ශ්‍රී ලංකාවේ තරුණ සිනමාකරුවන්ගේ කෙටි සිනමා කෘති ඇගැයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සිනමා උලෙළ වන Agenda 14 කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මාන රාත්‍රිය පසුගියදා, (දෙසැ 07) කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) පැවැත්විණි.

අඛණ්ඩව 15 වැනි වරට පැවැත්වුණු උලෙළ සඳහා ශ්‍රී ලංකාවේ දිස්ත්‍ර්ක 16කින් ඉදිරිපත් කෙරුණු කෙටි චිත්‍රපටවලින් තෝරාගත් කෘති 50ක් දෙසැම්බර් 04-07 වැනිදා දක්වා කොළඹ ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී (Goethe Institute) සහ ප්‍රංශ මිත්‍රත්වය සංගමය (Alliance Francaise) හිදී ප්‍රදර්ශනය කෙරුණ අතර, එම සියලුම දර්ශනවලට ඉහළම ප්‍රේක්ෂක සහභාගිත්වයක් හිමි විය.
සම්මාන ප්‍රදානය, කොළඹ ප්‍රංශ මිත්‍රත්ව සංගමයේ අධ්‍යක්ෂ සිසිල් ඌර්ලබෙක්, ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික උපදේශක ඔලිවියා බෙලමියර්, එම කාර්යාලයේ සංස්කෘතික වැඩසටහන් නිලධාරී යාන් රමේෂ් ද සේරම්, ජර්මන් සංස්කෘතික ආයතනයේ අධ්‍යක්ෂ ස්ටෙෆාන් වින්ක්ලර්, IMADR ආසියා කමිටුවේ සභාපති නිමල්කා ප්‍රනාන්දු, මාකස් රුෆ් (Institute for Film and Video Art) යන සම්භාවනීය ආරාධිතයින් අතින් සිදු කෙරිණි.
නූතන තරුණ නිර්මාණකරුවන් අතර ජනප්‍රිය ප්‍රකාශන මාධ්‍යක් බවට පත්ව ඇති කෙටි චිත්‍රපට කලාව ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ වෙනුවෙන් දිගු කලක් මුළුල්ලේ කැපවී සිටින සිනමාවේදිනියක වන අනෝමා රාජකරුණා, Agenda 14 සිනමා උලෙළෙහි නිර්මාතෘවරියයි. ඇය චිත්‍රපට අභිරක්ෂිකාවක සහ සිනමාකරණය පිළිබඳ ජාත්‍යන්තර තලයේ පුහුණුකාරිනියක ද වෙයි.

මතු දැක්වෙන්නේ 2025 ‘Agenda 14’ කෙටි චිත්‍රපට උලෙළෙහි සම්මානලත් චිත්‍රපට හා නිර්මාණකරුවන් පිළිබඳ තොරතුරුයි!
චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය (best short film) ලෙස සුරේනි රණවකගේ 'Is Snow White?' කෙටි චිත්‍රපටය සම්මානයෙන් පිදුම් ලැබීය.
චිත්‍රපට උළෙලේ හොඳම කෙටි චිත්‍රපටය (best short film) වෙනුවෙන් ජූරියේ සම්මානය ‘Neelum Oor Kadaisi Iravu’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් ජේකොබ් ලූක් ජෙරෝෂන් හට හිමි විය.
‘Agenda 14’ කෙටි චිත්‍රපට උළෙලේ වඩාත්ම සමාජභාවී චිත්‍රපටය (Most Gender Sensitive Film) ලෙස ෆාතිමා ශානාස් ගේ 'Unwritten Verses' කෙටි චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.
චිත්‍රපට උළෙලේ විනාඩි 3ට අඩු හොඳම කෙටි චිත්‍රපටය (Micro Short Film) ලෙස ගිනුකි ජයවීරගේ 'Neth's Folly' කෙටි චිත්‍රපටය සම්මානයට පාත්‍ර විය.
‘Agenda 14’ කෙටි චිත්‍රපට උළෙලේ 'සුනිලා අබේසේකර අනුස්මරණ මානව හිමිකම් සම්මානය' හිමි වූයේ ත්‍යාගරාජා යුවරාජන්ගේ ‘Attai Kadiththathu Poga Meedhamulla Kaalgal’ කෙටි චිත්‍රපටය වෙනුවෙනි.
චිත්‍රපට උළෙලේ ‘Green Award’ සම්මානය දිනේෂ් බාලශ්‍රීගේ 'Trace' කෙටි චිත්‍රපටය වෙනුවෙන් හිමි විය.
'Best Experimental Film' ලෙස අසංක අරංගල්ලගේ ‘ඔහුගේ ප්‍රථම ඔසප්වීම’ නමැති චිත්‍රපටය සඳහා සම්මාන හිමි විය.
විශිෂ්ට රංගනය සඳහා වූ සම්මානය (Outstanding Performances)
1.‘නීලුම් ඕර් කඩෛසි ඉරවු’ සිනමා පටයේ සුරේෂ් කුමාර්
2 ‘මිලාන වූ මල’ සිනමාපටයේ නුසා එම්.ඩබ්.එෆ්
විශේෂ සහතික : ‘Trace’ හි රමේෂ් පවිත්‍රන් ජයග්‍රහණය කරන ලදී.
හොඳම Animation කෙටි චිත්‍රපටය ලෙස නයනි නාරායනගේ 'Stuckholm' සම්මාන දිනා ගන්නා ලදී.
‘Agenda 14’ කෙටි චිත්‍රපට උළෙලේ හොඳම සංස්කරණය වෙනුවෙන් 'Cold Desire' චිත්‍රපටය සංස්කරණය කළ තමේෂ් මලින්ද සම්මාන දිනා ගන්නා ලදී.
සම්මාන උළෙලේ හොඳම කැමරාකරණය Best Cinematographer වෙනුවෙන් 'Tears of Ceylon' කෙටි චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් විරංග පතිරගේ සම්මානයෙන් පිදුම් ලැබීය.
‘Agenda 14’ කෙටි චිත්‍රපට උළෙලේදී 'මතු බලාපොරොත්තු සපිරි සිනමාකරුවා' ලෙස කෙනුල පතිරණ ‘Delusion’ කෙටි චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.



