පසුගිය (12) වනදා ආරම්භ වූ 30 වන කේරළ සිනමා උළෙලට තේරී පත්වූ ශ්‍රී ලංකාවේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 19 ක් සදහා එම චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය අවසර සහතිකය (Censor Exemption Certificate) ලබා නොදීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය අවසන් මොහොතේ කටයුතු කර තිබීම නිසා උළෙලේ අර්බුධකාරී තත්වයක් නිර්මාණය වූ අතර,
මෙම තිරණයට එරෙහිව උළෙලේ සංවිධායකයන්,කේරළ දේශපාලන නායකයන්, සිනමා රසිකයන්... ඇතුළු පාර්ශව රැසකින් එල්ල වූ අඛණ්ඩ විරෝධය හේතුවෙන් නැවත, ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය ඇතුළු තහනමට ලක්කල සියළු චිත්‍රපට සඳහා තිරගත කිරීමේ අවසරය (Censor Examption Certificate) ලබා දීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ(17) රාත්‍රී 9.45 ට "රිවර්ස්ටන්" චිත්‍රපටය උළෙලේ ප්‍රදර්ශනය කරනු ලැබූ අතර, එළඹෙන 19 වෙනිදා උදෑසන 11.15 නැවත "රිවර්ස්ටන්" චිත්‍රපටය කේරළ අන්තර්ජාතික සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.
මෙම ගැටළුකාරී තත්වය නිර්මාණය වූ ආකාරය මුල සිට:
මීට හේතු සාධක වූයේ 30 වන කේරළ සිනමා උළෙලට තේරී පත් වූ ශ්‍රී ලංකාවේ "රිවර්ස්ටන්" චිත්‍රපටය ඇතුළුව චිත්‍රපට 19 ක් වෙනුවෙන්, කේරළ සිනමා උළෙලේ තිරගත කිරීම උදෙසා අවශ්‍ය අවසර සහතිකය (Censor Examption Certificate) ලබා නොදීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය අවසන් මොහොතේ තීරණය කර තිබිම හේතුවෙනි.
මහජන සාමය ආරක්ෂාකිරීම, වාර්ගික හා ආගමික සංහිඳියාව ආරක්ෂාකිරීම, විදෙස් සබඳතා ආරක්ෂා කිරීම, අධිකරණයට අපහාසකිරීම වැළැක්වීම, ආරක්ෂ අංශවල විශ්වාසනීයත්වය රැකීම, සමාජ සාරධර්මයන් ආරක්ෂා කිරීම ආදී විවිධ කරුණු මෙම වාරණය පැණවීමට හේතු සාධක ලෙස පෙන්වා දී තිබුණා.
කෙසේ වෙතත්, මෙම තීරණය බොහෝ ප්‍රශ්නකාරී එකක් වූයේ, මේ වන විටත් (පසුගිය නොවැම්බර් මාසයේ) ඉන්දියාවේ “කොල්කටා” සිනමා උළෙලේ දී “රිවර්සටන්” චිත්‍රපට ප්‍රදර්ශය කර සම්මානයට පාත්‍ර වී තිබීමත්, දැන් පැවැත්වෙන චෙන්නායි අන්තර්ජාතික සිනමා උළෙලේදී ද ‘රිවර්ස්ටන්’ තිරගත කිරීම උදෙසා කිසිදු බාධාවකින් තොරව අවසර ලබාදී තිබෙන පසුබිමක කේරළ සිනමා උළෙලේ පමණක් මෙලෙස චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අවසරය ලබා නොදීමට කටයුතු කර තිබීම් තිබීම නිසායි.
මේ අනුව මෙම තීරණයට එරෙහිව කේරළ සිනමා උළෙලේ සංවිධායකයන්, කේරළයේ ප්‍රමුඛ සිනමාකරුවන්, සිනමා හා කලා සංවිධාන, ජන මාධ්‍ය මෙන්ම සිනමා රසිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර,
මධ්‍යම රජයේ වාරණය ඉවත දමමින් ප්‍රදර්ශනය තහනම් කළ සියලුම සිනමාපට කේරළ උළෙල තුළ ප්‍රදර්ශනය කිරීමට පියවර ගන්නා බවට කේරළ ප්‍රාන්ත රජයේ සංස්කෘතික කටයුතු ඇමතිවරයා දැඩි ප්‍රකාශකුත් සිදු කොට තිබුණා.
ඒ අනුව මෙම කාරණා හේතුකොටගෙන ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය ඇතුළු තහනමට ලක්කල සියළු චිත්‍රපට සඳහා තිරගත කිරීමේ අවසරය (Censor Examption Certificate) ලබා දීමට ඉන්දියානු මධ්‍යම රජයේ තොරතුරු හා විකාශන අමාත්‍යංශය කටයුතු කර තිබුණා.
රිවර්ස්ටන්’ චිත්‍රපටය ගැන:
‘රිවර්ටන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලලිත් රත්නායක විසින් වන අතර, චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රභාත් රෝෂන් හා නිමන්ති පෝරගේ විසින්.
චිත්‍රපටයේ කතාවට පසුබිම් වී තිබෙන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු පොලිස් නිලධාරින්ගේ මැදිහත් වීමෙන් අනීතිකව ඝාතනයට ලක්වීම හා බැදුනු සිදුවීම් මාලාවක් වටායි.
රිවර්ස්ටන් චිත්‍රපටය චීනයේ- ෂැංහයි, ඉන්දියාවේ- කොල්කටා ඇතුළු තවත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසක් නියෝජනය කිරීමට හා සම්මානයට පාත්‍ර වූ අතර පසුගියදා පැවති 36 වන සිංගපූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද අසියානු වෘතාන්ත චිත්‍රපට අංගය යටතේ ‘රිවර්ස්ටන්’ චිත්‍රපටය වෙනුවෙන් විශිෂ්ඨතම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ලලිත් රත්නායක ද විශිෂ්ඨතම රංගනයට හිමි සම්මානයෙන් මහේන්ද්‍ර පෙරේරා පිදුම් ලැබුවා.
තොරතුරු - උදිත ලක්මාල් කහඳවආරච්චි , Sri Lankans at International Film Festival



