දේශීය අනන්‍යතාවය රැකගනිමින් නැවුම් ආරකින් විඳින්නට හැකි සංගීතය අප වෙත ගෙන ආ “සිහ ශක්ති” කණ්ඩායම පසුගිය කාලය පුරා නිහඬව සිටි බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්.
ඔවුන්ගේ රසිකයන් වෙත සුබ ආරංචියක් ගෙන එමින් සිහ ශක්ති නැවත ආරම්භ කිරීමේ සුදානම් ගැන පුවතක් ගැන වාර්තා වෙනවා.
සංගීත කණ්ඩායමේ පුනරාගමනය ගැන නායක ආනන්ද පෙරේරා සති අන්ත පුවත්පතකට දක්වා තිබුණේ මෙවැනි අදහසක්,
“ඔව්. ඒ ආරංචිය ඇත්ත. අපි යළිත් සිහ ශක්ති ආරම්භ කිරීමේ අදහසින් මේ දවස්වල පුහුණුවීම් කරනවා. අපි දැන් ටිකක් විතර වයසයි. එදා අපි වෙනසක් කළා වාගේ යළිත් ඒ වෙනස කරන්න ඕන. ඒ නිසා හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕන. මහරගම විහාර මාවතේ ඇති බෑන්ඩ් ප්‍රැක්ටිස් කරන්නම හැදූ තැනක අපි දැනට දවස් හයක් පමණ පුහුණු කටයුතු කළා. එදා සිහ ශක්ති සමඟ සිටි සංගීත් වික්‍රමසිංහ, ලෙලුම් රත්නායක, ජයන්ත රත්නායක, මහේන්ද්‍ර පැස්කුවල්, ධනනංජය සිල්වා, අශෝක පෙරේරා යන පිරිස ඉන්නවා. මහේන්ද්‍ර සහ ධනංජය දැනට විදෙස් ගතවෙලා ඉන්නේ. ඒ නිසා පුහුණුවීම් වලට අපි අලුත් සංගීතඥයින් කිහිප දෙනෙක් එකතු කරගත්තා. විදේශගත වෙලා ඉන්න මහේන්ද්‍ර සහ ධනනංජය තව මාස දෙකකින් පමණ ලංකාවට එනවා. ඊට පස්සේ අපි ඉක්මනින්ම අපේ රසිකයින් අතරට එන්න සූදානම්.”