මලයාලම් සිනමාව කියන්නේ මිනිස්සුන්ගේ හිත කැමති කැමති ආකාරයට වශී කරන සිනමාවක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ තිබෙන විවිධ ශානර තමන්ගේ ක්‍රමයට වෙනස් කරල හරි අපූරුවට මිනිස්සුන්ට ඉදිරිපත් කරන්න මේ මලයාලි වශීකාරයන්ට පුළුවන්. ඔවුන්ගේ කතා මහා ලොකු ඒවා නොවෙයි. පුංචි සරල සිදුවීමක් වටා චරිත මනා ලෙස හැඩ ගස්වා මේ මිනිස්සු සෙලියුලොයිඩ් පටයට ගන්නවා. මේ කියන්න යන්නෙත් ඒ වගේම ලස්සන මලයාලම් සලරුවක් ගැන.
ආෂික් අබු විසින් අධ්‍යක්ෂණය කරන ලද ශ්‍යාම් පුෂ්කරන්, දිලීෂ් කරුණාකරන් සහ සුහාස් විසින් රචනා කරන ලද මේ ෆිල්ම් එක නමින් රයිෆල් ක්ලබ්. 2024 අග භාගයේ එළිදැක්වූ මේ චිත්‍රපටිය ගැන සරලවම කියනවා නම් සුපිරියක්.
කතාව පැත්තට ගියොත් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට ඉන්දියාව යටත්ව තිබූ කාලයේ සිටම නම්බුකාර වංශක්කාර පරම්පරාවකට අයිති පරම්පරාවක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ඔවුන්ගේ එකම විනෝදය වෙඩි තැබීම. ගෑනු පිරිමි වයස් භේදයකින් තොරව වෙඩි තැබීම සම්බන්ධයෙන් දක්ෂ ප්‍රවීණයන්. ඕනෑම ඉලක්කයකට ඕනෑම පරිසර තත්ත්වයක් යටතේ වෙඩි තියන්න හැකියාව තියෙන පිරිසක් තමයි මේ පවුලේ ඉන්නේ.
‘..පොළොව හෙල්ලුනත් තුවක්කුව මානම් ඉන්න කොට අතනම් හෙල්ලෙන්න දෙන්න එපා...‘
හැබැයි මේ ක්ලබ් එකට මේ පරම්පරාවට නවීන තුවක්කු නම් නැහැ. පිස්ටල්, බෝර 12 තුවක්කු, කානු දෙකේ තුවක්කු එකී නොකී මෙකී පැරණි තුවක්කු හැම එකක්ම තියෙනවා. මේ හැම තුවක්කුවක්ම සුද්දගේ කාලේ ඉදන් පරිස්සම් කරල තියාගෙන ඉන්න පැරණි ඒවා. හැබැයි මොවුන් ළග නූතනයේ භාවිත කරන ස්වයංක්‍රීය තුවක්කු නැහැ. මේ පැරණි හැම තුවක්කුවකටම බාරකාරයෙක් ඉන්නවා. හැබැයි කාටවත් ලේසියෙන් ඒ බාරකාරීත්වය ගන්න බැහැ.
‘...ශ්‍රේෂ්ඨ තුවක්කුවකට අයිතිකාරයෝ නෑ. ඉන්නේ භාරකාරයෝ විතරයි. ඒ භාරකාරයා වෙන්න ලේසියෙන් කාටවත් බෑ. මුදල් තිබුණත් බෑ....‘
මේ රයිෆල් ක්ලබ් එකේ අය කියන්නේ එහෙම. මේ ක්ලබ් එකේ වෛද්‍යවරයෙක්, පල්ලියේ පියතුමෙක් පවා සිටිනවා. පියතුමා තමයි මේ අයගේ පව් සමා කරන්නේ.
‘කුසගින්න සඳහාත් ජීවිතාරක්ෂාව සඳහාත් පණ නසන එක කමක් නෑ. ඒ නිසා මරන්නම ඕන...‘
පියතුමාගේ උදාන වාක්‍ය මේ. ඉතින් මේ ක්ලබ් එකේ ගරු සාමාජිකත්වයක් ගන්න එක්තරා නළුවෙක් එනවා. එදා ක්ලබ් එකේ හැමෝම කැලයක් මැද තියෙන ඔවුන්ගේ ක්ලබ් එකේ ඉන්නේ. මේ නළුවා ඇවිත් ගරු සාමාජිකත්වය ගන්න දවසේ රෑ නළුවාගේ සහෝදරයා තව කෙල්ලෙක් එක්ක මේ ක්ලබ් එකට එනවා. ඒ දරුණු ආයුධ ජාවාරම්කාරයෙක් එක්ක ලොකු ගෝරියක් දාගෙන. සරලවම කියනවා නම් නළුවාගේ සහෝදරයාගේ කෙල්ලට කරදර කරන්න ආවා ආයුධ ජාවාරම්කාරයාගේ පුතාට ගහල බිල්ඩින් එකකින් බිමට දාලා මරණවා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් තමයි තමන්ගේ සහෝදරයා සොයන් එන්නේ. හැබැයි මේ ජෝඩුව පසුපස අර ආයුධ ජාවාරම්කාරයාගේ කට්ටියත් ක්ලබ් එක තියෙන කැලේට ඇවිත් අති නවීන තුවක්කු (මිනි ඌෂ්, ස්නයිෆර්, ස්වයංක්‍රීය ගිණි අවි...) සමග ක්ලබ් එකට පහර දෙනවා.
කුලප්පු වුණ වල් ඌරෝ, වියරු වැටුණු කොටි එක්ක හරි හරියට ගෑනු පිරිමි භේදයකින් තොරව සටන් කරන්න පුළුවන් හයියක් ඇති ඕනෑම වියරු වැටුණු සතෙක්ගේ ඇසට වෙඩි තබා මරා දැමිය හැකි ගෑනු පිරිමි ඉන්න මේ රයිෆල් ක්ලබ් එකට එකපාරට ප්‍රහාරයක් එල්ල වුණොත් මොකක් වෙයිද? සුකොමාල මුහුණ සහිත ප්‍රේමවන්ත ගෑනුන්ගේ අත්වල පවා තුවක්කු බටේ නිසා කරගැට ආව වෙඩි බෙහෙත් සැරට හැම වෙලේම රතු වුණ ඇස් සහිත ඌරන්ගේ ආමාෂය පවා රස කර කර කන මේ තුවක්කුකාරයන්ට, තුවක්කුකාරිනියන්ට මේ ස්වයංක්‍රීය ගිනි අවිවලින් එල්ල වන ප්‍රහාරය මැඩ පැවැත්විය හැකිද?
මේ පරම්පරාවේ අය හැම වෙලේම මුමුණන වචන ටිකක් තිබෙනවා. ඒක කුලප්පු වෙලා පහර දෙන්න එන වල් ඌරන්ටද වියරු වැටුණු කොටියාට ද අණක් ගුණක් නැති මැරයාටද පොදු දෙයක්.
‘..........එහෙම ලේසියෙන් එක එකාට රඟන්න දෙන්න බෑනේ මෙතන.......‘
ඔව් එහෙම එක එකාට ලේසියෙන් රඟන්න දෙන්න පුළුවන්ද.. සියවස් ගණනාවක අභිමානයක් සහිත පරම්පරාවක රයිෆල් ක්ලබ් එකක සාමාජිකයන් එහෙම රඟන්න දෙයිද???
දිනුක මලින්ද හේරත්