lan englan tam

පුවත්

ශ්‍රී ලංකාවේ "රිවර්ස්ටන්" ඇතුළු චිත්‍රපට 19 ක් කේරළයේ ප්‍රදර්ශනය තහනම් කරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Udithe Kahandawaarachchi-

පසුගිය 12 වෙනිදා ආරම්භ වූ 30 වෙනි කේරළ අන්තර්ජාතික සිනමා උළෙල මේවන විට ආසියානු කලාපය තුළ මෙන්ම එයින් පරිබාහිරවද පුවත් මවන අන්තර්ජාතික සිනමා උළෙලක් බවට පත්ව ඇත.

කේරළ උළෙලට නිළ වශයෙන් සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකාවේ "රිවර්ස්ටන්" චිත්‍රපටය ඇතුළුව චිත්‍රපට 19 ක් උදෙසා, කේරළ උළෙලේ තිරගත කිරීම උදෙසා අවැසි අවසර සහතිකය (CENSOR EXEMPTION CERTIFICATE) ලබා නොදීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය (MINISTRY OF INFORMATION AND BROADCASTING) අවසන් මොහොතේ ගත් තීරණය මෙයට හේතුවී ඇත.

මහජන සාමය ආරක්ෂාකිරීම, වාර්ගික හා ආගමික සංහිඳියාව ආරක්ෂාකිරීම, විදෙස් සබඳතා ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාසකිරීම වැළැක්වීම, ආරක්ෂ අංශවල විශ්වාසනීයත්වය රැකීම, සමාජ සාරධර්මයන් ආරක්ෂා කිරීම ආදී විවිධ කරුණු හේතුකොටගෙන මෙම වාරණය පැනවීමට මධ්‍යම රජය තීරණය කොට ඇත. එහෙත් මෙම තීරණය මේ වන විට මධ්‍යම රජය සහ කේරළ ප්‍රාන්ත රජය අතර මතභේදාත්මක තත්වයක් ගොඩනැගීම දක්වා දුරදිග ගොස් ඇති අතර, කේරළයේ ප්‍රබල සිනමාකරුවන් ප්‍රමුඛ කලා සංගම්ද මධ්‍යම රජයට දැඩි විරෝධයක් එල්ල කරමින් සිටී.

ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ එක්ව නිෂ්පාදනය කළ සහ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ "රිවර්ස්ටන්", පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු පොලිස් නිළධාරීන් තිදෙනෙකුගේ මැදිහත්වීම මත අනීතිකව ඝාතනයට ලක්වීම හා බැඳුනු කතාවක් වටා ගොඩනැගී ඇත.

"රිවර්ස්ටන්" චිත්‍රපටයේ අන්තර්ගතය හේතුකොටගෙන කේරළ උළෙලේ තිරගත කිරීම වාරණයට ලක්කිරීමට මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය කටයුතු කොට තිබුණද, එම අමාත්‍යංශය විසින්ම, නොවැම්බර් 6 සිට 13 දක්වා ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති කොල්කටා අන්තර්ජාතික සිනමා උළෙලේදීද, මේ දිනවල (දෙසැම්බර් 11-18) තමිල් නාඩු ප්‍රාන්තයේ පැවැත්වෙන චෙන්නායි අන්තර්ජාතික සිනමා උළෙලේදීද රිවර්ස්ටන් තිරගතකිරීම උදෙසා කිසිදු බාධාවකින් තොරව අවසර ලබාදී තිබීම කේරළ උළෙල සංවිධායකයින්ගේ මවිතයට හේතූ වී ඇත.

කේරළ උළෙල සංවිධායකයින්ගෙන් අඛණ්ඩව ඉදිරිපත්වන අහියාචනා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අද (දෙසැ 16) සවස වාරණයට ලක්වූ චිත්‍රපට 19 න් 04 ක් උදෙසා තිරගත කිරීමේ අවසරය ලබා දීමට තොරතුරු හා විකාශන අමාත්‍යංශය කටයුතු යොදා තිබූ අතර, එහෙත් ඒ අතරට "රිවර්ස්ටන්" ඇතුළත්ව නොතිබුණි.

කේරළ උළෙල සංවිධායකයින් විසින් "රිවර්ස්ටන්" චිත්‍රපටය උදෙසා මහජන දර්ශන වාර 03 ක් ලබා තිබූ අතර, එකී අවස්ථා නියෝජනය උදෙසා චිත්‍රපටයේ ප්‍රධාන නළු රන්දික ගුණතිලක පසුගිය දෙසැම්බර් 12 වෙනිදා කේරළ උළෙලට සහභාගී විය. එහෙත් මෙකී වාරණය හේතුකොටගෙන දෙසැම්බර් 14 සහ 15 පැවැති දර්ශන වාර අවලංගු කිරීමට කේරළ උළෙල සංවිධායකයින්ට සිදුවිය. මෙලෙස කේරළ උළෙලේ බලාපොරොත්තු කඩවීමත් සමග, චෙන්නායි අන්තර්ජාතික සිනමා උළෙලට සහභාගීවීම උදෙසා රන්දික ගුණතිලක (දෙසැ 16) උදෑසන තිරුවානන්තපුරම් සිට චෙන්නායි බලා පිටත්විය.

ජාත්‍යන්තරය සිනමා උළෙලකට (ශ්‍රී ලංකාවෙන් එපිට පැවති) නිළ වශයෙන් සුදුසුකම් ලැබූ පූර්ණ ශ්‍රී ලාංකේය චිත්‍රපටයක් වාරණයට ලක්වූ පළමු අවස්ථාව ලෙස මෙම අවස්ථාව අන්තර්ජාතික සිනමා උළෙල ඉතිහාසයට එක්වේ.

 

සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි

(මෙම සටහන Sri Lankans at International Film Festival නිල ෆේස්බුක් පිටුව ඇසුරිනි)

kemadasa

Back to top
Go to bottom