ප්‍රතිභාපූර්ණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන අශෝක හඳගමගේ අධ්‍යක්ෂණයෙන්,
චන්න දේශප්‍රිය කැමරාකරණයෙන්, රවින්ද්‍ර ගුරුගේ සංස්කරණයෙන්, රෝහන වීරසිංහයන්ගේ අපූරු තේමා ගීතයකින් අවසන්වන “ලයිකා” නිෂ්පාදනයක් ලෙසින් තිරගත වන රාණී සිනමා නිර්මාණය සිනමා ශාලාවෙන් ප්‍රේක්ෂකයා ඉවත්ව සිටි යුගය ටික කලකට හෝ අවසන් කර ඇත. එනම් මේ දිනවල තිරගත වන රාණී සිනමා නිර්මාණය සිනමා ශාලා වලින් ඈත් ව සිටි ප්‍රේක්ෂකයන් නැවත සිනමා ශාලා වෙත සමීප කිරීමට සමත් ව ඇත.
ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයට සම්බන්ධ කථා තේමාවක් රැගත් රාණී සිනමා නිර්මාණය පුරා දිග හැරෙනුයේ 89, 90, 91 කාල පරිච්ඡේදයේ ශ්‍රී ලංකාව වසාගෙන සිටි අමානුෂික ඝාතන සංස්කෘතියට අදාළ සිදුවීමකි. එනම් නීතිය අවභාවිතා කිරීම්, භීෂණය හා ම්ලේච්ඡත්වය නිසා සිදු වූ අතිශය ඛේදනීය වූ දහස් සංඛ්‍යාත මනුෂ්‍ය ඝාතනයන් අතරින් තවත් එක් ඛේදවාචකයක් විශේෂයෙන් මතුකර ඇත. ඒ අතිශය ජනාදරයට පත් ව සිටි තරුණ ජනමාධ්‍යවේදියෙක් හා රූපවාහිනි නිවේදකයෙක්, ලේඛකයෙක්, රංගන ශිල්පියෙක්, මෙන් ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ රිචඩ් ද සොයිසා තරුණයා බලයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වද දී මරා මුහුදට දැමීමත් පසුව මෘත ශරීරය නැවත වෙරළට පාවී ඒම හා වදයට ලක් කර විකෘති වී තිබුණ ද, මව විසින් තම එකම පුතුගේ සිරුර හදුනා ගැනීමත් ය. සැබැවින්ම හරියටම මීට වසර තිස් හතරකට පෙර එනම් 1991 වසරෙහි පෙබරවාරී මස 18 හෝ ආසන්න දිනක දී තම නිවසට පැමිණ බලයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙෂ ඝාතනය කර මුහුදට විසිකර දමනු ලදුව පසුව මොරටුව කොරලවැල්ල වෙරළ තීරයට ගොඩගැසූ මෘත ශරීරය වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු තම පුතුගේම බව හදුනාගනී.
ප්‍රධාන සිදුවීම එය වුවද එම කාල වකවානුවේ දී කාගේ හෝ උවමනාව අණකිරීම මත සමූහ වශයෙන් හෝ තනි තනිව අමානුෂික ලෙස ඝාතනය කරන ලද මෙරට ප්‍රධාන පෙළේ උගුතුන් බුද්ධිමතුන් දේශපාලඥයන් අතරෙහි කැපී පෙනුන චරිත බොහෝ වූ බව නොරහසකි . එවන් චරිත අතරෙහි ලලිත් ඇතුලත්මුදලි වැනි කෘතහස්ත දේශපාලඥයන් ද ප්‍රේමකීර්ති ද අල්විස් වැනි සුන්දර සාහිත්‍යවේදීන්, කලාකරුවන් වැනි කිහිප දෙනෙකුම කිසියම් ම හෝ පිරිසක් අතින් ඉතාමත් අසාධාරණ ලෙස ඝාතනයට ලක් වූ ආකාරය රාණී මතකයට ගෙනවිත් ඇත.
සිනමා නිර්මාණය තුළ දිගහරුණේ සිදුවීම් කිහිපයක් වුවද ඒ සිදුවීම් ඔස්සේ බලය අවභාවිත කරමින්, භීෂණය පතුරුවමින් සිදුකළ දහස් ගණන් අමානුෂික ඝාතන එනම් හැට දහයකට ආසන්න මනුෂ්‍ය ඝාතන, රැල්ලක වේදනාත්මක මතක නැවත මතකයට නංවයි.
දේශපාලන ව්‍යාපාරයන්හි හෝ එම යුගයේ ප්‍රකාශයට පත්කළ ආකාරයේ රාජ්‍ය විරෝධි ව්‍යාපාරවල නිරත වූ හෝ නොවූ යෙදුනු හෝ නොයෙදුනු උගතුන් බුද්ධිමතුන් තරුණ තරුණියන් සාමාන්‍ය මිනිසුන්, කෘතහස්ත දේශපාලඥයින්, විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන්, වෛද්‍යවරුන්, රටක යහපත් අනාගත පැවැත්මක් සඳහා අවධි වූ ජාති ආගම් භේදයකින් තොර වූ බොහෝ මිනිසුන් ද වෘත්තිකයන් මෙන් ම ව්‍යවසායකයන්, ඒ කිසිවකට කිසිදු සම්බන්ධයක් නොමැති සාමාන්‍ය මිනිසුන්, වැඩිහිටියන් පමණක් නොව අහිංසක පාසැල් සිසුන් පවා පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක්කර අමානුෂික ලෙස ඝාතනය කළ යුගයක් විය.එපමණක් නොව තමා කරන කියන දේ සම්බන්ධව අවබෝධයක් නොමැති වු මානසික රෝගින් පවා මහ මග මරා දැමුණු හිංසනයට වධයට ලක් කර ඝාතනය කළ කෘර මනුෂ්‍ය ඝාතන, රැල්ලක වේදනාත්මක මතකයන් බොහෝ විය.
අශෝක හඳගමයන්ගේ බොහෝ සිනමා නිර්මාණයන්ට රංගනයෙන් දායක වූ ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පිණී ස්වර්ණා මල්ලවආරච්චි ප්‍රවීණ රංගන ශිල්පිණියගෙන් පන පෙවුණු වෛද්‍ය මනෝරාණී සරවනමුත්තු චරිතය මෙහි ප්‍රධාන චරිතය වී ඇත. The Queen Without Her Prince ” කුමාරයා අහිමි රුජිණ” ලෙස සිනමා නිර්මාණය නම් කර තිබුන ද තමා පනමෙන් ආදරය කළ තම එකම දරුවා තමා ඉදිරියටම පැමිණ බලයෙන් පැහැරගෙන ගොස් මරා දමා තිබිය දී දරුවාගේ මිනිය හමුවීමත් ඇය විසින් එය තම පුතුගේම බව හදුනා ගැනීමත් සිනමා නිර්මාණය තුළ ප්රබළ ලෙස මතුකර දක්වා ඇත. එය විශේෂ අවස්ථාවකි. කෙතරම් විකෘතිව තිබුන ද පුතුගේ මිනිය හදුනාගත් ඇය තමා ව වාසනාවන්තියක් ලෙස ද හදුන්වාගෙන ඇත. පැහැරගෙන ගිය දරුවන්ගේ මෘතදේහයන්වත් දකින්නට නැතිව දරුවන් සොයා යමින් වැළපෙන, සුසුම් හෙළන, පු`ථස්සා, විකෘති කර මහ මග දමා ගිය මෘත දේහ හමු වුන ද එය කාගේදැයි හදුනාගත නොහැකි ව සිහිවිකල් වු දහස් ගණන් මව්වරුන් අතරෙහි ඇය නොකියා කියූ බොහෝ දේ එම ප්‍රකාශය තුළ තිබිය හැකිය.
තම පුතුගේ මරණයෙන් වසර දහයකට පමණ පසු එනම් 2001 වසරෙහි පෙබරවාරි මාසයෙහි ම 13 වන දිනක ජීවිතයෙන් සමුගන්නා වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු ඛේදවාචකයක් නිසා මෑත කාලයේ මෙරට බිහි වූ වීරවරියක් ය. ඇය රූපවාහිනියෙන් දර්ශනය වන්නේ ද පුතුගේ මරණයෙන් පසුව වන අතර ඒ සැම විට ම ඇය නිතර ම ඇඳ සිටියේ ඉන්දියානු ක්‍රමයට ඇද සිටි සාරියයි. සම්ප්‍රදායික දමිළ කාන්තාවකගේ ලෙසින් වන, දෑතෙහි වළලු, ගෙලෙහි තැල්ල, නලලෙහි තිලක, හිසෙහි තැවරූ සින්දුර් කිසිවක් නැති වෛද්‍ය රාණි උගත් බුද්ධිමත් ක්‍රියාශීලි කාන්තාවක් වන අතර දමිළ කාන්තාවක් බව යම් තරමකට හෝ හගවනුයේ කඩා හැලෙන්නට ඉන්දියානු ක්‍රමයට ඇද සිටි සාරිය හා නලළෙහි තිලකය පමණි. අනෙකුත් බොහෝ අංශයන්ගෙන් ඇය සම්ප්රදායිකත්වය ඉක්මවා සිගරට් බොන, මත්පැන් පානය කරන, දුම්වැටි උරන නිදහස් නිර්භය සමාජශීලී කාන්තාවක් වූවාය. වෛද්‍යවරියක ලෙස වෘත්තිය ජීවිතයේ දී අය කළ සේවය දරුවන් බිහිකරන්නියන් උදෙසා වුවද ඇය තම දරුවා අහිමි මවක් ලෙස කළ මෙහෙය කාන්තාවන්ට අහිමි වීම දරාගැනීමට පමණක් නොව තවදුරටත් අවනීතිය නිසා දරුවන් අහිමි නොවන්නට බොහෝ දුරට හේතු වන්නට ඇත.
කෙසේ වුවද ඇය දරුවන් අහිමි පටාචාරාවක් නොවූවාය. මනෝරාණී නම් වූ ඇය එක්තරා ආකාරයක කිසාගෝතමියක් වුවාය. නොමල ගෙයකින් අබැටක් සෙවූ කිසාගෝතමිය වෙනුවට රාණී දරුවන් අහිමි වූ මව්වරුන් සොයා ගියාය. තරුණ ස්වාමි පුරුෂයන් අහිමි වූ බිරින්දෑවරුන් හමුවුනාය. එවන් මව්වරුන්, බිරින්ඳෑවරුන් සොයා ගොස් ඔවුන් පෙළ ගස්වා නිර්මාණය කළ “මව්වරුන්ගේ පෙරමුණ” වධකයින්ට එරෙහිව පෙළ ගැස්ස වූ කඳුළු සහ සුසුම් කුණාටුවන්ට වන්නට ඇත. අවනීතිය රජකරන්නට අනුබල දුන් බොහෝ දෙනෙකුට තනතුරු පමණක් නොව ජීවිත ද අහිමි කරන්නට එම කඳුළු සාපයක් වන්නට ඇත. ස්වර්ණා මල්ලවආරච්චිගේ අතිශය ස්වාභාවික රංගන වින්‍යාසය තුළ වෛද්‍ය මනෝරාණී දරු දුක දරාගෙන අනෙකුත් දරුවන්ගේ හා මව්වරුන්ගේ දුක වෙනුවෙන් කළ කැප කිරීම ප්‍රති නිර්මාණය වී ඇත.
එමෙන් ම ඉතාමත් ප්‍රවීන හා ජනප්‍රිය යැයි නම් දරා සිටින බොහෝ රංගන ශිල්පීන්ගේ මෙන් ම සෑම විටම හදුන්වා දෙන ලද නව හා නළු නිළියන්ගේද දක්ෂතාවන් හැකියාවන් ගෙන් සිනමා නිර්මාණයට ප්‍රතිභාවක්, නැවුම් බවත් එක්කර ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම ප්‍රවීන රංගවේදීන් වන සනත් ගුණතිලක, සෞම්‍ය ලියනගේ, බිමල් ජයකොඩි මෙන් ම අශාන් ඩයස්, මයුර කාංචන, සජිත ඇන්තනි ඇතුළු තව බොහෝ දෙනෙකු විනාඩි කිහිපයකින් හෝ ලබා දී ඇති රංගන දායකත්වය නිසා සිනමා නිර්මාණයට ජීවයක් එක් කර ඇති බව කිව යුතුය. ඇතැම් විට ඔවුන් කර ඇත්තේ, වෘත්තිමය කාර්යභාරයක් නොව සහෘදයෙකුට කෘතවේදීත්වය දැක්වීමක් විය හැකිය. එය එසේ නම් රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් වැනි සහෘදයන්ට මෙන් ම චිත්‍රපටිය අධ්‍යක්ෂණයේ යෙදුනු හඳගමයන්ට ද කෘතවේදීත්වය දැක්වීමක් මෙන් ම සහෝදරත්වය හා ගෞරවය දැක්වීමක් විය හැකිය.
කිසියම් කලා නිර්මාණයක් රස විදීමේ දී ප්‍රේක්ෂකයාට යමක් සිතීමට, තීරණය කිරීමට ඉතිරි කිරීම කළ හැකිනම් එම සාහිත්‍ය හෝ කලා නිර්මාණය සැබවින්ම අගය කළ යුතුය. එය සාරවත් නිර්මාණයක් වනු ඇත. බොහෝ සිනමා නිර්මාණයන් තුළ දැකිය හැකි ආරම්භක ජවනිකා කිහිපයෙන් ම අවසානය සිදුවන්නේ කෙසේ ද කිව හැකි දියාරූ තිර පිටපත් හා අධ්යක්ෂණයන්ගෙන් සෑම විට ම වෙනස් වන ප්‍රවීණ අධ්‍යක්ෂක අශෝක හඳගමයන්ගේ අධ්යක්ෂණයන්හි සෑම විටම තිබුණේ නිර්මාණය අවසන් වනතුරුම සිදුවන්නේ හෝ සිදුවන්නට යන්නේ කුමක් ද යන කුතුහලය ප්‍රේක්ෂකයාට ඇති කිරීම ය. නිර්මාණය අවසාන වූ පසු ද ඔහු ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ඉතිරි කරඇත. එය ඔහුගේ සෑම නාට්‍ය හා සිනමා නිර්මාණයකම දැකිය හැකි අති විශිෂ්ඨ ගුණයක් වන අතර එය රාණි සිනමා නිර්මාණයයෙහි ද එසේ ම වේ. චන්දකින්නරීගේ සිට මේ මගේ සඳයි, මේ පාරෙන් එන්න, ඉනි අවන්, විදු, ඇගේ ඇස අග, අසන්ධිමිත්තා, අල්බොරාදා වැනි සෑම නිර්මාණයක තිබු එම අපූර්ව ගුණය රාණී සිනමා නිර්මාණය තුළ ද ඒ අයුරින් ම තිබීම පැසසිය යුතු ය. සැබවින්ම රාණී සිනමා නිර්මාණය අශෝක හඳගමයන්ගේ අධ්‍යක්ෂණයක් පමණක් නොව ඔහුගේම අපූර්ව නිර්මාණයක් ද වේ.
සිනමා නිර්මාණයක් ලෙස මෙය සාර්ථක වුවද, මේ සිදුවීම් සම්බන්ධ එනම් 89, 90, 91 වසර පිළිබද කටුක අත්දැකීම් ඇති බොහෝ දෙනෙකුට තම වේදනාත්මක මතකයන් අවදි කරන්නක් විය හැකිය. අසාධරණ අහිමි වීම් සමග ජීවත් වන බොහෝ දෙනෙකු මේ වන විටත් සිටිනු ඇත. එම පිරිස් අවම වශයෙන් වයස හතළිහ ඉක්ම වූ වැඩිහිටියන් විය හැකිය. ඔවුන් සියළු දෙනාම රාණී සිනමා පටයට තේමා වූ එම යුගය ශ්‍රී ලංකා ඉතිහාසයේ අති බිහිසුණු ම දරුණු ම ඛේදවාචකයකට පසුබිම වූ යුගයක් බව නොදන්නවා විය නොහැක. එමෙන්ම එම යුගය හදවතට එකඟ ව ප්‍රකාශ කළහොත් සිනමා නිර්මාණයේ පෙන්වනවාට වඩා අති බිහිසුනු අශීලාචාර, මිලේච්ඡ යුගයක් වූ බවද රහසක් නොවනු ඇත. ඒ අනුව රාණී සිනමා නිර්මාණය දරුවන්, ස්වාමි පුරුෂයන්, සහෝදරයන් අහිමි වූ සුවහසක් දෙනාට තම වේදනාත්මක මතකයන් නැවත අවධි කරන්නට සමත් වූ නිර්මාණයක් විය හැකිය.
මහාචාර්ය නාමලී කුමාරී හඳගම,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය