lan englan tam

විශේෂාංග

කන්නඩ දේවාරූඨයේ සිනමාරූපි පූර්විකාව “Kantara: A Legend Chapter-1” (movie)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

ආගමික මිථ්‍යා කතා අනුසාරයෙන් නිර්මාණය වන සිනමාපට විසින් ප්‍රේක්ෂක ජන ආකර්ෂණය කෙරෙහි සිදු කරන බලපෑම කෙතරම්දයත් සිනමා කර්මාන්තයේ උන්තතිය උදෙසා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

2025 වසරට අදාළව දකුණු ඉන්දීය කන්නඩ සිනමා කර්මාන්තය ආශ්‍රයෙන් නිෂ්පාදනය වූ ''Kantara: A Legend Chapter-1'' සිනමාපටය ලොව පුරා තිරගත කිරීමෙන් මෙතෙක් උපයා ඇති ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝට් 850ක් වශයෙන් සටහන් වෙයි.

 

Kantara A Legend Chapter 1 ''Kantara: A Legend Chapter-1'' චිත්‍රපටයේ පෝස්ටරයක්

 

සිනමාපටය තැබූ වාර්තා අතර 2025 වසරේ වැඩිම ආදායම ලැබූ ඉන්දිය චිත්‍රපටය වන අතර වැඩිම ආදායම ලැබූ ඉන්දියානු සිනමාපට ලැයිස්තුවේ දොළොස්වන සිනමාපටය ලෙස ''Kantara: A Legend Chapter-1'' ශ්‍රේණිගත වෙයි.

මහාචාර්ය විමල් දිසානායක වරෙක ඉන්දියානු සිනමාවේ පදනම පිළිබඳ දැක් වූ අදහසකට අනුව සඳහන් කළේ එහි එක් තීරණාත්මක සාධකය ලෙස ඉන්දියානු මිථ්‍යා කතා, ජනප්‍රවාද විසින් එහි පැවැත්ම සඳහා දැඩි බලපෑමක් සිදු කරන බවයි. විශේෂයෙන් රාමායණය සහ මහාභාරතය වැනි ආගමික පුරාණෝක්ති ඇසුරින් නිර්මාණය වූ කෘති විශේෂිත ය. එම අදහස තීව්‍ර කරමින් ''Kantara: A Legend Chapter-1'' සිනමාපටයේ කතාව ගෙතෙන්නේ හින්දු කතා පුවත් එසේත් නැත්නම් ඉන්දියානු ජනතාවගේ ජනවිඥාණයේ තැන්පත් වූ මුඛ පරම්පරාගතව පැවත ආ ජනප්‍රවාද ආශ්‍රයෙනි.

 

Kantara ''Kantara: A Legend Chapter-1'' චිත්‍රපටයේ රූපරාමුවක් 

 

ජනප්‍රවාද, පුරාණෝක්ති සිනමා රූපය දක්වා ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒවා අතිශයෝක්ති ලෙස හුවා දැක්වෙයි. දකුණු ආසියානු ජනතාව සක්‍රීය ලෙස ආගම, සංස්කෘතිය හා දැඩිව ගනුදෙනු කරනවා හා සමානව සිනමාව සමඟ ද දැඩි සේ බැඳී පවති. දෙවියන්, යක්ෂයන් වන්දනාමාන කිරීම, ඇදහීම ඉන්දියානුවන්ගේ ජානවල මිශ්‍රිත දෙයක් බව අතිශයෝක්තියෙන් පැවසුව ද වරදක් නැත. චිත‍්‍රපටයේ කතාව ගෙතෙන්නේ මෙලෙසිනි.

දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ 'කදම්බ' නමින් රාජවංශයක් පැවතුණි. මොවුන් වෙළඳාමට අති ශූරයන් වෙති. රාජධානියේ පාලනය මෙහෙය වූයේ රාජසේකර නම් රාජාධිරාජ තනතුරයි. ඔහුගේ විජිතයේ 'කාන්තාරා' නමින් අභිරහස් වනාන්තරයක් ඇත. එය මෙතෙක් කිසිදු අයෙකු පය නොගැසු ඉසව්වක් ලෙස ශිව දෙවියන්ගේ මල් උයන හෙවත් පූජනීය කුළුබඩු ද්‍රව්‍ය ඇති බව ප්‍රකට ජනප්‍රවාදයකි.

එම ඉසව්ව වෙත පය තබන ඔීනෑම අයෙකු විවිධාකාරයෙන් කරදර, දුක් පීඩා පමුණුවති. රාජසේකරගේ පියා ද මරණයට පත් වූයේ කාන්තාරා ප්‍රදේශය අත්පත් කරගන්න දැරූ උත්සාහය නිසා ය. රාජසේකර ද කාන්තාරා වෙත පය තැබීමට බිය වෙති. මේ අතරතුර රාජසේකරගෙන් ඇවැමෙන් අනුප්‍රාප්තිකයා ලෙස රජකම සඳහා පත් කරන්නේ තම පුතු කුලසේකර වෙතයි. කුලසේකර තම පියා මෙන් දූරදර්ශීව රාජ්‍ය පාලනය කරන්නෙකු බවට පත් නොවේ. ඔහු සල්ලාල කුරිරු හැසිරීමක් ඇති රජ කෙනෙකි. ඔහු තම පියාවත් පය නොතැබූ 'කාන්තාරා' අත්පත් කරගන්න සූදානම් වෙති. නමුත් කාන්තාරයේ අවට ගම්මානයේ වෙසෙන ගෝත්‍රිකයන් විසින් ශිව දෙවියන්ගේ මල් උයන සහිත පෙදෙස දිවිහිමියෙන් රක්ෂා කරයි.

රාජධානියේ වරායෙහි වෙළඳාම් කිරීම තහංචි පනවා තිබෙනවිට ගෝත්‍රයේ 'බර්මේ' නම් දේහධාරි ශරීරයකින් යුතු ශක්තිවන්තයා විසින් රජුට අභියෝග කරයි. මෙතැන් සිට කුලසේකර සහ බර්මේ ප්‍රමුඛ කාන්තාරා ගම්මානයේ වැසියන් අතර ගැටුම් හටගනී. කාන්තාරායේ තිබෙන ශීව දෙවියන්ගේ මල් උයන කදම්බ රාජවංශය සතු වේවිද? එසේත් නැත්නම් බර්මේ ප්‍රමුණ කාන්තාරා ගෝත්‍රිකයන්ගේ ඉරණම කුලසේකර විසින් තීරණය කරාවිද?

 ''Kantara: A Legend Chapter-1'' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

 

'Kantara: A Legend Chapter-1'' චිත්‍රපටයට පෙර 2022 වසරේදී මෙහි පළමු චිත්‍රපටය ලෙස 'Kantara'' ලෙස නිර්මාණය විය. එහි දෙවැනි සිනමාපටය ලෙස 'Kantara: A Legend Chapter-1'' තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කාර්යය මෙහෙයවා ඇත්තේ 'රිෂබ් ෂෙට්ට්' විසිනි. ඔහු මෙම සිනමාපටයේ අධ්‍යක්ෂණය කිරීම පමණක් නොව ප්‍රධාන චරිතය වන 'බර්බේ' නම් ගෝත්‍රික තරුණයාගේ චරිතය නිරූපණය කරයි. ප්‍රේක්ෂකාගාරය විස්මය දනවන අන්දමින් රිෂබ් විසින් ප්‍රශස්ත රංගයක් ඉදිරිපත් කිරීම කැපී පෙනෙන්නකි. සොබාදහම සහ මිනිසා අතර ගැටුම, මිනිසා විසින් සොබාදහම අත්පත් කරගන්නට දරණ වෑයම හමුවේ මිනිස් පැවැත්ම අඩපණ වීමත්, විකෘති වීම සිනමාපටයේ යටිපෙළ විසින් ඉස්මතු කරයි.

සිනමා රූපයෙහි ප්‍රතිනිර්මාණය කරන කැමරාකරණය, පසුතල ඉදි කීරිම්, නළු නිළියන්ගේ රංගයන්, පසුබිම් සංගීත සංයෝජනය, සංස්කරණය, දෘෂ්‍ය ප්‍රයෝග ආදි සිනමා ශිල්ප ක්‍රම සියල්ලම සිනමාපටයේ එන කතාවට ලබා දී ඇති නිර්මාණාත්මක වෙහෙස වඩාත් ඉස්මතු වෙයි. ජනප්‍රිය සිනමාවේ පවතින ක්‍රියාදාම රසය ද, ගීත ද චිත්‍රපටයේ වින්දනය ඉහළ දමන සාධක වෙති. ඉන්දියානු ජනප්‍රවාද ප්‍රධාන ධාරාවේ සිනමාව සමඟ ඒකාබද්ධ කිරීමට ''Kantara: A Legend Chapter-1'' දරා ඇති උත්සාහය සාර්ථක වී තිබේ.

 

bcbjk min 1

 

මෙවැනි ආකාරයේ සිනමාපටයක් හරහා ලාංකේය සිනමාවට ගතහැකි ආදර්ශයක් තිබේ. ලාංකේය සංස්කෘතිය සහ ජනවිඥාණයේ පැවැතගත් ජනප්‍රවාද, පුරාණෝක්ති, දේව කතා බොහෝ වෙති. ඒවා සිනමා නිර්මාණ වෙත ආශ්‍රය කර ගැනීම ප්‍රේක්ෂකාගාරය වෙත නවමු අත්දැකීමක් ලබා දීමට හැකිවනු ඇති බවයි ලියුම්කරුගේ අදහස නම්. දෘෂ්ටිවාදයක් ලෙස දෙවියන් අතික්‍රමණය කිරීමට මානවයා සතු අසමත්බව සහ භය පක්ෂපාතීත්වය වැනි සංවේදි කාරණා පිළිබඳ කථිකාවතක් ගොඩ නැඟීම ''Kantara: A Legend Chapter-1'' චිත්‍රපටයකින් නිරායාසයෙන්ම සිදු වෙයි. ප්‍රේක්ෂකාගාරයේ පවතින ගතිකත්වය මත මෙවැනි ගණයේ ජනප්‍රවාද සහ හින්දු මිථයා කතන්දර සමඟ ගනුදෙනු කිරීම අරපරෙස්සමෙන් ගනුදෙනු කළ යුතු ය.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ (Malintha Vithanage)

(මෙම ලිපිය 2025 නොවැම්බර් 27 වන දින සරසවිය පුවත්පතේ මුල්වරට පළ විය.)

kemadasa

Back to top
Go to bottom