lan englan tam

විශේෂාංග

දූෂිත දේශපාලන යාන්ත්‍රණයක් හමුවේ අහිංසකයෙකු දාමරිකයෙකු බවට පත් කළ සත්‍ය කතාවක් ඇසුරින් "ෆාදර්"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Iresha Hemamali-

'ෆාදර්' චිත්‍රපටය, ඔස්මන්ඩ් ගුණසේකරගේ ජීවිත කතාව පදනම් කරගත්, දූෂිත දේශපාලන යන්ත්‍රණයක් හමුවේ අහිංසකයෙකු දුෂ්ටයෙකු සහ දාමරිකයකු බවට පත් කළ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ වූ සත්‍ය සිදුවීමක් මතින් නිර්මාණය වූ සිනමා කෘතියකි.

 

Father movie w large

 

Action thriller genre චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටය එක් පුද්ගලයෙකුගේ කතාවක් පමණක් නොව, සමාජයක් විසින් අපරාධය නිර්මාණය කරන ආකාරය විවරණය කරන සිනමා විමර්ශනයක් ලෙසද කියවා ගත හැක.

චිත්‍රපටයක තිර පිටපත යනු අධ්‍යක්ෂවරයාට සිනමාව හිතන්න ලැබෙන බ්ලූ ප්‍රින්ට් එකයි. Script එක දුර්වල නම් අධ්‍යක්ෂණය ද සීමිත වන බව සිනමා ඉතිහාසය පුරාම අප දැක ඇත. ෆාදර් චිත්‍රපටයේ තිර රචනය එයට විරුද්ධව, ඉතා ප්‍රබලව සහ පරිස්සමින් ගොඩනඟා තිබේ. කතාව flashback ව්‍යුහයක් තුළ ගෙන යමින් conflict එක ක්‍රමයෙන් නිරන්තරයෙන් වර්ධනය කරමින් චිත්‍රපටයට තද සිනමා අත්තිවාරමක් සපයයි.

චිත්‍රපටය ආරම්භයේ Based on True Story යන වාක්‍යය දිස්වන මොහොතේම, ප්‍රේක්ෂකයාගෙන් විශ්වාසයක් ඉල්ලා සිටින බවක් දැනේ. නමුත් ෆාදර් චිත්‍රපටය දෙස සිනමාත්මකව බැලූ විට, කතාව පුරා කැමරාව හැසිරෙන්නේ නීතිඥයෙක් ලෙස නොව, සාක්ෂි සොයන එකක් නොව අර්ථයක් සොයන සිනමා ඇසක් ලෙසයි. Lighting, framing සහ close up භාවිතය මඟින් චරිතයක වේදනාවත් ජයග්‍රහණයත් ප්‍රේක්ෂකයාට දැනෙන්න සලස්වයි. බොහෝ විට එම හැඟීම තොරතුරු වලට වඩා චිත්‍රපටය බලවත් කරයි.

අධ්‍යක්ෂ චමින්ද ජයසූරියගේ පළමු අධ්‍යක්ෂණය ලෙස මෙය සම්පූර්ණයෙන්ම සාර්ථකය. කිසිදු තැනක ආධුනික බවක් නොපෙනේ. අතීතයේ අප රස විඳි බයිස්කෝප් සිනමාව, ගුණාත්මක සහ කලාත්මක වටිනාකමක් සමඟ නැවත සිනමාහල්වලට කැඳවාගෙන ඒමට ඔහු සමත් වී ඇත. විශේෂයෙන්ම කතා නායකයා හෝ දුෂ්ටයන් වීරයන් ලෙස ප්‍රේක්ෂකයා අතරට නොගෙන ඒම ඔහුගේ ප්‍රධාන අධ්‍යක්ෂණමය තේරීමකි. යුක්තිය වෙනුවෙන් සටන් වදින අසාධාරණයට පත් වූ බොහෝ මිනිසුන් සමාජයේ දුෂ්ටයන් ලෙස ලේබල් වන අතර, එම අහිංසකයන් තවදුරටත් වරදකරුවන් ලෙස සලකන සත්‍යය චිත්‍රපටය අපට මතක් කර දෙයි. ඩෙස්මන් අදහන ආගම අනුව ඔහුගේ සිහිනය තවකෙනෙකුගේ නින්ද තුළ දකින්නට සිදුවන බවට ඇති අදහස මෙහි ideologically charged සංඥාවක් ලෙස ක්‍රියා කරයි.

ෆාදර් චිත්‍රපටයේ violence කිසිවිටකත් ප්‍රමෝදයක් ලෙස ඉදිරිපත් නොවේ. ඉතා බිහිසුණු සටන් ජවනිකා වලදී පවා, background ලෙස සොබාදහමේ සුන්දරත්වය එක් කර බිහිසුණු බව සමනය කර ඇත. එය දමිළ හෝ හින්දි commercial cinema වල දකින්නට ලැබෙන adrenaline driven identification එකෙන් ප්‍රේක්ෂකයා දුරස් කරන තේරීමකි.

Box office cinema සාමාන්‍යයෙන් protagonist වීරයකු ලෙස ගොඩනඟා over stylized violence dramatic score සහ spectacle භාවිතා කර ප්‍රේක්ෂකයාගේ හැඟීම් පාලනය කරයි. නමුත් ෆාදර් ideology driven cinema එකක් ලෙස, විනෝදයට වඩා හිතන්න, සැක කරන්න, ප්‍රශ්න කරන්න ප්‍රේක්ෂකයාට බල කරයි. මෙහි protagonist සිටියත් ඔහු වීරයකු බවට පත් කිරීම අනිවාර්ය නොවේ. ඩෙස්මන් ගුණසේකර box office වීරත්වය ගොඩනැගීමෙන් හිතාමතාම ඉවත් කර ඇති අතර, ඔහු අහිංසකයකු ලෙස ආරම්භ වී පසුව දාමරිකයකු බවට පත්වීම කිසිවිටකත් වීරත්වයක් ලෙස නිරූපණය නොකෙරේ. මෙය box office බයිස්කෝප් නීතියට සෘජු විරුද්ධ තේරීමකි.

ඇතැම් වෙඩි තැබීම් සහ සටන් ජවනිකා සඳහා (උසාවියේ අවසාන වෙඩි තැබීමට පෙර කැලෑ දර්ශනය වැනි අවස්ථා) සොබාදහමේ සුන්දර පසුතල යොදාගෙන තිබේ. එය violence එක romanticize කිරීමක් නොව, එයට විරුද්ධ අර්ථයක් නිර්මාණය කරන cinematic gesture එකක් ලෙස මම දකිමි.

චිත්‍රපටය එහි අරමුණ ප්‍රේක්ෂකයාට උද්යෝගයක් නොව සංවේදනාවක් දැනවීමයි.

බයිස්කෝප් සිනමාවේ දුෂ්ටයා සාමාන්‍යයෙන් අඳුරු visual codes වලින් හඳුනාගත හැකිය. නමුත් මෙහිදී දුෂ්ටයා වන ඥානේගේ ඇඳුම් නිර්මාණයේදී මල්, කොළ සහ විචිත්‍රවත් රටා යොදාගැනීම එම visual code එක බිඳ දැමීමකි. අපරාධය වෙනත් ලෝකයකින් ආ ආගන්තුක දෙයක් නොව අපි ජීවත්වන සාමාන්‍ය සමාජය තුළම පවතින සාමාන්‍ය දෙයක් බව මෙයින් පෙන්වයි.

චිත්‍රපටයේ රංගන කාර්ය සඳහා ශිල්පීන් තෝරා ගැනීම ඉතා සූක්ෂම ලෙස සිදුකර ඇත.ඩෙස්මන්ගේ වර්තමාන චරිතයට සෞම්‍ය ලියනගේ තෝරාගැනීම වෙනත් විකල්පයක් සිතීමටවත් ඉඩ නොතබන තරමේ සාර්ථක රංගනයකි.

 

578792235 122162538962755324 369279984107643310 n

 

ප්‍රධාන චරිතය protagonist ලෙස රංගනයෙන් දායක වන පූජිත දංදෙනිය ඔහුගේ ශරීර භාව, ඇස් භාවිතය සහ තරුණ ආක්‍රමණශීලීත්වය හරහා චරිතයේ අභ්‍යන්තර ගැටුම ගැඹුරු ලෙස ප්‍රකාශ කරයි.

ඥානේ ලෙස ජගත් මනුවර්ණ, antagonist පමණක් නොව secondary protagonist ලෙසද චිත්‍රපටයේ tension එක රඳවා ගනී. ඔහුගේ රංගනය පෙර කවදත් මෙන් අති විශිෂ්ටය.

බිමල් ජයකොඩිගේ antagonist චරිතයද, පොලිස් නිලධාරියකු ලෙස සනත් විමලසිරිගේ රංගනයද ද secondary characters සඳහා ගැඹුරු නාට්‍යමය බරක් එක් කරයි. තත්පර කිහිපයක දර්ශනවලින් පවා ඔවුන් අමතක නොවන රංගන සලකුණු ඉතිරි කරයි. ශ‍්‍යාම් ප්‍රානාන්දුගේ මුහුනේ ගැඹුරු භාවාත්මක ඉරියව් චලනයන් විශ්ෂ්ට ය. සුරාජ් මාපා, කෝරලගේ සමන් සේවියර් කණිෂ්ක , සරත් කොතලාවල,චාන්දනී සෙනවිරත්න , දිල්හානී අශෝකමාලා,අකලංක ප්‍රභාශ්වර සහ තව බොහෝ නවක ශිල්පීන් සැමගේ දායකත්වය ඉතාම විශිෂ්ට ලෙස ලබා දී තිබේ. සියලු තත්පරයකට හෝ පෙනීසිටි නලු නිලියන්ගේ දායකත්වය චිත්‍රපටයේ සමස්ත ගුණාත්මකභාවයට විශාල රුකුලකි.

 

fATHER MOVIE RE W

 

අධ්‍යක්ෂවරයා ගත් අභියෝගාත්මක තේරීම් අතරින් විශේෂයෙන් සඳහන් කළ යුතු එකක් වන්නේ, වෙල්ලාගේ චරිතය සඳහා සිනමාවට ආධුනික රංගන ශිල්පියෙක් වන සදුන් ප්‍රියංකර විතානගේ තෝරාගැනීමයි. වෙල්ලා සෙසු චරිතයක් ලෙස පෙනුණද, චිත්‍රපටයේ truning point එකක බර දරාගන්නා චරිතවලින් එකක් බවට පත්වෙයි. එම චරිතය හරහා අපට පෙනී යන්නේ, අපරාධයට නායකත්වය දෙන අය පමණක් නොව, පද්ධතිය විසින් භාවිතා කර පසුව ඉවත දමන අසරණ මිනිසාගේ මුහුණයි.

සදුන්ගේ රංගනය කිසිසේත් ආධුනික නොවේ. වෙල්ලාගෙ චරිතය හරහා ෆාදර් චිත්‍රපටය අපට මතක් කර දෙන්නේ දේශපාලන හා අපරාධ යන්ත්‍රණය තුළ සැබෑ ලෙසම විනාශ වන්නේ වීරයන් හෝ දුෂ්ටයන් නොව, ඔවුන් අතර සිරවී සිටින අසරණ මිනිසුන් බවයි.

චූටි මල්ලි පොඩි මල්ලි යුගලය තනි තනිව චිත්‍රපටයට යොදා ගෙන තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඔවුන් තනි තනිවද චිත්‍රපටයට සාර්ථක රංගනයක් එක් කර තිබේ.

සංගීතය, සංස්කරණය සහ සිනමා භාෂාව ගත් කල චාමර වීරසිංහගේ ගායනයෙන් ඉර හඳ සෙවනැල්ලේ ගීතය චිත්‍රපටයට එක් කිරීම අභියෝගාත්මක තේරීමක් වුවත්, එය වචන වලින් විස්තර කළ නොහැකි සංවේදනයක් ප්‍රේක්ෂකයාට ලබා දෙයි. චින්තක ජයකොඩිගේ සංගීත අධ්‍යක්ෂණය සමස්ත චිත්‍රපටය පුරාම ඉතා සංවේදී ලෙස ක්‍රියා කරයි.

 

"ෆාදර්" චිත්‍රපටයේ චාමර වීරසිංහ ගයන 'ඉර හඳ සෙවනැල්ලේ' පසුබිම් ගීතය >>

 

සිතුම් සමරජීවගේ සංස්කරණ කාර්යය, චිත්‍රපටයේ වේගය, සංවේදනය සහ අර්ථය තීරණය කරන හදවත බවට පත්ව ඇත. කැමරා අධ්‍යක්ෂ විශ්වජිත් කරුණාරත්නගේ සිනමාරූපී භාෂාව, අපව කලාත්මක සිනමා ගමනකට රැගෙන යයි.

කලා අධ්‍යක්ෂණය,අංග රචනයද සහ ඇඳුම් නිර්මණ ශිල්පීන්ද සමස්ත චිත්‍රපටය පුරා සාර්ථකය.

ෆාදර් බයිස්කෝප් සිනමා පටයක් වුවද ideology driven cinema එකක ලක්ෂණද පෙන්නුම් කරයි. මෙය කලාත්මක සිනමාරූපී, සමාජය ප්‍රශ්න කරන සිනමා කෘතියකි.

චිත්‍රපටයේ ආරම්භය සහ අවසානය ඉතාම සිනමාරූපීයය. චිත්‍රපටයයේ After climax එක පුද්ගලිකව මා සිත් ගත්තකි.Confilt එක climax එකට ගෙනවිත් අප තුළ සසල කිරීමක් ඇති කර flashback වූ කතාව වඩා හොඳින් පැහැදිලි කරවයි. ඩෙස්මන් අවසානයේ බයික් එකේ නැගී ඈතට ඇදී යන අවසාන රූප රාමුව අති විශිෂ්ඨ එකකි. එහෙත් ඒ ගමන ඩෙස්මන් තනිව ගියා නම් මෙතෙක් සටන් කළ ඩෙස්මන්ගේ පෞරුෂය තවදුරටත් දකින්නට අපට ඉඩ තිබුණි.

මෙල්බර්න් නුවර චැඩ්ස්ටන් සිනමා ශාලාවේ අඳුරු මුල්ලක අසුන් ගෙන තත්පරයක් හෝ ඇස වෙනතකට නොයවා රඳවාගෙන සංවේදනාද, විනෝදයද, ත්‍රාසයද විඳිගතිමි.අවසන විනාඩියක් පමණ අසුනින් නැගිට ගැනීමට නොහැකිව ගල් ගැසී සිටි බවත් කියමි.

සිංහල සිනමා ඉතිහාසයේ විශිෂ්ඨ සිනමාපටයක් නැරඹීමෙන් ලැබිය හැකි උපරිම ආනන්දය වින්දෙමි.

චිත්‍රපටයේ නිශ්පාදක ශාන්ත ගීතදේව ,අධ්‍යක්ෂවරයා වන චමින්ද ජයසූරිය ,තිර පිටපත් රචක පිටපත චාමර ප්‍රසන්න කොඩිතුවක්කු

Directors Assistant, script doctoring , lyrics -පතිනියනේ චමල් අකලංක පොල්වත්තගේ ,ගීත සහ දෙබස් රචක විමල් කැටිපෙආරච්චි සහ චිත්‍රපටයට දායක වූ සැමට මගේ උණුසුම් සුබපැතුම්.

'ෆාදර්' චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය >>

 

කුමන හෝ නිර්මාණයක් අවසානයේ අප සසල හෝ නිසල නොවේ නම් එය නිර්මාණයක් නොවන බව මගේ හැඟීමයි.

මම ෆාදර් චිත්‍රපටය නරඹා තදින්ම සසල වූ කෙනෙක්මි.

 

504349913 1414686932857162 8387510258191053930 n 1

සටහන - ඉරේෂා හේමමාලී

(මෙම ලිපිය 'Iresha Hemamali' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

 

kemadasa

Back to top
Go to bottom