රට විනාස කර ගැලවී යා හැකි නම් මොකට ද නීතියක්? - ගාමිණි වියන්ගොඩ
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දේශපාලනික වශයෙන් පරාජය කිරීමෙන් තොරව ඉදිරියට ගොස් පලක් නැති බව ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ පවසයි.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය හා පුරවැසි බලය සංවිධානය පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ අද දවසේ මෙන්ම හෙට දවසේ අර්බුදයෙන් ද රට ගලවා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ කරුණු තුනක් සාකච්ඡාවට ගනිමිනි.
“පළමු කාරණය මෛත්‍රිපාල සිරිසේන පරාජය කර ඔක්තෝබර් 25 වැනිදා පැවති තත්වයට රට පත්කළ යුතුයි. ඔහු දේශපාලනිකව පරාජය කිරීමෙන් තොරව ඉදිරියට ගොස් පලක් නැහැ.”
එසේම මාස එකහමාරක කාලයක් තුල රට මේ තත්වයට පත්කළ සියලුම දෙනාට විරුද්ධව නීතියෙන් දඬුවම් පැමිණවීම සඳහා කොමිෂන් සභාවක් වහාම පත්කළ යුතුය කරුණ වඩාත් වැදගත් බව ඔහු පෙන්වා දෙයි.
“රට විනාස කරලා නිදහසේ ගැලවිලා යන්න පුළුවන් නම් රටක නීතියක, යුක්තියක, සාධාරණත්වයක තියෙන අර්ථය මොකක්ද?”
“පැලැස්තර අලවා ප්‍රශ්නයෙන් ගොඩ ඇවිත් හරියන්නේ නැහැ. සිරිසේන දේශපාලනිකව පරාජය කළත් අපේ රටේ අනාගතය පිළිබඳ ප්රශ්නය විසඳෙන්නේ නැහැ. මෙය විධායක ජනාධිපතිකම ගැන ප්‍රශ්නයක්. සිරිසේන අයින් කරලා වෙනත් කෙනෙක් විධායක ජනපති ධුරයට පත්කරගත්තා කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. එම නිසා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කරගත යුතුයි ඊළඟ ඡන්දයකට යන්න ඉස්සරවෙලා.”