නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වුණ ශිරෝෂි මේ දවස්වල ඒ ක්ෂේත්‍ර දෙකේම පේන්න නැහැ. ඇය ක්ෂේත්රයෙන් නිවාඩු ගන්න විශේෂ හේතුවක් තියෙනවා.
ඒ තමයි ඇයගේ ජීවිතය සරසන පුංචි දෝණිට දුන්න තැන නිසා. හා හා පුරා කියලා පුංචි දෝණි ගැන වගේම, ශිරෝෂිගේ ජීවිතය ගැන කතා කරන්න ඇය එකතු වුණා.
ශිරෝෂි දැන් මවක්නේ. මවක් විදියට ගෙවෙන ජීවිතය කොහොමද?
දැන් ඉතින් ජීවිතේ වෙනස්. අම්මා කෙනෙක් වුණාට පස්සේ වගකීම් ගොඩක් දරන්න වෙනවා. මේ දවස්වල දුව වෙනුවෙන්ම තමයි කැපවෙලා ඉන්නේ.
ශිරෝෂිගේ ජීවිතේ හැඩ කරන්න එකතු වුණ දෝණි ගැන කියමු නේද?
දුවගේ නම මෙරිසා අමාෂි පෙරේරා. එයාගේ දැන් වයස අවුරුද්දයි මාස දෙකයි. එයා දැන් හොඳටම දඟයි. එයාගේ දග වැඩ හුරතල් වැඩ බල බල මම එයත් එක්ක ඉන්නවා.
ශිරෝෂි ආසාවෙන් හිටියේ දුවකුටද?
මුලින්ම නම් මම ආසාවෙන් හිටියේ පුතකුට. දැන් නම් හිතෙනවා දුවෙක් හොඳයි කියලා.
ඇයි ඒ
පුතාලා නම් අම්මලත් එක්ක හුරතල් වෙන්නේ පොඩි කාලේ විතරයිනේ. හැබැයි කෙල්ලෝ එහෙම නෑ. හැමදාම එයාලගේ හුරතලේ අඩුවෙන්නේ නෑ. බැන්දත් එයාලට අම්මගේ අවශ්‍යතාව තියෙනවා.
දුව කවුරු වගේ කියලද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?
දුව මං වගේ කියලා නම් කියන අය අඩුයි. හැමෝම කියන්නේ කෙල්ලෙක් වුණත් දුව අමල්ගේ පොඩි කාලේ වගේ කියලා. එක්කෙනෙක් දෙන්නෙක් තමයි කියන්නේ දුව මං වගේ කියලා. හැමදේම කරලත් දුව මං වගේ නෑ කියන කොට පොඩි දුකකුත් තියෙනවා. දුව අමල් වගේ කියද්දී එයාට නම් ගොඩක් සතුටුයි.
දුව කලාවට ළැදියිද?
අම්මෝ කලාවට පුදුම ළැදියාවක් තියෙන්නේ. සින්දුවක් ඇහෙද්දී එක විදියකට ඉන්නේ නෑ. ඩාන්ස් කරනවා. තාලෙට සින්දු කියනවා.
ඒ කියන්නේ දුව තාත්තාගේ අඩි පාරේ යයි වගේ?
දැනට නම් එයා ගායනයට ගොඩක් ළැදියි වගේ පේනවා. අමල් වුණත් හරි සතුටුයි එයා වගේ වැඩ කරද්දී
දුව ලොකු වෙලා අම්මා වගේ නිළියක් වෙන්න හිතුවොත් ශිරෝෂි අවසර දෙනවාද?
මම එයාගේ නිදහසට ඉඩ දෙනවා. එයා ලොකු වෙද්දී යන්න අවශ්‍ය ක්ෂේත්රය තෝරා ගනියි. එයා කැමැති හොඳ ක්ෂේත්රයක ඉදිරියට යන්න මම මඟ පෙන්වනවා.
දැන් ශිරෝෂිට රංගනයට ආරාධනා නැද්ද?
මට ආරාධනා නම් තාමත් ලැබෙනවා. ඒත් ඒවා භාර ගන්න විදියක් නෑ. මොකද දුව හැම තිස්සේම මාව හොයනවා. ඉතින් මට එයාව දාලා යන්න බෑ. එයා ගැන මම බලන්න ඕන.
දුවගේ හැම වගකීමක්ම දරන්නේ ශිරෝෂිද?
මම දැන් ඉන්නේ මගේ අම්මගේ ගෙදර. අම්මයි, තාත්තයි දුවව බලාගන්න මට උදවු කරනවා. කවුරු හිටියත් දුව හැම තිස්සේම හොයන්නේ මාව. නිදාගන්න කොට වුණත් එයා ගාව මම ඉන්න ඕන.
අමල් දුව වෙනුවෙන් කොයි තරම් කැප වෙලාද?
එයා එයාගේ වැඩ ටික කරගෙන ඉන්නවා. දුව ගැන එයා බලනවා. ඒත් එයාගේ වැඩත් එක්ක දුව වෙනුවෙන් කට්ට කන්න මම බල කරන්නේ නැහැ. එයාට දෙපැත්තක් බලන්නත් තියෙනවානේ. කොහොමත් ඉතින් දරුවෝ වෙනුවෙන් තාත්තට වඩා කට්ට කන්නේ අම්මලානේ. දුව වෙනුවෙන් ඒ මහන්සිය කොහොමත් වෙන්න ඕන.
දුවට අයියගෙනුයි, අක්කගෙනුයි ලැබෙන ආදරය කොහොමද?
එයාලත් නංගිට ආදරෙයි. එයාලට දුවව නිතර දකින්න ලැබෙන්නේ නෑ. වීඩියෝ කෝල්වලින් කතා කළාම දුවත් හායි බායි කියලා ප්‍රතිචාර දක්වනවා.
දුව ලැබෙන්න කලින් ඉඳන්ම ශිරෝෂි රංගනයට නිවාඩු දුන්නා නේද?
මම බබා ලැබෙන්නත් කලින් ඉඳන්ම රංගනයෙන් ටිකක් ඈත් වෙලා හිටියේ. බබා ලැබෙන්න ඉද්දී වැඩ ඔක්කොම නැවැත්තුවා.
ශිරෝෂි රංගනයෙන් අෑත් වෙන්නේ අමල්ගේ අකැමැත්තත් නිසාද?
එයත් ටිකක් විතර අකමැතියි මම රඟපානවාට.
එහෙනම් ශිරෝෂි රංගනයෙන් ඉවත් වෙයිද?
නැහැ. මම එහෙම රංගනයෙන් අයින් වෙන එකක් නැහැ. ආයෙත් රංගනයට එන දවසට අවස්ථාවක් ලැබුණොත් ආසාවෙන් භාර ගන්නවා.
ක්ෂේත්රයෙන් අෑත්වෙලා ඉන්න දුක නැද්ද?
ඇත්තටම ගොඩක් දුකයි. ඒත් මම මගේ දරුවා ගැන බලන්න ඕන. මම සම්බන්ධ වුණ කළු අරලිය සහ මොනර කඩදාසි කියන නාට්‍ය දෙක පසුගිය දවස්වල නැවත විකාශය වුණා. ඒවා යද්දී ආස හිතෙනවා රඟපාන්න.
තව කොච්චර කාලයක් රංගනයෙන් අෑත් වෙලා ඉඳියිද?
බබාට තව අවුරුද්දක්වත් වෙනකල් මට රංගනයට එන්න බැරි වෙයි. මොකද එයාට තව ටිකක් තේරෙන වයසට එන්න ඕන. එතකොට මට එයාව තියලා රංගන කටයුතුවලට යන්න එන්න පුළුවන්.
ආයෙත් රංගන ක්ෂේත්රයට එද්දී ශිරෝෂිට තිබ්බ තැන සුරැකිලා තියෙයිද?
සමහර විට මම ආයෙත් රංගන ක්ෂේත්රයට එද්දී ක්ෂේත්රයේ අයට මාව අමතක වෙලා තියෙයිද දන්නේ නෑ. රංගනයට එනකොට ශරීරය ගැනත් හිතන්න ඕන. මොකද දැන් ටිකක් විතර මහතයි. ඉතින් හැමදේම ගැන හිතලා ආයේ තිබ්බ තැන හදාගන්න මහන්සි වෙන්න වෙනවා.
නැටිලිත් දැන් නවත්තලා දැම්මද?
මට රියැලිටි වැඩසටහන්වලට කතා කළා බබා ලැබුණ මුල් දවස්වල. මට කවදාවත් නර්තනය අතහරින්න බෑ. බෙර සද්දෙ ඇහෙනකොටත් නටාගෙන නටාගෙන යන්න හිතෙනවා. ඒවා දකිද්දිත් ආසයි. මොනව කරන්නද ඉතින් ඉවසාගෙන ඉන්න වෙනවා.
ශිරෝෂිට ලැබුණු ජනප්‍රියත්වය අඩු වෙලාද?
මාව ගොඩක් අය දැනගත්තේ ඩාන්සින් ස්ටාර් නිසා. මේ දවස්වල කළු අරලිය, මොනර කඩදාසි නැවත විකාශය වෙන නිසා කට්ටියට ටිකක් මාව හුරුයි වගේ තේරෙනවා. මම ජනප්‍රියත්වය පස්සේ කොහොමත් ගියේ නැහැ. මොනව හරි දැනෙන දෙයක් කරන්න ලැබුණොත් මම ඒ දේ කරනවා.
ඉදිරිය ගැන සැලසුම් බලාපොරොත්තු තියෙනවාද?
සැලසුම් කළාට දේවල් වෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. හිතපු දේවල් නෙවෙයි හිතපු නැති දේවල්නේ වෙන්නේ. ආසාවෙන් හිටපු කිසි දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ යන විදියට ජීවත් වෙනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
මව්බිම