්‍රපටය වෙනුවෙන් ඔහු ලියූ "සියොවැ ආමි......." ගීතය තත්කාලීන භාෂා භාවිතාව සහ අවකාශය ස්පර්ශිතව කළ පර්යේෂණාත්මක ප්රබන්ධනයකි. එමෙන්ම එහි අර්ථපූර්ණත්වය පවා චිත්‍රපට කතාවට කදිමට ගැළපුණි. එහෙයින් එය අප බලාපොරොත්තු තැබූ සම්මානයකි. 2018 වසර සඳහා "සරුංගලේ" චිත්‍රපටය සඳහා ගී ලියූ අචල සොලමන්ස් සම්මාන ලැබූ අතර "ඝරසරප" සඳහා "හැම දෙයක් පෙනේ......." සහ "දිව්‍ය නදී...." වැනි අතිප්රබල ගී ද්විත්වයක් පබැදි ජයන්ත චන්ද්‍රසිරිගෙන් එම සම්මානය ගිලිහී යාම ද ජූරියේ විසල් මගහැරීමකි. ගී තනු නිර්මාණය සඳහා ද සම්මානයන් සතුටුදායක මෙන්ම අසතුටුදායක අවදියක දෝලනය වුණි. 2016 වසර සඳහා "මෝටර් බයිසිකල්" වෙනුවෙන් අජිත් කුමාරසිරි සම්මාන ලබන විට "සරිගම" සහ "පත්තිනි" චිත්‍රපටවල මනරම් නාද රටා මැවූ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙන් සම්මානය ඉවත් වුණි. එනමුදු "කාල" වෙනුවෙන් දර්ශන රුවන් දිසානායක 2017 සඳහා සම්මානිත වීම ද අතිශය වැදගත් ය. 2018 වසර සඳහා "සරුංගලේ" චිත්‍රපටයට ගී තනු නිර්මාණය කළ රංග දසනායක සම්මාන ලැබුවේ ද "ඝරසරප" හි චින්තක ජයකොඩි, "නිදහසේ පියා" හි සමන්ත පෙරේරා වැන්නවුන් ප්රශස්ත තනු නිර්මිත ඉදිරිපත් කළ අවදියක ය. හොඳම ගායනය සඳහා පුරුෂ සහ ස්ත්‍රී වශයෙන් සම්මානයන් අටක් පිරිනැමුණු අතර 2016 වෙනුවෙන් හොඳම ගායකයා ලෙස "මෝටර් බයිසිකල්" හි "අම්මගේ මාලේ........" ගීය ගැයූ අජිත් කුමාරසිරි, "ඇගේ ඇස අග" හි "ඇහැරෙන්න........." ගීතය ගැයු චිත්‍රාල් චිටී සෝමපාල සම සම්මාන ලබන විට හොඳම ගායිකාව ලෙසින් "පත්තිනි" සඳහා "රන් හසුන් ලොල්වනා ඉඟි නලුව........" ගැයූ නිරෝෂා විරාජිනී, "සරිගම" හි "සමනලයින් පාට පාට......." ගීතය ගැයූ උරේෂා රවිහාරි සම සම්මාන ලැබීය. මා සිතන අයුරින් මෙවැනි අවස්ථාවක සම සම්මාන ලබා දීම ව්‍යවහාරිකව පැවසුවහොත් "ඇඟ බේරා ගැනීමකි". මන්ද දෙදෙනෙකු අතරින් හොඳම කෙනා තේරීමට ජූරියක් පත්කරන්නේ නම් ඔවු දෙදෙනාට ම සම්මාන ලබාදීම නිශ්ඵලය. අදාල නිර්නායක මත ලකුණු ලබාදෙමින් දශමයකුදු ඉහළතාවක් දක්වන තැනැත්තා සම්මානිත කිරීම ඔවුන් සතු වගකීම වනු ඇත. රසිකයෙකු ලෙස ගතහොත් අදාළ වර්ෂය සඳහා මගේ තේරීම නිරෝෂා විරාජිනි සහ චිත්‍රාල් සෝමපාලයන් ය. උරේෂාවන්ගේ ගැයුම අතිශය ජනප්‍රිය මට්ටමේ මනරම් ගැයුඅක් වුවත් චිත්‍රපටය තුළ නිරෝෂාගේ ගැයුම අතිශය ප්රශස්ත විය. එමෙන්ම භාවාතිශයව චිත්‍රාල් ගයන ගීතය හා අජිත් ගයන පද පේළි කිහිපය ප්රශස්ත ගායනාවක් ලෙසින් අගයන්නේ කුමන නිර්නායක මත ද යන්න ගැටලුවකි. 2017 සඳහා හොඳම ගායකයා වූයේ "කාල" වෙනුවෙන් "සියොවැ ආමි" ගැයූ තුසිත් සිම්සන් ය. ඔහු හට ප්‍රමාද වී සම්මානය ලැබීම පිළිබඳ මා සතුටු වන්නේ ඔහුගේ ගැයුමේ විශිෂ්ටත්වය මුල සිට ම මා උකහාගත් බැවිනි. එමෙන්ම 2017 වෙනුවෙන් හොඳම ගායිකාව වූයේ "නිනෝ ලයිව්" හි "මෙතරම් සොඳුරු රැයක් තියේවිද ආයෙමත්......." ගීතය ගැයූ උමාලි තිලකරත්න ය. 2018 සඳහා හොඳම ගායකයා සහ ගායිකාව වූයේ "ඝරසරප" චිත්‍රපටය වෙනුවෙන් "හැම දෙයක් පෙනේ......." ගීතය ගැයූ භාචි සුසාන් සහ සමිතා මුදුන්කොටුව ය. ඇය මීට පෙර සම්භාවනාවට පත් විය යුතු ගායිකාවක් වුවත් අකාරුණික අවකාශයක මෙම උළලේ හෝ ඇය ඇගයීම සතුටට කරුණකි. මෙම සම්මානය සමිතා ලද පළමු හොඳම ගායිකා සම්මානයයි. එමෙන්ම එය ඉතිහාසගත වන්නේ හේතු ත්‍රිත්වයක් මත ය. තම දියණියගේ රංගනය වෙනුවෙන් මවක් ගී ගයා ඒ සඳහා දියණිය නැගී එන නිළිය වන කල මව ජනප්‍රියම ගායිකාව ලෙසින් ද හොඳම ගායිකාව ලෙසින් ද සම්මාන උළෙල දෙකකදී දුවණිය සමගින් ම කුළුඳුල් සම්මාන ලබන්නේ මෙරට පළමු වතාවට ය. මා සිතන අයුරින් ලෝක සිනමාවේ ද මෙවැනි දෙයක් සිදුවන පළමු අවස්ථාව මෙය විය යුතුය. හොඳම සංගීත අධ්‍යක්ෂණය සඳහා වසර පිළිවෙලින් සම්මාන ලැබුවේ "සක්කාරං" වෙනුවෙන් නදීක ගුරුගේ, "ආලෝකෝ උදපාදී" වෙනුවෙන් මිලින්ද තෙන්නකෝන් සහ "වෛෂ්ණාවි" වෙනුවෙන් නැසීගිය සංගීතවේදී නිමල් මෙන්ඩිස් ය. මෙහිදී මිලින්ද තෙන්නකෝන් තුරුණු ගඳඹන් ඇගයීම අතිශය වැදගත් ප්රශස්ත කරුණක් වන අතර ඒ සඳහා ප්‍රණාමය ජූරිය වෙත පිරිනමමි.
චිත්‍රපට කාර්මික අංශය වෙනුවෙන් වර්ණ සංයෝජනය, රංග වස්ත්රාභරණ නිර්මාණය, රංග වින්‍යාසය, සටන් අධ්‍යක්ෂණය, විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග වැනි ඛාණ්ඩයන් සඳහා සම්මාන නොපිරිනැමුණු අතර අදාල යම් යම් ක්ෂේත්රයන් සඳහා එක් ශිල්පියෙකුට බැගින් කුසලතා ඇගයුම් පිරිනැමිණි. එහෙත් සටන් අධ්‍යක්ෂණය වෙත ඇගයුමක් පිරිනැමෙනු දක්නට නොලැබිණි. වේෂ නිරූපණය නොඑසේනම් අංග රචනය සඳහා වර්ෂත්රය පිළිවෙළින් "මායා" හි නලින් ප්‍රේමතිලක, "ස්වරූප" වෙනුවෙන් අභාවප්‍රාප්ත රංජිත් මතඟවීර සහ "වෛෂ්ණාවී" වෙනුවෙන් රංජිත් මතඟවීර සහ අභාවප්‍රාප්ත ඊබට් විජේසිංහ සම්මාන ලැබූහ. එම සම්මානයන් ද අතිශය සාධාරණ වන අතර "බන්ධනය" චිත්‍රපටයේ ජයන්තා රණවක ද විශේෂ සහතිකයකින් හෝ ඇගයිය යුතුව තිබුණි. හොඳම කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් 2016 සඳහා "සක්කාරං" හි ලාල් හරින්ද්‍රනාත් ද, 2017 සඳහා "28" හි නුවන් සයුරංග ද මෙන්ම 2018 සඳහා "කෝමාලි කිංග්ස්" හි දසුන් රවිනාත් ද ඇගයුණි. හොඳම සංස්කරණය සඳහා ද වසරත්රය පිළිවෙළින් රවින්ද්‍ර ගුරුගේ, රංගන සිංහාරගේ සහ ඇන්ජලෝ ජෝන්ස් යන ශිල්පීන් "ඇගේ ඇස අග", "28" සහ "කෝමාලි කිංග්ස්" වෙනුවෙන් සම්මාන ලැබූහ. තවද ප්රශස්ත තිර රචනය වෙනුවෙන් 2016 සඳහා "ෆ්‍රැන්ජිපානි" ලියූ විසාකේෂ චන්ද්‍රසේකරන් ද, 2017 සඳහා "28" ලියූ ප්‍රසන්න ජයකොඩි ද මෙන්ම 2019 සඳහා "දැවෙන විහඟුන්" ලියූ සංජීව පුෂ්පකුමාර ද සම්මාන ලැබුවත් 2018 සඳහා කාලෝචිතව අතිශය සුන්දර මෙන්ම අර්ථානූචිත සිනමා වියමනක් ලියූ "ඝරසරප" හි ජයන්ත චන්ද්‍රසිරි සම්මානිත වූවා නම් උචිත යැයි හැඟුණි. එනමුදු හොඳම අධ්‍යක්ෂණයෙහිලා සලකන කල්හී 2018 සඳහා "දැවෙන විහඟුන්" හි සංජීව පුෂ්පකුමාර ඖචිත්‍ය අතර 2017 සඳහා ප්‍රසන්න ජයකොඩි ද, 2016 සඳහා අශෝක හඳගම ද සම්මාන ලැබීය. අදාළ වර්ෂ තුන සඳහා "ඇගේ ඇස අග", "28" සහ "දැවෙන විහඟුන්" හොඳම චිත්‍රපට ලෙසින් කිරුළු දරන කල "පත්තිනි", "ධර්ම යුද්ධය" සහ "බිම්භා දේවි හෙවත් යශෝධරා" උළෙලේ ආදායම් වාර්තා තැබූ ජනප්‍රිය චිත්‍රපට ලෙසින් අබිසෙස් ගැන්විණි. සමස්ත වශයෙන් ගත් කළ උළෙලේ සම්මාන බෙදී යාම පූර්ණ වශයෙන් සතුටට හේතුවක් නොවුණත් පැවැත්වුණු ඇතැම් සම්මාන උළෙලන් හා උළෙල රූපකයන් හා සසඳා බැලුවහොත් ජනාධිපති උළෙලේ බොහෝ විනිශ්චයන් ඉහළ ය.
මීළඟට මා හුවා දක්වනුයේ උළෙලේ මා දුටු දුර්ගුණයන් සහ ඇගයිය යුතු ගුණයන් ය. මෙම උළෙලේ සිංහල පූරකයන් වූයේ වජිර ජයවර්ධන සහ සිතාරා කළුආරච්චි ය. ඔවුන් දෙදෙනා ආරම්භය සිත්ගන්නාසුළු අයුරින් පූරකස්ථානය නියෝජනය කළත් වජිරගේ කැපීපෙනෙන අඩුවක් වූයේ කලාකරුවන් පිළිබඳ ඔහු ප්රකය කළ අල්ප දැනීම ය. මෙම උළෙලේදී අභාවප්‍රාප්ත කලාකරුවන් වන නිමල් මෙන්ඩිස්, ඊබට් විජේසිංහ, ටෝනී රණසිංහ, රංජිත් මතඟවීර වැනි ශිල්පීන් සම්මානලාභීන් හා නිර්දේශ අතර සිටියහ. එහෙත් ඔවුන්ගේ වියෝව නොදත් වජිර විසින් සම්මානිත අවස්ථාවේ ඔවුන්ට සම්මාන ගැනීමට පැමිණෙන ලෙසත්, කවුරුන් හෝ වේදිකාව වෙත පැමිණෙන විට ඒ පැමිණෙන්නේ අදාළ මියගිය කලාකරුවා බවත් පැවසීය. එසේම සම්මානයක් ලබාගැනීම සඳහා වේදිකාගත වූ ප්‍රකට චිත්‍රපට සහය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්තයන්, වජිර විසින් හැඳින්වූයේ ඩොනල්ඩ් කරුණාරත්න යන නමෙනි. එය කිසිලෙසකත් පූරකවරයෙකුගෙන් සිදු නොවිය යුත්තකි. එනිසා සම්මාන උළෙලකට පෙර නිවේදකයන් සිනමාව සහ කලාකරුවන් ගැන පූර්වාවබෝධයක් ලබන්නේ නම් හෝ සිනමාව පිළිබඳ දත් අයෙක් නිවේදනය සඳහා පත් කරන්නේ නම් මැනවි !
තවද සම්මාන උළෙලේ නිර්දේශ නාමයන් සහ තිරයේ ප්‍රදර්ශනය වන දර්ශන පට හාත්පසින්ම පරස්පර වීම ද කැපී පෙනුනි. එමෙන්ම ඇතැම් විටෙක තිරයේ වන දර්ශනයට අදාල චිත්‍රපට නාමය ඒ යටින් සඳහන් නොවී වෙනත් චිත්‍රපටයක් නම් වීම ද වරදකි. තවද විශේෂ වරදක් සේ මා දුටුවේ ගමන් කිරීමට තරමක් අපහසු ඇන්ටන් ග්‍රෙගරි, ශාන්ති අබේසේකර වැනි කලාකරුවන් සමීපයට ගොස් ඔවුනට සම්මාන ලබාදෙනවා වෙනුවෙන් අපහසුවෙන් ඔවුන් වත්තම් කරගෙන විත් සම්මාන දීම සදාචාරාත්මක නොවේ. සම්මාන ලබාදුන් ගරු ජනාධිපතිතුමා ඇතුළු පිරිසට වේදිකාවෙන් බැස ඔවුන් හට සම්මාන ලබාදීමට තිබුණි. බොහෝ උළෙලන්හි සංවිධාන කටයුතු ප්‍රායෝගික නොවන අවස්ථා මීට පෙරද මගේ ලිපි ඔස්සේ මා අවධාරණය කර ඇතත් දිගින් දිගට ම එම වැරදි දක්නට ලැබෙනවා යන්නෙහි අර්ථය වනුයේ ඔවුන් තම උළෙල වෙනුවෙන් පළවන විවේචනයක් හෝ නොකියවන බව නොවෙද ?
තවත් මා දුටු විශාල අඩුවක් වූයේ ඡායාරූප ශිල්ප ශිල්පිණියන් සහ රතු පලසේ අදහස් ලබා ගැනීමට සිටි පූරකවරිය අතිනි. මෙවැනි උත්සවයකට ආරාධනා ලැබ පැමිණෙන්නේ නිතර ඔබ අප දක්නා මුහුණු පමණක් ම නොවේ. එහෙත් සම්මාන දීමට හෝ අප හට සිනමාවක් රැකදුන් ශිල්ප ශිල්පිණියන් මෙවර උළෙලට සහභාගී වී සිටිනු දක්නට ලැබුණි. උදාහරණයක් ලෙසින් ස්වර්ණා කහවිට, දයා හේමන්තා අබේසේකර, අසංකා මොණරවිල වැනි ශිල්පිණියන් ඡායාරූප ලබාගන්නා ඵලකය වෙත රැගෙන ගොස් සේයාරුවක් ලබාගැනීමට තරම් ඔවුහු නොදැනුවත් වූහ. අන්‍ය උළෙලන් හා සසඳා බලන කල සතුටුදායක ආසන පටිපාටියක් මෙහි දක්නට ලැබුණි. එය අගය කළ යුතුය. නිර්දේශිතයන් ඉදිරිපසම ද, අනෙක් ජ්‍යෙෂ්ඨ ශිල්පීන් ඊළඟට ද වශයෙන් ආසනගත කර තිබුණි.
කෙසේ නමුදු හොඳ නොහොඳ සමබරව නිමාවුණු සම්මාන උළෙලක් ලෙසින් 2019 ජනාධිපති සිනමා සම්මාන උළෙල නම් කළ හැකිය.
සටහන Akash Tharuka Perera
සේයා Dananjaya Chathuranga
https://mirrorarts.lk/life/notes/5569-pma-190728#sigProId403f9c59cf