“මගේ පළවෙනි ඉලක්කය තමයි සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක කරගන්න එක. ඊට පස්සේ උසස් පෙළ ඊටත් පස්සේ කැම්පස් යනවා. කවද හරි භෞතික විද්‍යාඥයෙක් වෙන්න ආසයි. හැබැයි මොන දේ කළත් ෆුට්බෝල් වලින් නම් ඈත් වෙන්නෙ නැහැ.....”
එහෙම කියන්නේ යාන්තම් වයස 14ක් පිරුණු පුංචි ඩේවිඩ් කරුණාරත්න. ඩේවිඩ් වගේ පුංචි පැංචන්ගේ පැංචියන්ගේ හිත්වල මේ විදියේ හීන කොයි තරම් නම් ඇත්ද? ඒත් ඒ අයගෙන් කීයෙන් කී දෙනකුටද තමන්ගේ හින සැබෑ කර ගන්න අවස්ථාව උදා වෙන්නේ. ඒත් දෛවය විසින් නොසිතූ විදියට ඩේවිඩ්ගේ ජීවිතයටත් අද වන විට වාසනාව උදා වෙලා. ඒ දෛවෝපගත සිදුවීම ඔහු “ ගෝල් චිත්‍රපටයේ “සඳුන් නිලංග“ කියන චරිතයට තෝරා ගැනීමත් සමග සිදු වුවත් අද වන විට ඔහු නළුවෙක් විදියට රටම හඳුනනවා. ඒ වගේම දිවයිනේ ප්‍රසිද්ධ විදුහලක අධ්‍යාපනය ලබන්නත්, පා පන්දු ක්‍රීඩාව වැඩිදුරටත් ප්‍රගුණ කරන්නත් ඔහුට අවස්ථාව උදා වී තිබෙනවා. ඒ හින්දම අපි අද ඩේවිඩ්ගේ කතාව ඔබට කියන්න හිතුවා. මුලින්ම අපි කතා බහට එකතු කරගත්තේ ඩේවිඩ්ගේ අම්මා බ්‍රිජට් කරුණාරත්නයි.
“මට පුත්තු දෙන්නයි. ඩේවිඩ් තමයි දෙවැනි පුතා. පුතාලාගේ තාත්තා දකුණු අප්‍රිකානු ජාතිකයෙක්. එයා ඉන්නේ ග්‍රීසියේ. මම පුංචි රැකියාවක් කරනවා. අපි ඉන්නෙ බොරැල්ලේ.”
ඒ තමයි ඩේවිඩ්ගේ තොරතුරු. ඩේවිඩ් වගේම එයාගේ අයියත් ක්‍රීඩාවට දක්ෂයි. වයස අවුරුදු 8දී විතර තමයි පා පන්දු ක්‍රීඩාවට යොමු වෙලා තියෙන්නේ. ඔහුගේ ජීවිතය උඩු යටි කුරු කළ දෛවෝපගත සිදුවීම වූ “ගෝල්” චිත්‍රපටයට තමාව තෝරා ගත් ආකාරය ගැන ඔහු මෙසේ විස්තර කළා. “මම කලින් ඉගෙන ගත්තේ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහලේ. ඒ වෙද්දී මම හිටියේ 9 වසරේ. මම ෆුට්බෝල් ගහනවා. අපි ප්‍රැක්ටිස් කළේ කැම්බල් ග්‍රවුන්ඩ් එකේ. අපේ කෝච් තමයි සම්පත් සර්. සම්පත් සර් තමයි දවසක් අපිට කිව්වේ චිත්‍රපටයකට ළමයි තෝරාගන්න සර් කෙනෙක් එනවා කියලා. එදා රොහාන් සර් (ගෝල් චිත්‍රපටයේ අධ්යක්ෂ) ඇවිත් අපිට එක එක දේවල් කරන්න කියලා අපේ ඉරියව් පරීක්ෂා කළා. ඒ විදියට ළමයි කීප දෙනෙක් තෝරාගත්තා.” ඒ තෝරා ගැනීම “ගෝල්” චිත්‍රපටයේ කේන්ද්‍රගත චරිතය, එනම් සඳුන් නිලන්තගේ චරිතය සඳහා කළ තෝරා ගැනීමක් බව එදා ඩේවිඩ්වත් දැනගෙන ඉඳලා නැහැ. නමුත් ඩේවිඩ්ව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට තෝරා ගැනීමත් සමග ඔහුගේ රංගන කුසලතා මුළු රටටම පෙන්වන්නට අවස්ථාව ලැබුණා. “මේ චිත්‍රපටය නිසා මට අලුත් පාසලකුත් ලැබුණා. අද මම ඉගෙන ගන්නේ ශාන්ත ජෝශප් විදුහලේ. මම පාසල් ෆුට්බෝල් කණ්ඩායමේත් ඉන්නවා”
ඩේවිඩ් අද එසේ පවසනවා. තමන්ගේ ජීවිතය වෙනස් මගකට ගෙන ඒමට උදව් කළ හැමෝටම ස්තූතිවන්ත වන ඩේවිඩ් ඒ අතරේ තම පුහුණුකරු සම්පත් සහ “ගෝල්” අධ්යක්ෂ රොහාන් පෙරේරාවත් සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරවයෙන්.
ආරියවංශ කුලතිලක
ලක්බිම