lan englan tam

විශේෂාංග

වේගය අතික්‍රමණය කරන මිනිස් ධෛර්යයේ සිනමා හාස්කම - “F1” (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

හොලිවුඩ් සිනමාව විසින් වසරක් පාසා නිෂ්පාදනය කරන වාණිජ ධාරවේ සිනමාපට නිරතුරුවම ප්‍රේක්ෂකයා වෙත ආකර්ෂණීය බවින් සහ නවමු ආරකින් යුතුව ඉදිරිපත් කරයි.

දශක ගණනාවක සිට හොලිවුඩ් සිනමාව ලොව අංක එකේ සිනමාව බවට පත්ව ඇත්තේ ඒ නිසාම විය යුතුය. ඔවුන් නිෂ්පාදනය කරන වෘතාන්තමය සිනමාපට සුවිශේෂි ගුණයකින් සමන්විතයි. මුල, මැද සහ අග සහිත නිවැරදි ආඛ්‍යාන රටාවකින් සමන්විත නවමු ප්‍රබන්ධ නිර්මාණය කිරීමෙහිලා හොලිවුඩ් සිනමාකරුවන් රුසියෝය.

හොලිවුඩ් සිනමාවේ බලසම්පන්නබව මොනවට කියාපාමින් අපුරු සිනමාපටයක් මේ දිනවල ලොව පුරා තිරගත වෙයි ඒ 'F1' සිනමාපටයයි. පසුගිය ජූනි 26 වැනිදා හැව්ලොක් සිටි ස්කෝප් සිනමා සංකීර්ණයේ දී රතු පළස (Red Carpet Premiere) මත 'F1' සිනමාපටයේ විශේෂ දර්ශනවාරයක් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. එහිදි 'F1' සිනමාපටය ලොව පුරා තිරගත කිරීමටත් පෙර මාධ්‍යවෙිදින්, විචාරකයන් සහ විශේෂ ආරාධිතයන් වෙනුවෙන් 'F1' සිනමාපටය ප්‍රදර්ශනය කෙරිණ. 'F1' සිනමාපටය එහිදි නරඹන්නට අවස්ථාව ලැබුණේ 2025 වසරට අදාළව දැනට නැරඹු හොඳම සිනමාපටවලින් එකක් ලෙස ලැයිස්තුවට එක් වෙමින්.

 

 

'F1' සිනමාපටය ශානරගත වන්නේ ක්‍රීඩා - නාට්‍යය (sports drama) ගණයට ය. එනම් යම් ජනප්‍රිය ක්‍රීඩාවක් කේන්ද්‍ර කරගනිමින් කතාවක් ගොඩනැඟු සිනමාපටයක් ආකාරයෙනි. එයාකාරයෙන් 'F1' සිනමාපටයේ කතාව ගෙතෙන්නේ 'ෆෝර්මියුලා වන්' නමැති ජනප්‍රිය මෝටර් රථ ධාවන තරඟයක නියැළෙන 'සොනි හේස්' නම් කාර්යශූර ධාවකයාගේ දිවි සැරිය පිළිබඳවයි. සොනී හේස් පනස් විය ඉක්ම වූ වයස්ගත ඇමරිකානු ධාවන මෝටර් රථ රියදුරෙකු ලෙස ෆෝර්මියුලා වන් ධාවන තරඟවලින් විශ්‍රාම ගොස් සිටී. ඔහු තමන්ගේ විවාහ දිවිය අවුල්ජාලාවක් බවට පත් කරගෙන සිටින හුදෙකලාව ජීවත් වන අපුරු හැසිරීමක් ඇති පුද්ගලයෙකි.

 

 

f1 the movie pitt 1

 

ඔහු 1990 දශකයේ ලෝටස් කණ්ඩායම වෙනුවෙන් ෆෝමියුලා වන් ධාවකයකු ලෙස තරඟ කළද 1993 වසරේ ජෙරෙස් හි පැවති ස්පාඤ්ඤ ග්‍රෑන්ඩ් ප්‍රීක්ස් ධාවන තරඟය අතරතුර රිය අනතුරකින් සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඔහුගේ ෆෝමියුලා වන් වෘත්තීය ජීවිතය තාවකාලිකව අවසන් වෙයි. ඔහු දැන් තමන්ගේ ජීවිතය ගෙවන්නේ රේසින්ග් මෝටර් රථ ධාවන තරඟ වෙතයි.

අහම්බයෙන් මෙන් ඔහුගේ ජීවිතය උඩුයටිකුරු කරන මිනිසෙකු ඔහු සොයා පැමිණෙයි. ඒ ඔහු සමඟ ෆෝර්මියුලා වන් ධාවන තරඟවල ක්‍රීඩා කළ පැරණි සඟයෙකු වන රූබන් සර්වන්ටෙස් සොනී සොයා පැමිණීමයි. රූබන් විසින් සොනී වෙත යෝජනා කරන්නේ ඔහුට අයිති APXGP ෆෝර්මියුලා වන් ධාවන කණ්ඩායමේ නිල ෆෝර්මියුලා වන් ධාවකයා ලෙස එක්වන ලෙසයි. රූබන් යනු APXGP ⁣ෆෝර්මියුලා වන් ධාවන කණ්ඩායමේ හිමිකරුවා ය. දැන් ඔහුගේ වෘත්තිය ද පවතින්නේ අවදානමේය. රූබන් විසින් සොනීව සොයා පැමිණෙන්නේ දිගින් දිගටම පරාජයට පත්වන APXGP F1 කණ්ඩායම ජයග්‍රහණය කර දෙන ලෙසයි. සොනී හේස් අකැමැත්තෙන් වුව ද රූබන්ගේ ඉල්ලීමට කන් දෙයි. සොනී නැවතත් ෆෝර්මියුලා වන් ධාවන පථයට පිවිසෙන්නේ ජයග්‍රාහී පිපාසාව ඇතිවයි.

දරුණු අතීතකාමයක් සහිත සොනී හේස්⁣ නැවත ෆෝර්මියුලා වන් ධාවන පථයට පිවිසීමේ ඉරණම් ගමන ලියවෙන්නේ කෙසේද? ඔහුගේ ජීවිතයේ නොලද ජයග්‍රහණය ලබාගත හැකි වෙිවිද?

 

Joseph Kosinski and Brad Pitt on set of Formula One movie'F1' සිනමා පටයේ අධ්‍යක්ෂක  'ජෝසප් කොසින්ස්කි' සහ සුපිරි නළු බැඩ් පිට් ගේ ඡායාරූපයක්

 

'F1' සිනමාපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ ආදායමි වාර්තා පිහිට වූ අතිදක්ෂ සිනමාකරුවෙකි. ඔහු නමින් 'ජෝසප් කොසින්ස්කි'. ඔහු 2022 වසරේ තිරගත කළ ටොම් කෘස් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කළ Top Gun: Maverick සිනමාපටය බිලියන 1.496ක් වැනි අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගත්තේ සාර්ථක 'ටොප් ගන්' දෙවැනි සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමේ ඇගයුම ද ලබමින්. ඇමරිකානු ඩොලර් මිලියන 200ක් වැනි දැවැන්ත පිරිවැයක් යොදා නිෂ්පාදනය කර ඇති මෙම සිනමාපටය සඳහා මහා බ්‍රිතාන්‍යය, ඇමරිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බෙල්ජියමය, ජපානය ආදී රටවල පිහිටි සුප්‍රකට ෆෝර්මියුලා වන් ධාවන පථවල රූගත කිරීමි සිදු කර ඇත. සිනමාපටයේ නිෂ්පාදන දායකත්වය සඳහා කුසලාන පිට කුසලාන දිනූ සුප්‍රකට ⁣ෆෝර්මියුලා වන් ධාවන ශූරයකු වන ලුවිස් හැම්ල්ටන් ද දායක වීම සුවිශේෂි වේ.

 

BradPittසිනමාපටයේ ප්‍රධාන චරිතය වන 'සොනී හේස්ගේ' චරිතය සඳහා පණපොවන්නේ සුපිරි නළු බ්‍රැඩ් පීට් විසිනි. 

 

සිනමාපටයේ ප්‍රධාන චරිතය වන 'සොනී හේස්ගේ' චරිතය සඳහා පණපොවන්නේ සුපිරි නළු බ්‍රැඩ් පීට් විසිනි. 61 ව්යේ පසුවන ජනප්‍රිය නළු බ්‍රැඩ් පීට් රඟන 61 වැනි සිනමාපටය වන්නේ ද 'F1' ච්ත්‍රපටයයි. හැට විය ඉක්ම වුව ද ඔහු තවමත් සුපිරි තරුවකි. කඩවසම් බව තවමත් නොමැකි පවතී. බ්‍රැඩ් පීටි 'F1' සිනමාපටයේ රංගනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක් අති ව්ශාල මුදලක් ගෙවා අතර එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ එතෙක් මෙතෙක් සිනමාපටයක රංගනය වෙනුවෙන් ලැබූ විශාලතම වැටුප ද වෙයි. එමෙන්ම හොලිවුඩයේ සිටින සම්මානනීය නළුවෙකු වන 'ජාවියර් බාර්ඩෙම්' විසින් APXGP ⁣ෆෝර්මියුලා වන් ධාවන කණ්ඩායමේ හිමිකරුවා වන 'රූබන් සර්වෙන්ටෙස්' චරිතය සඳහා පණ පොවයි. සිනමාපටය ආකර්ෂණය කරගන්නා ප්‍රධානතම සාධකය වන්නේ 'බ්‍රැඩ් පීට්ගේ' අපුරු රංගනයයි. බ්‍රැඩ් පීට් වෙත අනන්‍ය වූ ඔහුගේ සිනහව, බැල්ම සහ ගමන් විලාසය විසින් ප්‍රේක්ෂකයා දැඩ් ලෙස ආකර්ෂණය කරගන්නට දක්වන සමත්කම සිනමාපටය කාලාන්තරයක් පුරා මතක හිටින මොහොතක් බවට පත්වෙනවා.

'F1' සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ලෝක පූජිත සංගීත අධ්‍යක්ෂවරයකු වන 'හාන්ස් සීමර්' විසින් සිදු කර ඇත.

සිනමාපටයේ අනුෂාංගික අංශයන්ගෙන් වඩාත් කැපී පෙනෙන අංශ දෙක බවට පත්වන්නේ කැමරාකරණය සහ සංස්කරණයයි. ප්‍රේක්ෂකයා වෙත ෆෝර්මියුලා වන් ධාවන තරඟ සජීවිව දැනවීම සඳහා ⁣ධාවනය වන ෆෝර්මියුලා වන් මෝටර් රථවල විශේෂයෙන් සවි කළ කැමරා පද්ධතිවලින් ලබා ගන්නා රූප රාමු භාවිත කර තිබේ. දැඩි ආතතිය, කලබලකාරීබව, කුතුහලය ඉස්මතු කරන්නට සංස්කරණය දැඩ් සේ බලපෑමක් කර ඇති බව නිරික්ෂණය වෙයි. නිදර්ශනයක් ලෙස සිනමාපටය ආරම්භ වන ප්‍රථම රූප රාමු පෙළ වන මුහුදු රළ සමඟ පිරිමැදෙන මෝටර් රථ ධාවනයක යෙදෙන සමෝධානිත රූප පෙළ වැදගත් වේ. එමෙන්ම ෆෝර්මියුලා වන් ධාවන පථය තුළ විට්න් විට සිදුවන මෝටර් රථ අලුත්වැඩියා කටයුතු සිදුවෙන බව නිරූපණය කරන ⁣වෙිගවත් ලෙස ජේදනය වන රූප රාමු පෙළ විසින් ක්‍රීඩාවේ ඇති කාලය සමඟ සිදු කරන හරඹය පිළිබඳ අදහස තීව්‍රව ඉස්මතු කරයි.

F1 සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය මෙතනින් නරඹන්න>>>

 

'F1' යනු සෑම ප්‍රේක්ෂකයකුම නැරඹිය යුතු සිනමාපටයකි. අතීතය සහ වර්තමානය අතර දෝලනය වන කතාන්දරයක් සමඟ අති නවීන තාක්ෂණය විහිදෙන ක්‍රීඩාවක සමඟ මිනිස් ධෛර්යක ඇති බලසම්පන්නබවත්, ප්‍රේක්ෂකයාට කතාවක් සිනමාත්මක ලෙස රූපයෙන් පවසන්නේ කෙසේද? යන්න නිරූපණය වන විශිෂ්ට ගණයේ චිත්‍රපටයක් ලෙස 'F1' හැඳින්විම උච්ත ය. 

 

 

476237625 2101514566935849 5297727973837240105 n

 

කර්තෘ - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(⁣මෙම ලිපිය 2025 ජූලි 10 වන දින බ්‍රහස්පතින්දා සරසවිය පුවත්පතේ මුල්වරට පළ කෙරිණ.)

kemadasa

Back to top
Go to bottom