අශෝක හඳගම තම නවතම චිත්‍රපටය වන “රාණි” ආරම්භයට පෙරාතුවම තිරයේ අතිශය වැදගත් පාඨයක් ප්‍රදර්ශනය කරනු ලබයි. එය නම් This is a fiction base on true events යන්නය. එහි සරල අර්ථය නම් “මෙය සත්‍යයන් මත පදනම් වූ ප්‍රබන්ධයක්” බවයි. මෙහිදී ඔහු “සත්‍යය” යැයි නොකියා “සත්‍යයන්” යැයි පවසන්නේ කුමක් නිසා ද? සත්‍යය බහුවර්ගීකරණයට ලක්වන්නේ ඇයි? හුදෙක් යම් සංසිද්ධියක් සිදුවීමෙන් පසු ඉතිහාසයට එකතුවන්නේ එකී සංසිද්ධිය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ගොතන ලද කතන්දර පමණක් බැව් සිනමාකරුවා අපට පසක් කරවන්නේ ද?
“රාණි” චිත්‍රපටයට පදනම් වන නිදාන කතාව ශ්‍රී ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසය පිළිබඳ දන්නා කිසිවෙකුටත් රහසක් නොවේ. එහෙත් සිනමා අධ්‍යක්ෂවරයා අප දන්නා ප්‍රමුඛතම චරිත කිහිපය පමණක් පැවති නම්වලින්ම නාමකරණය කර ඇතත්, එහි නම්, ගම්, සංසිද්ධි, ස්ථාන ආදිය මනඃකල්පිත බැව් හඟවන්නට උත්සාහ දරයි. ඒ සත්‍යය හා ප්‍රබන්ධය අතර දුර හා සීමාව බොඳකරලීමට හෝ එල්ලවිය හැකි අනිසි බලපෑම් අවම කරගැනීමට යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එසේත් නොමැතිනම් චිත්‍රපටයේ නිෂ්පාදකයා වන්නේ ලයිකා සමාගම බැවින් ඔවුන්ට යුරෝපා වෙළෙඳපොළ තුළ එතරම් හොඳ නමක් නොමැතිවීමත්, දේශීය වෙළෙඳපොළ තුළ හෝ දේශපාලන වශයෙන් එල්ලවිය හැකි අපවාදයන් අවම කර ගැනීමත් සමාගමේ අභිප්‍රාය වූවා වන්නට ද පුළුවන. කෙසේ නමුත් දැන් “රාණි” රිදී තිරයට නිදහස් ය. සැබෑ සංසිද්ධියක් ආශ්‍රයෙන් සිනමා නිර්මාණයක් කරන විට ඊට ඇතුළත් කරගන්නේ මොනවාදැයි එයින් පිටමං කරවන්නේ මොනවාදැයි තෝරාබේරා ගැනීම සිනමාකරුවාට සැබෑ අභියෝගයකි. අනෙක් අතට චිත්‍රපටය, “සිනමා කෘතියක්” ලෙස පමණක් සලකා කියවා ගැනීම ප්‍රේක්ෂකයාට අභියෝගයකි. මන්ද යත් එය සැබෑ සංසිද්ධිය සමඟ නිරන්තරයෙන් පැටලෙන බැවිනි.
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම ලාංකේය ඉතිහාසය තුළ සිදුවූ ම්ලේච්ඡ අපරාධයක් බැව් සැබෑය. එහෙත් එය එසේ වන අතරම චිත්‍රපටය තුළ පවා අනාවරණය වන අන්දමට ඒ දහස් ගණනක තරුණ තරුණියන් පැහැරගෙන ගොස් ඝාතනය කළ අධම යුගයකි. රිචඩ්ගේ මව මනෝරාණී සරවණමුත්තු චිත්‍රපටය ආරම්භයේදීම වෘත්තීමය වශයෙන් දරු උපතකට සහාය දී එළියට බැසීමේදී වටකරගන්නා මාධ්‍යවේදීන්ට කියන්නේ මෙවැන්නකි.
“ඇත්තටම මං වාසනාවන්ත අම්මා කෙනෙක්. අඩුම ගාණේ මට මගෙ දරුවගෙ මළමිනිය හම්බවුණා” කියලයි.
ඇය නොකියා කියන්නේ දස දහස් ගණන් මවුවරුන්ට තම දරුවන්ගේ මළමිනියවත් හමුවූයේ නැති බවය. ඇය කතා කරන්නේ ගංගා, ඇළ දොළවල පා කෙරුණු, ටයර් සෑ මත දවා හළු කළ, සමූහ මිනි වළවල් තුළ සඟවා ලූ දරුවන්ගේ මළමිනී ගැන ය.
“රාණි” චිත්‍රපටයේ මුල, මැද, අග ක්‍රමානුකූලව ගලායන කතන්දරයක් වෙනුවට සංසිද්ධි එකිනෙක මුහුවීම්, පසු ආවර්තිත කතා ආකෘතියකින් චිත්‍රපටය ගලායාම සිදුවේ. එය මෙවැනි චිත්‍රපටයකට ඉතා සුදුසුය. මන්දයත් සංසිද්ධියේ ප්‍රබලත්වය, සංකීර්ණත්වය, සමාජ-ආර්ථික පසුබිම් ආවරණය කිරීමට එයින් මහඟු පිටිවහලක් වන බැවිනි. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සංසිද්ධිය ප්‍රමුඛ වන අතරම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් ඝාතනය කළ පුද්ගලයකුගේ බිරිය ‘රාණි’ට අභිමුඛ කිරීම, මවුපෙරමුණ බිහිවීම, ලලිත් ඇතුළත්මුදලි ඝාතනය, ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනය ආදී වටපිටාව පිළිබඳ පුළුල් චිත්‍රයක් ප්‍රේක්ෂකයාට මැවීමට සිනමාකරුවා උත්සුක වෙයි.
රිචඩ් ඝාතනය කළ දිනයේ රිචඩ් මතවාදීව සිටගත් දේශපාලන ව්‍යාපාරය විසින් ඝාතනය කරන ලද පුද්ගලයකුගේ බිරියකගේ කුසින් දරුවකු බිහිවීමත්, ඊට වෛද්‍යවරියක ලෙස සහාය වන්නේ රිචඩ්ගේ මව වීමත් සංකේතාත්මකව ප්‍රබල දේශපාලන කතාවක් අපට කියයි. මුහුදු වෙරළේ සැමියකු අහිමි කළ ස්ත්‍රියක්, දරුවකු අහිමි කළ ස්ත්‍රියක් එකට සිටින විට ඛේදවාචකයක උපන් දරුවකු අලුත් ලෝකයක් පිළිබඳ දකින සිහිනයක සේයාවක් හෙතෙම රැල්ල පාගන්නට දුවමින් බොඳවන දර්ශනයෙන් ගම්‍ය වේ. රිචඩ්ගේ මළසිරුර රාණිට හමුවන්නේ ද වෙරළට ගොඩගැසීමෙනි. ඒ නිසාම එය මියගිය සිහිනයේ නව උපතක් ද විය හැකිය.
මනෝරාණී ලියූ කවි දෙපදයක් මෙසේය.
“ආදරණීය පුතේ
ඔබ නොමැති ජීවිතය
මගෙ කඳුළු දිය පමණක් ලැබූ
කතරක් ය.
ගලා ගිය තරුණ රුධිරයෙන්
අපේ ස්ත්‍රීන්ගේ කඳුළෙන්
තෙත්ව ගිය මගේ මවුබිම මෙන්ය”
මෙම පද දෙක උපුටා දක්වමින් ප්‍රවීණ චිත්‍රපට විචාරක ගුණසිරි සිල්වා, ‘මේ වැකි දෙකේ බර රාණි චිත්‍රපටයෙන් දැනුණාදැයි’ පාඨකයන්ගෙන් විමසා තිබිණි. හඬා වැළපෙන, පුතුගේ වියෝව වෙනුවෙන්ම ජීවිතය අතහැරපු මවක වෙනුවට ඒ වේදනාව උසුලන සුවහසක් මවුවරුන් වෙනුවෙන් හඬ නඟන, සිගරට් උරන, මත්පැන් බොන, මවක ප්‍රේක්ෂකාගාරයට තරමක් දුර විය හැකිය. මන්දයත් “දැනීම” ට පන්ති දේශපාලනයක් පවත්නා බැවිනි. රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාළව එවක ජාතික පුවත්පත්වල කතු වැකි පවා ලියැවිණි. එහිදී විමර්ශන මෙහෙයවන නිලධාරීන්ගේ සිට පුවත් කතුවරුන් දක්වාම අදහස් දක්වා තිබුණේ ‘නයිට් ක්ලබ් යන ගැහැනු දරුවන්ට මෙවැනි දේ වෙන්න පුළුවන්’, ‘මවුපියන්, දරුවන් යන එන තැන් ගැන මීට වඩා සොයා බලන්න ඕන’වැනි ග්‍රාමීය දහම් පාසල් මානසිකත්වයකිනි. පන්තිය අදහසක් නොව දෘෂ්ටිවාදයකි. මුළු චිත්‍රපටයේම බර දරා සිටින ‘රාණි’ට පණ පොවන ස්වර්ණාගේ රංග පෞරුෂය අති විශිෂ්ට ය. ගැටලුව ඇත්තේ එතැන නොවේ. දහස් සංඛ්‍යාත ඝාතනවලට අණ දුන්, ඝාතකයන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදුන් එවක පාලකයා යම් හෙයකින් බේරා තැබීමට දරන උත්සාහයක් මෙහි නිරූපණය වීමයි.
මෙම චිත්‍රපටයේ අවසන් ජවනිකාවට පෙර ජවනිකාව ඇරඹෙන්නේ “1990 පෙබරවාරි මස 18 වැනි දින කොහේ හෝ තැනක” නම් හැඳින්වීම සමඟිනි. එය එවක පාලකයාගේ මන්දිරය යැයි සිතිය හැකිය. මත්පැන් සාදයකට පසුව අපරාධකරුවන් යළි ගමන් ඇරඹීමෙන් පසු සිදුවන සංවාදයේ අරමුණ වන්නේ ඔවුන් විසින් අහම්බයෙන් ඒ මොහොතේ ඇති වූ කතාබහ අනුව රිචඩ් පැහැර ගැනීම හා ඝාතනය කිරීම සිදුවූ බවට අපට ඒත්තුගැන්වීමය. දැවැන්ත ඝාතන දාමයක එක් පුරුකක් පමණක් වුවද, එය එතරම් අහම්බයක් ලෙස සැලකිය හැකි ද? මනමේ නාටකයේදී මහැඳුරු සරච්චන්ද්‍රයන් අපට කියන්නේ ‘අනේ ඒ විපත සිදුවුණි නොදනිමි කාගේ දොසා’ කියලාය. ‘රාණි’ගෙන් ද ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වූයේ එවැන්නක් ද? අනෙක් අතට ප්‍රේක්ෂකයාට ආතල් දීම සිනමා අධ්‍යක්ෂවරයාගේ කාර්යය විය යුතු ද, කියා ද මෙහිදී ප්‍රශ්න කිරීමට ඉඩප්‍රස්තාව තිබියයුතුය. එහෙත් අවසාන වශයෙන් කිවහැක්කේ සිනමාකරුවා මෙහිදී එවක පාලකයා බේරන අතරේම තමාගේ ඇඟ ද බේරාගෙන ඇති බවය. එනම් සියල්ලටම පෙර මෙය ‘‘සත්‍ය සිදුවීම් මත පදනම් වූ ප්‍රබන්ධයකි”යන උදාන වැකිය අපට මූලාරම්භයේදීම අවධාරණය කර ඇති හෙයිනි.
ඉතින් ප්‍රබන්ධ යථාර්ථයක ඕනෑම දෙයක් සිදුවිය හැකි අතරම, ඕනෑම දෙයක් සිදුනොවිය හැකිය. අපට ඇත්තේ බලා සිටීමටය. එහෙත් අප ගෙවමින් සිටින්නේ ද, එසේ නිහඬව බලා සිටීමේ කරුමය මය.
ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර - දිනමිණ