ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර මිය ගිය බවට පුවත් පැතිරයාමත් සමඟ ඔහුගේ බිරිඳ හේමා මාලනි (Hema Malini) සහ දියණිය ඊෂා ඩියෝල් (Esha Deol) ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම ප්‍රචාර අසත්‍ය බව තහවුරු කොට තිබෙනවා.
අද (11) උදෑසන ඔහුගේ බිරිඳ විසින් සිය නිල X ගිණුමේ සටහනක් තබමින් සදහන් කර තිබුනේ මෙවැන්නක්.
"සිදුවෙමින් පවතින දේ සමාව දිය නොහැකියි! ප්‍රතිකාර සඳහා ප්‍රතිචාර දක්වමින් සුවය ලබමින් සිටින පුද්ගලයෙකු පිළිබඳව වගකිවයුතු නාලිකා අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවන්නේ කෙසේද? මෙය අතිශයින්ම අගෞරවනීය සහ වගකීම් විරහිත ක්‍රියාවකි. කරුණාකර පවුලට සහ එහි පෞද්ගලිකත්වය සඳහා අවශ්‍යතාවයට නිසි ගෞරවය ලබා දෙන්න” යනුවෙනි.
මේ වන විට 89 වන වියේ පසුවන ප්‍රවීණ බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මීට සතියකට පමණ පෙර රෝහල් ගත කර තිබෙන අතර,
ඊයේ (10) දිනයේදී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය "බරපතල" වී ඇති බවට ආරංචි මාර්ග වාර්තා කළද, ඔහු ස්ථාවර (Stable) සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ (Under observation) සිටින බවයි පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.



