"පාංශු" සහ "අසන්ධිමිත්තා" ,ඉන්දුනිසියාවේ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළ නියෝජනය කරයි...
ආසියානු කලාපීය රටවල සිනමා නිර්මාණයන් වෙනුවෙන් ප්‍රමුඛත්වය හිමිකර දෙන ඉන්දුනිසියාවේ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළ (Jogja-Netpac Asian Film Festival) පසුගිය 19 වෙනිදා ආරම්භ වූ අතර, එය අද සවස පැවැත්වෙන සම්මාන ප්‍රදානෝත්සවයෙන් අනතුරුව නිමාව දැකීමට නියමිතය. 2006 වර්ෂයේදී සමාරම්භය සනිටුහන් කල ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළේ 14 වෙනි අදියර මෙම වසරේදී ක්‍රියාත්මක වන අතර, ආසියා පැසිෆික් සිනමාවේ සංවර්ධනය සඳහා වූ කේන්ද්‍ර ජාලය හෙවත් නෙට්පැක් ආයතනය (NETPAC) සහ සිනමා උලෙළ සංවිධාන කමිටුව එක්ව මෙම උලෙළ සංවිධානය කරනු ලබයි. ගෙවීගිය අදියරයන් 13 තුලදී ශ්‍රී ලාංකේය සිනමාපට 09ක් (පොන්මනී, පාරදිගේ, බඹරු ඇවිත්, ඔබ නැතුව ඔබ එක්ක, ස්වරූප, දැකලා පුරුදු කෙනෙක්, රතු සමනල හීනයක්, නිම්නයක හුදකලාව, දැවෙන විහඟුන්) ජෝග්ජා-නෙට්පැක් උලෙළ නියෝජනය කිරීමට සමත්වූ අතර, මෙම වර්ෂයේදීද ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට 02 කට උලෙළ නියෝජනය කිරීමේ වරම් හිමිව ඇත. ඒ අනුව විසාකේස චන්ද්‍රසේකරන්ගේ "පාංශු" චිත්‍රපටය 'ආසියානු වෘත්තාන්ත සිනමාපට තරග අංශය' (Asian Feature Competition) යටතේ ඊයේ (නොවැම්බර් 22) පෙරවරුවේ උලෙළේ තිරගත වූ අතර, අද සවස 1.00ට එය යලිත් වරක් මහජනයාට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එයට අමතරව අසෝක හඳගමගේ "අසන්ධිමිත්තා" සිනමාපටය 'ආසියානු පර්යාවලෝකනයන්' (Asian Perspectives) නම්වූ තරගකාරී නොවන අංශය යටතේ ඊයේ පස්වරුවේදී උලෙළේ දී තිරගත විය.
ආසියානු කලාපයට අයත් සිනමාපට 16ක් මෙවර 'ආසියානු වෘත්තාන්ත සිනමාපට තරග අංශය' නියෝජනය කරන අතර, එකී සිනමාපට දහසය කාණ්ඩ 02ක් යටතේ සම්මාන 04ක් සඳහා තරග වදී. මෙහිදී පළමු කාණ්ඩය යටතේ වූ සිනමාපට 08 උලෙළේ පිරිනමන ඉහළම සම්මාන ද්විත්වය වන 'ස්වර්ණ හනුමා' සහ 'රජත හනුමා' (Golden Hanoman/ Silver Hanoman) යන සම්මානයන් සඳහා තරග වදී. "පාංශු" චිත්‍රපටය ඇතුළුව දෙවන කාණ්ඩය යටතේ වූ සිනමාපට 08 නෙට්පැක් සම්මානය (NETPAC Award) සහ ගෙබර් සම්මානය (GEBER Award) යන සම්මාන ද්විත්වය සඳහා තරග වදී. මීට පෙර අදියරයන්හිදී ප්‍රසන්න විතානගෙගේ 'ඔබ නැතුව ඔබ එක්ක', ධර්මසේන පතිරාජගේ 'ස්වරූප', මලිත් හෑගොඩගේ 'දැකලා පුරුදු කෙනෙක්', ප්‍රියන්ත කළුආරච්චිගේ 'රතු සමනල හීනයක්'සහ සංජීව පුෂ්පකුමාරගේ 'දැවෙන විහඟුන්' යන සිනමාපට උලෙළේ අන්තර්ගත 'ආසියානු වෘත්තාන්ත සිනමාපට තරග අංශය' නියෝජනය කිරීමට සමත් වුව ද, මේ දක්වා එකඳු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටක් හෝ මෙම උලෙළේ දී සම්මානයට පාත්‍ර වී නොමැත.
ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව "ඒ" ශ්‍රේණියේ සිනමා උලෙළක් වන කැනඩාවේ මොන්ට්‍රියල් අන්තර්ජාතික සිනමා උලෙළෙන් (Montreal World Film Festival) 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ගමන් ඇරැඹූ "පාංශු" චිත්‍රපටය තිරගතවන 14 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ ජෝග්ජා-නෙට්පැක් ආසියානු සිනමා උලෙළ වේ. එසේම ආසියාවේ සුවිශාලතම සිනමා උලෙළ ලෙසට සැලකෙන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙන් (Busan International Film Festival) 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ගමන් ඇරැඹූ "අසන්ධිමිත්තා" සිනමාපටය තිරගතවන 06 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ ද මෙය වේ.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි