චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මැතිව්ස් සිනමා නිර්මාණය මේ වනවිට ප්‍රදර්ශණය වෙනවා. මේ චිත්‍රපටයේ පසුබිම් කතාව වනුයේ මේ රටේ ප්‍රසිද්ධ වූ ඝාතනයන් දෙකකි.මෙම කතාව මූලික කොටගෙන චන්ද්‍රන් ට පෙර මාගම්සෝලිය නමින් චිත්‍රපටයක් කිරීමට කටයුතු යොදා තිබුනේ ජනක මල්ලිමාරච්චිය.ඒ පිළිබඳව සහන් කසීර පුවත්පතකට ලියූ ලිපියකින් ඒ පසුබිමේ තොරතුරු හෙලිදරව් කර තිබේ. මේ එම සුවිශේෂී හෙළිදරව්වයි.
චන්ද්‍රන් රත්නම් ප්‍රතිනිර්මාණය කරන්නේ මෑත ඉතිහාසයේ වාර්තා වූ නිර්දය සහ ඇදහිය නොහැකි මට්ටමට සැලසුම් සහගත ඝාතනයන් පිළිබඳ කතා පුවතකි. දේවගැතිවරයෙකු වූ මැතිව් පීරිස් තම බැතිමතියක වූ ඩැල්රින් ඉන්ග්‍රම් සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන තිබූ අතර තම සිවිල් ප්‍රතිරූපය ඔස්සේ ඩැල්රින් ගේ පවුලේම අණසක සියතට ගැනීමට දේවගැතිවරයා සමත් වී තිබිණ. අවසානයේ දී සිදුවන්නේ ඩැල්රින්ගේ සැමියා වූ රසල් ඉන්ග්‍රම් 1978 අගෝස්තු 10 වන දා තෙක් වරින් වර රෝගාතුරව , රෝහල්ගතව ජීවිතයෙන් සමු ගැනීමය. මරණයට හේතු වූයේ රුධිරයේ සීනි සාන්ද්‍රණය පහළ යාම නිසා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කළ නොහැකි මට්ටමට මොළයට හානි සිදු වීමය. ඒ හරහා දීර්ඝකාලීනව සිහි මූර්ඡා වීමත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස නිව්මෝනියාව වැළඳුණු බව වෛද්‍යවරුන්ගේ මතය විය. මේ මරණය සිදුවන විට ඉන්ග්‍රම් යුවළ වෙසෙන්නේ දේවගැති නිවසේම එක් කොටසකය.
මැතිව් පීරිස්ගේ දරුවන් තිදෙනාම විදෙස්ගත ව සිටි අතර බිරිඳ ඉන් එක් දියණියකගේ නිවසේ රඳවා එන්නේ ද දේවගැතිවරයා විසින්මය. අවසානයේ සැක තැන් ඉතිරි කරමින් රසල් ඉන්ග්‍රම් මෙලොවින් සමුගනී. ඔහුගේ නීත්‍යානුකූල භාර්යාව වන ඩැල්රින් මේ දේවගැතිවරයා දෙස දක්වන භක්තිවන්ත ඇල්ම සහ විශ්වාසය නිසාම රසල් ගේ මරණය පිළිබඳ සැක සංකා වලට හිස ඔසවන්නට ලැබුණේ නැත. අනතුරුව ලංකාවට පැමිණෙන දේවගැති බිරිඳ ඉයුනිස් ෆිලිෂියා ලොයිස් පීරිස් ද එක්වරම රෝගාතුර වේ. එංගලන්තයේ දී යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ ඇය රසල් ගේ රෝග ලක්ෂණම එනම් , අප්‍රාණික භාවය, අධික නිදිමත ස්වභාවය පෙන්වා වරින්වර රෝගාතුරව 1979 මාර්තු 19 වැනිදා ජීවිතයෙන් සමු ගනී.මරණයට හේතු වන්නේ රසල් ගේ මරණයට හේතුවම ය. මේ දෙදෙනාවම ප්‍රතිකාර වලට යොමු කිරීමේදී දේවගැතිවරයා දැක්වූ අත්තනෝමතික හැසිරීම සහ ඔහු විසින් වරින් වර ලබා දුන් ඖෂධ පිළිබඳ සැකයේ දළු ලියලා වැඩෙන්නට විය. මේ සිදුවීම් ද්විත්වය අතර අන්තර් සබඳතාවක් ඇතැයි වෛද්‍යවරුන් සැක පහළ කර අතර දේවගැතිවරයා පැමිණි අවස්ථාවන්හි දී රසල් ගේ රෝගී තත්ත්වය උත්සන්න වූ බව අවට ඇඳ වල සිටි රෝගීන් නිරීක්ෂණය කර තිබිණ. එමෙන්ම මැතිව් පීරිස් පැමිණි පසුව සේලයින් සැපයුම අඩාල වීමක් හෝ කාන්දු වීමක් වැනි අවහිරතා වාර්තා වූ බව හෙදියන් ද නිරීක්ෂණය කර තිබිණ. අවසානයේ දී 1979 වසරේ දී සැක පිට අත් අඩංගුවට පත්වන මැතිව් පීරිස් සහ ඩැල්රින් ඉන්ග්‍රම් ට එරෙහි තීන්දුව ලැබෙන්නේ 1984 වසරේ දී ය. මැතිව් ගේ දරුවන් ද තම මවගේ මරණය සම්බන්ධව පියාගේ හැසිරීම ට එරෙහිව සාක්ෂි සැපයූහ. දේවගැති මැතිව් පීරිස් හට මරණීය දණ්ඩනය නියම වද්දී ඩැල්රින් ඉන්ග්‍රම් හට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. පසුව විධායක ජනපති බලතල හරහා ජේ.ආර් ජයවර්ධන මහතා මැතිව් පීරිස් ගේ මරණ දඬුවම ද ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කර තිබිණ. සැකකරුවෙක් ලෙස දෙවසරක් රිමාන්ඩ් බන්ධනාගාරගතව ද වැරදිකරුවෙක් ලෙස දහතුන් වසරක් සිරගතව ද සිටි දේවගැතිවරයා 1997 දී දඬුවම් කාලය ගෙවා නිදහස ලැබූ අතර වසරකින් පමණ ජීවිතක්ෂයට පත් විය. පළමු නඩු විභාගයට පසුව ඇපෑලක් ඉදිරිපත් කළ ඩැල්රින් ඉන්ග්‍රම් චෝදනා වලින් නිදහස ලබන්නී එසැණින් විදෙස් ගත වූවාය.
ඩැල්රින් ඉන්ග්‍රම් විදෙස්ගතව සිටියද මේ දිනවල ලංකාවේ වෙසෙන බව පැවසේ. තම දෛවය වෙනස් කළ ඒ කතා පුවත රූ රැජණක ලබොලිවුඩ් තාරකාවක දායකත්වයෙන් රිදී තිරයට නැගුනු අයුරු දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව ඇයට හිමි වනු ඇත.
මේ සමග සිහි නංවනු වැළැක්විය නොහැකි අතීත සිනමා නිර්මාණයක් ද වේ. ඒ ජනක මල්ලිමාරච්චි විසින් මැතිව් පීරිස් නඩුව ඇසුරින් නිර්මාණය කරන්නට උත්සාහ කළ මාගම් සෝලිය නම් සිනමා නිර්මාණයයි. 1992 වසරේ දී ජනක මල්ලිමාරච්චි
මාගම් සෝලිය සඳහා සූදානම් වන විට මැතිව් පීරිස් මිනීමැරුම් සඳහා දඬුවම් ලබන සිරකරුවෙකි. නමුත් එම චිත්‍රපටය ආරම්භක අදියරෙහිම නවතී. ඒ පිළිබඳව ජනක පවසන්නේ මෙවැන්නකි. "මම හිරගෙදරට ගිහිං මැතිව් පීරිස් ව හමුවුණා. එයා ගැන ෆිල්ම් එකක් කරන්න හිතංඉන්නවා කියලා කිව්ව්ම කේන්ති ගිහිං බැණලා ඇඟට කඩා පැන්නා."
මුල් දිනයේ නොසරුප් වදන් සංග්‍රහයකින් සැලකුම් ලැබුවද පසුව දේවගැතිවරයා අවසානයේදී ඔහු සමග කතා බහ කරන්නට එකඟ වේ.
"මම දිගටම හිරගෙදරට ගිහිං සාකච්ඡා කළා. එයාගේ චරිතය එයාම රඟපාන්න කැමතියි කියලාත් මැතිව් පීරිස් කිව්වා.මොකද එයා තමන් නිදහස් වෙනවා කියන විශ්වාසයේ හිටියේ, අවසානයේ මැතිව් පීරිස්ගේ චරිතයට රවීන්ද්‍ර රන්දෙණියත් , ඩැල්රින් ඉන්ග්‍රම් ලෙස අනෝජා වීරසිංහත් ,දේවගැති බිරිඳ ලෙස වසන්ති චතුරාණිත් යෝජනා විය. තිරපිටපත සුගතපාල ද සිල්වාගෙනි.අර්නස්ට් පෝරුතොට පියතුමාට තිර පිටපත පෙන්නලා එතුමාගේ අනුමැතිය සහ අදහස් ලබා ගත්තේ මේ නිර්මාණයෙන් ආගමික පාර්ශවයන්ට අගතියක් වෙන එක නවත්තන්නයි. රවීන්ද්‍රට මේකප් ටෙස්ට් එකක් පවා කළා.ඒක පත්තර වලත් පළ වුණා".
චිත්‍රපටයට කණකොකා හඬන්නේ ඉන් අනතුරුවය. එක්තරා පුද්ගලයෙක් ජනක මල්ලිමාරච්චි හමුවට එයි. ඔහු එවකට ජනපති වූ රණසිංහ ප්‍රේමදාස ගේ සමීපතමයෙකි. කලා පවුලකට ද සම්බන්ධ ඔහු අද ජීවතුන් අතර නැත.
"ඒ පුද්ගලයා ඇවිල්ලා කිව්වා ජනාධිපති තුමා මේ ෆිල්ම් එක හදනවට කැමති නැහැ. මේක අනවශ්‍ය ප්‍රශ්නයක් මතු කිරීමක් කියලා. මම ප්‍රේමදාස මහත්තයට හුඟක් ගෞරව කරනවා. ඒ නිසා මම එතුමාගෙන් අහන්න ගියේවත් නැහැ. වැඩේ නැවැත්තුවා"එලෙස මාගම් සෝලිය ට නැවතීමේ තිත තබන ජනක තම සිහිනය අත් හැරියේද යන්න විමසා බැලීමු. ඔහු පවසන්නේ කෙදිනක හෝ තම චිත්‍රපටය නිර්මාණය කරන බවකි.,
"මොකද මා ගාව තියෙන්නේ මැතිව් පීරිස්ම කියපු කතාව. එයා මට එක වෙලාවකදි ආන්දෝලානාත්මක කතාවක් කිව්වා."
- සහන් කසීර වික්‍රමසිංහ -