"විෂම භාග" අද ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ තිරගත වේ...
ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ (Grade "A") සිනමා උලෙළයන් 15න් එකක් ලෙසින් වර්ගීකරණයට ලක්වන ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේ (International Film Festival of India) 50 වෙනි අදියර පසුගිය 20 වෙනිදා ආරම්භ වූ අතර,එය එළඹෙන 28 වෙනිදා දක්වා ඉන්දියාවේ ගෝව නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. නිළ වශයෙන් උලෙළට තොරාගත් සිනමාපට (Official Selections) සහ ආරාධිත සිනමාපට (Invited Films) ලෙසින් සිනමා නිර්මාණයන් 265කට ආසන්න සංඛ්‍යාවක් මෙවර උලෙළේ ප්‍රදර්ශනය කරන අතර, එම නිර්මාණ රටවල් 73ක් නියෝජනය කරනු ලැබේ. ඒ අනුව ආරාධිත සිනමාපටයක් ලෙසින් 50 වෙනි අදියර නියෝජනය කරන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "ගම්පෙරළිය" සිනමාපටය ඊයේ "ස්වර්ණ මයුර ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම" ( Golden Peacock Retrospective) යටතේ තිරගත වූ අතර, මෙවර නිළ තොරාගැනීමක් ( Official Selection) ලෙසින් උලෙළ නියෝජනය කිරීමට සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටය වූ ලලිත් රත්නායකගේ "විෂම භාග" චිත්‍රපටය අද පෙ.ව 10.30 ට උලෙළේ දී ප්‍රදර්ශනය වේ. එයට අමතරව එළඹෙන 25 වෙනිදා දහවල් 12.00 ටද එය මහජනතාවට ප්‍රදර්ශනය කෙරේ.
ආසියානු කලාපීය රටවල සිනමාපටවලට පමණක් සීමාවන "ආසියාවේ ජීවය" (Soul of Asia) නම් වූ තරගකාරී නොවන සිනමා අංශය යටතේ "විෂම භාග" චිත්‍රපටය 50 වෙනි ඉන්දියානු උලෙළ නියෝජනය කෙරේ. ශ්‍රී ලංකාවට අමතරව, චීනය, ජපානය, සිංගප්පූරුව හා තායිවානය නියෝජනය කරමින් තවත් සිනමාපට 6 ක් ඉහත කී අංශය යටතේ තිරගත වේ.
පසුගිය මාස කිහිපය පුරා විවිධ රටවල පැවති අන්තර්ජාතික සිනමා තරග උලෙළයන් (International Film Competitions) , අන්තර්ජාතික සිනමා සම්මාන උලෙළයන් (Festivals of International Film Awards) නියෝජනය කරමින් "විෂම භාග" සිනමාපටය සම්මානයට පාත්‍ර වුව ද, එම සිනමාපටය අන්තර්ජාතික සිනමා උලෙළක (International Film Festival) තිරගතවන වන දෙවැනි අවස්ථාව මෙය වේ. එය පළමු වරට පසුගිය ජූනි මස චීනයේ පැවති 22 වෙනි ෂැංහයි අන්තර්ජාතික සිනමා උලෙළේ දී (Shanghai International Film Festival) තිරගත කෙරුණි. ඒ අනුව 2019 වසරේ ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උලෙළයන් 2ක් නියෝජනය කිරීමට නිළ වශයෙන් සුදුසුකම් ලද (Official Selection) එකම ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය බවට "විෂම භාග" චිත්‍රපටය පත්විය.
පන්සිළු වික්‍රමරත්න, පංකජ වික්‍රමරත්න, ජැක්සන් ඇන්තනී, කෞෂල්‍යා ප්‍රනාන්දු, හේමසිරි ලියනගේ, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක ආදී රංගන ශිල්ප ශිල්පිනියන්ගේ රංගනයෙන්ද, පාලිත පෙරේරාගේ කැමරාකරණයෙන් ද හැඩවෙන "විෂම භාග" සිනමාපටය, ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් අලුදෙණියේ සුබෝධි ස්වාමින්වහන්සේගේ නිෂ්පාදනයකි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි