lan englan tam

විශේෂාංග

දෙනෙතට කඳුළු නැංවු ලොව හොඳම ක්‍රිස්තු චිත‍්‍රපටය - "The Passion of the Christ"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

එතෙක් මෙතෙක් ලෝක සිනමාව තුළ ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කළ චිත‍්‍රපට අතරින් විශිෂ්ටතම චිත‍්‍රපටය ලෙස විචාරකයක් විසින් හඳුන්වන්නේ සිනමාකරු "මෙල් ගිබ්සන්" විසින් අධ්‍යක්ෂණය කළ "The Passion of the Christ" (2004) සිනමා කෘතියයි.

 

 

එය අග්‍රගණ්‍ය සිනමාකෘතියක් ලෙස හඳුන්වන්නේ ජේසුස් වහන්සේගේ චරිතයේ යථාර්ථය අල්ලා ගැනීමට දරණ ලද ප්‍රශස්ථ උත්සාහයක් ලෙසිනි. සිනමාපටය නරඹනවිට ජේසුස් වහන්සේට රුධිරය ගලනතුරු එල්ල කරන කසපහරවල් ද අත්ල පසාරු කරන ඇණ පහරවල්වල කුරිරුබව දැක ඒ කෙරෙහි ඇතිවන සංවේදිවීම ප්‍රබල ය. එය ක්‍රිස්තු බැතිමතුන් පමණක් නොව ඕනෑම මනුෂ්‍යයෙකුගේ සිත් සසල කිරීමට තරම් ප්‍රබල ය.

 

01312014p20pha 

චිත‍්‍රපටයේ ජේසුස් වහන්සේගේ මරණයට පෙර අවසන් පැය දොළහ වටා කතාව ලියවී ඇත. ප්‍රධාන වශයෙන් අවස්ථා සහ සිද්ධි පහකින් චිත‍්‍රපටයේ දැක්වෙයි. එනම්,

1.ජේසුස් වහන්සේ රෝම සොල්දාදුවන් විසින් අත්අඩංගුවට ගැනීම.

2. පර්සියන්වරු විසින් ජේසුස්හට චෝදනා කිරීම සහ පිලාත් ආණ්ඩුකාරයා ඉදිරියේ නඩු ඇසීම.

3.ජේසුස් වහන්සේට දරුණු ලෙස කසපහර දී වධ දීම.

4.ගොල්ගොතා වෙත ලී කුරුසයක් කරෙහි තබාගෙන යන තුවාල සහ කසපහරවලින් රිදුම් කන ජේසුස් වහන්සේගේ ගමන.

5.ජේසුස්වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසීම සහ මරණය

6.ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන වීම.

 

The Passion of the Christ 

සිනමාපටයේ වරින්වර ජේසුස් වහන්සේගේ මරණයට පෙර "අවසාන රාත්‍රී භෝජන සංග්‍රහය", "මරියා මග්දලේනා ගල් ගැසීමෙන් බේරා ගැනීම" සහ "කන්ද උඩ දේශනාව" වැනි වැදගත් අවස්ථා ද නිරූපණය වෙයි.

චිත‍්‍රපටයේ සංවේදි වූ එක් අවස්ථාවක් තිබේ. ඒ ආණ්ඩුකාරය වූ පිලාත් විසින් ජනතාවගෙන් අසන්නේ ජේසුස් වහන්සේද? නැතහොත් මිනීමරු බරබ්බස්වද? නිදහස් කළ යුතුද? යන්නයි.

එහිදි ජනතාව එකහෙළාම කෑ ගසා ඉල්ලා සිටින්නේ මිනීමරු බරබ්බස්ව නිදහස් කර ජේසුස්ව කුරුසයෙහි තබා ඇණ ගසන ලෙසයි. සමාජය කෙතරම් නම් අමානුෂික ද? පාපය කෙතරම් නම් බලවත්ද? යන්න මෙම සිදුවීම විසින් ඇති කරන කම්පනයේ පරිමාව කෙතරම්ද? යැයි මැනිය නොහැකිය. එය තදබල ලෙස දැනෙන වේදනාබර ප්‍රකාශනයකි.

ජේසුස් වහන්සේගේ චරිතය සඳහා පණ පොවන "Jim Caviezelගේ" රූපණය එතෙක් මෙතෙක් ලෝක සිනමාව තුළ දුටු ප්‍රශස්ත රංගන කාර්යයකි. වෙිදනාබර මුහුණ තුළින් ඉවසීම, මෛත්‍රීය තීව්‍ර වෙයි. සාතන්ගේ චරිතය නිරූපණය වන්නේ කෲරත්වයේ නිහඬ නිරීක්ෂකයෙකු ලෙසිනි. චිත‍්‍රපටයේ වඩාත් අවධානය දිනා ගන්නේ සිනමා රූප නිර්මිතයයි. කැමරාකරණය තුළ අති සමීප රූප, සමීප රූප සහ මධ්‍ය රූප භාවිතයෙන් චරිතය සහ සිදුවීම පිළිබඳ හැඟීම ලබාදෙන්නට සමත් වී ඇත. සංස්කරණ කාර්යය ද ඊට ලැබෙන්නේ මනා දායකත්වයකි.

 

32de3916 e259 47a6 8ec6 258d5bc2fe3d 1200x675"ද පැෂන් ඔෆ් ද ක්‍රයිස්ට් (The Passion of the Christ) චිත්‍රපටයේ ජේසුස් වහන්සේගේ චරිතය නිරූපණය කරන Jim Caviezel (වම), සහ චිත්‍රපටයේ අධ්‍යක්ෂක මෙල් ගිබ්සන් චිත්‍රපටයේ රූගත කිරීම් අතර තුර 

 

සිනමාකරු මෙල් ගිබ්සන් දෙහෝරාවක් පුරා ජේසුස් වහන්සේට උරුම වු වේදනාවෙන් පිරි දිවිය හරහා ප්‍රේක්ෂකයාට කියන්නට යත්න දරන්නේ කුමක්ද? චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක මෙල් ගිබ්සන් විසින් දක්වන ලද අදහස මෙවැන්නකි.

''මම නිර්මාණය කරපු චිත‍්‍රපටය ආදරය, බලාපොරොත්තුව, ඇදහිල්ල සහ සමාව දීම පිළිබඳ චිත්‍රපටයක්. ජේසුස් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් මිය ගියා, අප සියල්ලන් වෙනුවෙන් දුක් වින්ඳා. උන්වහන්සේගේ ඒ පණිවිඩය නැවත වරක් තදින් හිතන්න ඔින කාලයක් මේක. ලෝකය බොහෝ සේ උමතු වෙලා. අපි නැවත හැමෝම ආදරය, බලාපොරොත්තුව සහ සමාව දීම ගැන තදින් හිතන්න ඕන." යනුවෙනි.

 

 

ජේසුස් වහන්සේගේ දුක් විඳීම සහ මරණයෙන් කියන්නේ කුමක්ද? ගැලවීම (salvation) ලබා ගත හැක්කේ අධික ශාරීරික දුක් වේදනා තුළින් පමණක් බවයි. ඔහු දුක් විඳීමට එරෙහි නොවේ. එය ඉරණම ලෙස වැළඳ ගනී. මිථ්‍යාදෘෂ්ටිකයන්ට, රෝම හමුදාවට එරෙහිව ජේසුස් වහන්සේ කැරලි ගසන්නේ නැත, තර්ක කරන්නේ ද නැත, විරුද්ධ වන්නේ ද නැත. ජේසුස් වහන්සේගේ සෑම තුවාලයක්, සෑම කස පහරක් සහ වැටෙන ලේ බිංදුවක්ම මනුෂ්‍ය පාපය සඳහා ගෙවනු ලබන වන්දියක් බව චිත‍්‍රපටය විසින් සංඥා කරයි. දුක් විඳිම ගැලවීමේ මාවත වෙත පිවිසීමට දරණ ලද ප්‍රයත්නයට අර්ථකථනයක් සපයන්නේ යුක්තිය ඉල්ලා සිටීමට වඩා දුක් විඳිම තුළින් ආධ්‍යාත්මය ළඟා කර ගැනීම පහසු බවත්, ගැලවීම වේදනාවෙන් වෙන් කළ නොහැකි බවත් අවධාරණය කිරීමෙනි.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ

(මෙම ලිපිය Malintha Vithanage ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom