2017 වසරේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය කිහිපවරක්ම දිනාගනු ලැබුයේ දසුන් පතිරණ . දසුන් රඟ පෑ සය පෙති කුසුම චිත්‍රපටයට එම සම්මානය හිමිවුණා.
සිනමා සම්මාන උලෙළවල 2016 සහ 2017 වසරවල හොඳම රංගන ශිල්පියා ඔබ
ඔව් හිරු සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පියා සම්මානය දිනාගන්නේ .සය පෙති කුසුම. චිත්‍රපටයට කළ රඟ පෑම වෙනුවෙන්.සරසවිය සම්මාන උලෙළේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය ලැබෙන්නේ .මෝටර් බයිසිකල්. චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙන්.
මොකද හිතෙන්නේ එක දිගට සම්මානයට පාත්රවීම ගැන?
සතුටුයි. ඒ වගේම සම්මාන ලබන්න ආසයි. කිසියම් නිර්මාණයක් කළ විට එයට ඇගැයීමක් ලැබුණම අපි තව තවත් හොඳ නිර්මාණ කෙරෙහි යොමුවනවා. ඒ වගේම ඕනෑම කලාකරුවකුගේ හීනය තමයි සම්මානයක් ලැබීම.හොඳම නළුවාට හිමි සම්මාන ලැබීමෙන් මගේ සිහිනය සැබෑවුණා.
ඇයි සම්මානට ලබාගත් මොහොතේම එය මහේන්ද්‍ර පෙරේරාට පිරිනමා ගෞරව කළේ?
මහේන්ද්‍ර පෙරේරා රංගන ශිල්පියා තමයි මගේ රංගන දිවියේ ගුරුවරයා. මම අද මෙතැන ඉන්නේ ඔහු මට එදා රංගනය පිළිබඳව නියාමාකාරයෙන් මග පෙන්වු නිසයි. එනිසා මම හිතනවා මට ලැබුණු සම්මානය ඔහුට පිරිනමන එක ගෝලයෙක් ගුරුවරයකුට කරන ගෞරවයක් ලෙස. ඒක හරිම මානුෂීයයි. ඒ වගේම .විසි අට. චිත්‍රපටයට ඇගයීමක් ලැබෙන්න ඕන කියන හැඟීම මගේ හිතේ තිබුණා. ඉතින් ඒ හේතු දෙක මත මම මගේ සම්මානය මහේන්ද්‍ර අයියට පිරිනැමුවා.
මොනවද ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ?
තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යය සහ චිත්‍රපට හතරක් එන්න තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණා. තවම ඒවා භාර ගන්නවාද කියා සාකච්ඡා මට්ටමින් තිබෙනවා.
රංගන ශිල්පියකු වෙන්න හීන මවන්නේ කුඩා කාලයේ පටන්මද?
ඔව්.මගේ පාසල කොළඹ කේරි විදුහල.පාසල් යන කාලයේ හරියට ඉගෙන ගත්තේ ඩ්‍රාමා සහ ඩාන්සින් විතරයි. අනෙක් විෂයයන් කිසිවක් මට හරියට තේරෙන්නෙ නැහැ. මගේ මවත්, පියාත් දෙදෙනාම මරදානේ. ඉගෙන ගන්න සුදුසු පරිසරයක් මට තිබුණේ නෑ. අපි දවසම කරන්නේ ෆිල්ම් හෝල්වලට ගිහින් චිත්‍රපට නරඹපු එක. ෆොටෝ එකකට හිටියත් ඉන්නෙ නළුවෙක් වගේ එක එක හැඩයට. ඒත් කවදාවත් නළුවෙක් වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. එහෙත් මහේන්ද්‍ර පෙරේරාගේ වැඩමුළුවට ගිහින් රංගනය හදාරන්න වාසනාව පෑදෙනවා. එහි වසර ගණනක් අසීරුතා රැසක් මැද රංගනය හදාරලා තමයි අද මෙතැනට ඇවිත් ඉන්නෙ.
අසීරුතා මැද රංගන ශිල්පියකු වීමට ලැබීම ගැන සතුටුයිද?
බොහොම සතුටුයි. බොහෝ කටු කාලා රංගන ශිල්පියෙක් වුණේ. මම දන්න එකම දේ මෙපමණයි. මට වෙන රස්සාවල් කරන්න බැහැ. තවදුරටත් රංගනය ගැන ඉගෙන ගන්නවා. මට ඕනෑ ප්‍රේක්ෂකයන්ට දැනෙන රංගනයක් කරන්න. ඒකනේ මේ වනතුරු ටෙලි නාට්‍ය අටක, චිත්‍රපට නවයක විතරක් රඟ පෑවේ.
ඔබ වඩාත් කැමැතිම සිනමා පටය?
මිල්ලෙ සොයා. එහි මහේන්ද්‍ර අයියගේ රඟපෑම් දැකලා තමයි මට නළු පිස්සුව හැදෙන්නේ. එතකොට වයස දහ නවයක් විතර ඇති. මහේන්ද්‍ර පෙරේරා රංගන ශිල්පියා ගැන පිස්සු වැටෙනවා.එම චිත්‍රපටය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.
කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව?
රංගන ශිල්පියා ජොනි ඩෙෆ්, රංගන ශිල්පිනිය ඇන්ජලිනා ජොලී. මේ දෙදෙනාගේම රඟපෑම මට දැනෙනවා. ඒ රංගන විලාශයන්ට කැමැතියි. කසුන් කල්හාර හා නිරෝෂා විරාජිනීගේ ගායනයට ප්‍රිය කරනවා.
තව කෙනෙකු කරනවාට අකැමැති දෙය?
බොරුව. මම අකැමැතිම ගුණාංගය. බොහෝ අය ඉන්නවා හරියට කොළඹ ඉපදුණා වගේ හැසිරෙනවා. හොයලා බලනකොට හද්දා පිටිසර. තවත් සමහරු ළමයි නෑ, කසාද බැඳලා නෑ වගේ රඟපානවා.බලනකොට ළමයි දෙතුන් දෙනාගේ මවුපියන්. මොකටද බොරු කියන්නේ. ඒ වගේ වැඩ මට අල්ලන්නෙ නෑ.
රංගන ශිල්පියකු ලෙස මොනවද සමාජයට දෙන ආදර්ශය?
මුකුත් නැහැ. මම නළුවෙක්, රංගනය මගේ රස්සාව. කවුරුත් මාව ආදර්ශයට ගන්න එපා. ආදර්ශ දෙන්න ගුරුවරු සහ අනෙකුත් පිරිස ඉන්නවා.
කවුරුද ඔබේ රංගන දිවියට ආලෝකයක් වන්නේ?
මහේන්ද්‍ර පෙරේරා අයියා. ඔහු නොහිටින්න අද මම මෙතන නෑ. ඒ වගේම
මේ තාක් රඟ පෑ සියලුම නිර්මාණවල නිර්මාණකරුවන් වගේම මගේ මවුපියන්, බිරිඳ හංසි සහ දියණිය ෂයියා මගේ කලාදිවියට ආලෝකය ගෙනෙනවා.
උපුටාගැනීම -සරසවිය