පසුගිය දෙසැ.19 වනදා සිට ලොව පුරා තිරගත වීම් ආරම්භ වූ ජේම්ස් කැමරන්ගේ (James Cameron) දැවැන්ත විද්‍යා ප්‍රබන්ධ සිනමා නිර්මාණය වන “Avatar: Fire and Ash”චිත්‍රපටය ආරම්භක සති අන්තය අවසන් වන විට ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඩොලර් මිලියන 345 ආදායමක් ලැබිමට සමත් වෙමින් ඉතා සාර්ථක ආරම්භයක් සනිටුහන් කර තිබෙනවා.
ඒ ඩොලර් මිලියන 88 ක දේශීය හා ඩොලර් මිලියන 257 පමණ අන්තර්ජාතික ප්‍රදර්ශනය තුළින් ලැබූ ආදායම ඇතුළත්වයි.
මෙය “Avatar” චිත්‍රපට මාලාවේම 2 වන චිත්‍රපටය වූ “Avatar: The Way of Water” (2022) චිත්‍රපටය සමග සංසන්දනය කිරීමේදී නම් යම් පසුබෑමක් දක්නට ලැබෙන අතර “Avatar: The Way of Water” චිත්‍රපටය ආරම්භක සතිය තුළ ඩොලර් මිලියන 435ක ආදායමක් උපයා ගැනීමට සමත් වී තිබුනා.
“Avatar: Fire and Ash” චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා නිෂ්පාදන වියදම ලෙස ඩොලර් මිලියන 400 ක පමණ වැය කොට තිබෙනවා.

කෙසේ වෙතත් “Avatar” චිත්‍රපට මාලාව දීර්ඝ කාලයක් පුරා ප්‍රදර්ශනය වෙමින් ආදායම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර 2009 වර්ෂයේ තිරගත වූ “Avatar” පළමු චිත්‍රපටය ඩොලර් බිලියන 2.9 ක ආදයමක් ලබා ගැනීමට සමත් වූ අතර එය දැනට චිත්‍රපටයක් ලබා ගත් ඉහළම ආදායම ලෙසයි බොක් ඔෆිස් වාර්තා අතරට එක්වන්නේ.
එමෙන්ම 2022 වසරේ තිරගත වූ මෙහි දෙවන චිත්‍රපටය “The Way of Water” ඩොලර් බිලියන 2.3ක් උපයමින් ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතරට එක් උනා.
ඒ අනුව නවතම “Avatar: Fire and Ash” චිත්‍රපටයෙන්ද ඩොලර් බිලියන 2.5 කට ආසන්න ආදායමක් ලබා ගනු ඇතැයි විදෙස් වෙබ් අඩවි පුරෝකතනය කරන අතර චිත්‍රපටයේ ආදායමෙන් වැඩිම ප්‍රතිශතයක් විදෙස් රටවල ප්‍රදර්ශනයෙන් වාර්තා කරනු ඇති.
මේ අතර “Avatar: Fire and Ash” චිත්‍රපටය නිෂ්පාදනය කළ 20th Century Studios හිමි ඩිස්නි (Disney) සමාගමේම “Zootopia 2” සජීවීකරණ (Animation) චිත්‍රපටය ද මේ වන විට ඉහළ සාර්ථකත්වයක් අත්කොට ගෙන ඇති අතර මේ වන විට ලොව පුරා ඩොලර් බිලියන 1.27ක ආදායමක් ලබමින් මේ වසරේ වැඩිම ආදායම් ලැබූ හොලිවුඩ් චිත්‍රපටය බවට පත්ව තිබෙනවා.



