lan englan tam

පුවත්

තම නිර්මාණ අමතක 'නළු පුරාවත - නීල් අලස්' අගයමු!

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم
 

නීල් අලස් ඇගයුම් උළෙල
ප්‍රවීණ වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පි නීල් අලස් මහතාගේ නිර්මාණ දිවිය ඇගයීමේ උළෙලක් මෙම ඔක්තෝම්බර් මස 25 වන සිකුරාදා දින සවස 5.00ට සිංහල සංස්කෘතික ආයතනයේ සුදර්ශි ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම උළෙලට සමගාමීව ඔහු රංගනයෙන් දායක වූ සිනමා නිර්මාණ ත්‍රිත්වයක් එදින නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇත.

ඒ අනුව එදින උදෑසන 10.30ට මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ "සතර පෙර නිමිති" චිත්‍රපටය, සවස 2.30ට ධර්ම ශ්‍රී කල්දේරා අධ්‍යක්ෂණය කළ "මුතු මැණිකේ" චිත්‍රපටය, සවස 6.30ට පරාක්‍රම සිල්වා අධ්‍යක්ෂණය කළ "බිත්ති හතර" චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපට නොමිලේ නැරඹීම සඳහා සියළු ප්‍රේක්ෂකයන් සඳහා විවෘතව ආරාධනා කර සිටී.

නීල් අලස් මහතා පිළිබඳව කෙටි සටහනක්!
දකුණු ලකේ ගාල්ල කළුවැල්ල ග්‍රාමයේදි, පීටර් අලස් සහ ක්ලේරා අලස් යුවලට දාව 1948 ජූනි 21 වන දින උපත ලැබූ ඔහු නීල් අලස් නම් විය. ඔහු බිළිඳු අවදියේදීම බම්බලපිටිය ෆලවර් රෝඩ් ප්‍රදේශයට සිය දෙමව්පියන් සමගින් පැමිණෙන්නේ සිය පියාගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙනි. කෙටි කාලයකින් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ඔවුන් කොම්පඤ්ඤවීදියට ස්ථීර පදිංචිය සඳහා පැමිණෙන අතර නීල් අලස්ගේ ප්‍රථම පාසැල වනුයේ කොම්පඤ්ඤවීදියේ හෝලි රෝසරී කතෝලික මිශ්‍ර පාසැලයි. පසුව සාරිපුත්‍ර මහා විද්‍යාලයට ඇතුලත්ව උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත.
පාසැල් වියේ සිටම රංගනයට ඇළුම් කල නීල්, පාසැල් අවදියෙන් පසුව සිය මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව "හැංගි මුත්තං" නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කිරීමට යෙදෙන අතර එය ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගනයද විය. කාලයත් සමගින් ඔහු ප්‍රසිද්ධ වේදිකාවට එක්වන්නේ දයා වයමන්ගේ "අම්මයි පුතයි" වේදිකා නාට්‍ය තුලිනි. එම නාට්‍ය නැරඹූ ප්‍රවීණ නාට්‍යකරු සුගතපාල ද සිල්වා නීල් ගේ රංගන කුසලතාවය පිළිබඳව පැහැදී ඔහුගේ "දුන්න දුනුගමුවේ" නාට්‍ය සඳහා ඔහු සම්බන්ධ කරගත් අතර ඉන් අනතුරුව වේදිකා නාට්‍ය රැසකටම එක්වන්නට ඔහුට අවස්ථාව හිමිවිය . ඒ අනුව ,හිරු නැති ලොව , ආඬිරැලේ නාඩගම, අංගාරා ගඟ ගලා බසී, කැලණි පාලම, තාරාවෝ ඉගිලෙති, ධවල භීෂණ, අවි, ට්‍රෝජන් කාන්තාවෝ, වෙස්සන්තර, යෙර්මා, ගජමන් පුවත, අඹුසැමියෝ, තල මල පිපිලා, අන්දරේලා, මායාදේවී, ස්වර්ණමාලි, ඉඩම, බිංගේ, දිවැස හෙලනු මැන ඇතුළු වේදිකා නාට්‍ය 75කට ආසන්න ප්‍රමාණයකට ඔහුගේ විශිෂ්ඨ රංගන කෞෂල්‍යය එක් කර ඇත.
විජය ධර්ම ශ්‍රීගේ රන් දොරටුව ඒකාංගික ටෙලි නාට්‍ය තුලින් රූපවාහිනීයේ දොරටුව විවෘත කරගත් ඔහු සත්පත්තිනි, රංසිරිගේ සංග්‍රාමය, සැඩසුළං, දන්ඩේ ලූ ගිනි, දූ දරුවෝ, බුමුතුරුණු, බැද්දේගෙදර, ස්වයංවරය (ටෙලි චිත්‍රපටය), මරු සමය (වාර්තා කෙටි චිත්‍රපටය) ඇතුළුව ටෙලි නිර්මාණ රැසක් සඳහාද ඔහුගේ රංගන දායකත්වය එක්කර ඇත.
ගාමිණි හේවාවිතාරණ අධ්‍යක්ෂණය කල 1977 වසරෙ තිරගත වූ "හරි යනකොට ඔහොම තමයි" චිත්‍රපටයේ රංගනයට එක්වෙමින් සිනමාවට අවතීර්ණ වූ ඔහු සොල්දාදු උන්නෑහෙ, බිත්ති හතර, සතර පෙර නිමිති, මුතු මැණිකේ, රිදී නිම්නය, කැලෑමල්, පාරමිතා, කරදිය වළල්ල, ප්‍රාර්ථනා, මධුසමය, සුදු හංසි, මාරුතය, පාලම යට, හිතවතිය, හිත හොඳ චන්ඩියා, ක්‍රිස්තු චරිතය සහ සහරාවේ සිහිනය ඇතුළු චිත්‍රපට රැසක් සඳහා ද රංගනයෙන් එක් වී ඇත.
මුවන් පැලැස්ස, සඳ මඬල ඇතුළු ගුවන් විදුලි නාට්‍ය රැසක් සඳහා සිය හඬ දායකත්වය දක්වා ඇති ඔහු, "සිහින සාප්පුව" නමින් වේදිකා නාට්‍යයක්ද නිර්මාණය කර වේදිකාගත කරන ලදි. එකල ප්‍රකට වූ "80 කන්ඩායමේ" ඔහු ප්‍රකට චරිතයක් විය. අවස්ථා රැසකදී රංගනය වෙනුවෙන් සම්මානනීය වූ ඔහු ,මේ වන විට 76 වන වියේ පසුවෙයි. මදක් රෝගාතුරව නිවසට හුදකලා වී සිටින ඔහුට නීරෝගි සුවය සහ දීර්ඝායුස ප්‍රාර්ථනා කරමු.

 

පසු සටහන : මේ වන විට අතීතයේ ඔහු රඟපෑ නිර්මාණ පිළිබඳව ඔහුට මතකයක් නොමැත.
මෙහි සඳහන්ව නැති ඔහුගේ නිර්මාණ පිළිබඳව මෙම සටහන දකින කියවන ඔබ දන්නේ නම් , ඒ පිළිබඳව සටහනක් මෙහි තබන ලෙසද ඉල්ලා සිටිමි.
ස්තුතියි .

 

සටහන - ඇන්ටන් ජේ.ප්‍රනාන්දු
2024 ඔක්තෝම්බර් 18
ඡායාරූප අනුග්‍රහය - දයාන් විතාරණ


Back to top
Go to bottom

Popular News