lan englan tam

විශේෂාංග

"විකල්ප නොමැති ධනවාදි ලෝකයක මනුෂ්‍යත්වය අමානුෂිකරණය වීම" - “No Other Choice''

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
-Malintha Vithanage-
කොරියානු සිනමා ප්රවාහය විසින් නිර්මාණය කරන නාට්යමය (Drama) ශානරයේ සිනමාපට වෙත බහුල ලෙස කේන්ද්ර කර ගන්නේ මනුෂ්යයාගේ වෙනස්වනසුළු ස්වභාවයයි.
හැඟීම් පවා මුදලට විකිණෙන ධනවාදී ⁣යුගයක මනුෂ්යත්වය දියවීම පිළිබඳ තිර පිටපත් රචනා කිරීමට කොරියානු සිනමාකරුවන් දැඩිව අවධානය යොමු කරති. මෙම වසරේ තිරගත වූ “No Other Choice'' චිතරපටය ධනවාදී ලෝකයක සුඛෝපභෝගී ජීවිතයක් අත්පත් කර ගැනීම උදෙසා දාම ඝාතකයකු බවට පත්වන ආකාරය පිළිබඳ ආඛ්යානයක් ගොඩ නඟා ඇත.
 
nootherchoice
 
''යූ මන්-සු" දකුණු කොරියාවේ සෝලාර් පේපර් නම් කඩදාසි සමගාමක සේවය කර වසර 25ක පළපුරුද්දක් ඇති සම්මානලාභී කඩදාසි කර්මාන්තයෙහි විශේෂඥයෙකි. ඔහුගේ ජීවිතය හා බැඳි තිබෙන්නේ කඩදාසි නිපදවීම මත ය. ඔහු බිරිඳ, පුතු සහ දියණිය සමඟ සතුටින් ජීවිතය ගත කරන අතර අනපේක්ෂිත ලෙස යු මන් සූට රැකියාව අහිමි වෙයි.
සතුට තාවකාලික දෙයක් බවට පත්වන්නට වැඩිවෙලාවක් ගතවන්නේ නැති බව ඔහුට වැටහෙයි. රැකියාවක් නොමැතිව තමන් මෙතෙක් දිවි ගෙවු සුඛෝපභෝගී ජීවිතය කෙමෙන් කෙමෙන් බිඳ වැටෙන්නට පටන් ගනියි. සුඛෝපභෝගී ජීවිතය බිඳ වැ⁣ටීම කෙතරම් දුරට බලපෑවේ ද යත් සුරතලයට අති කළ සුනඛයා පවා විකිණීමට සිදු වෙයි. තමන් සතු අලංකාර නිවස පවා අහිමි වීමේ අවදානමකට මුහුණ දීම නිසාම යූ මන් සූ වෙනත් රැකියාවක් සොයා යන්නට යුහුසුලු වෙයි.
නමුත් ඔහු අයදුම් කරන්නේ කඩදාසි කර්මාන්ත ශාලාවක විධායක ශ්රේණියේ තනතුරක් සඳහාය. එම තනතුර වෙනුවෙන් ඔහු සමඟ තරඟ වැදෙන බොහෝ පළපුරුදු අය වෙති. ඔහු බලාපොරොත්තු වන රැකියාවේ තනතුර වෙනුවෙන් දැඩි තරඟකාරීබවක් ඇත. මේ නිසාම ඔහු සතු ජාගර සිතුවිලි අවදි වෙයි. තමන්ගේ වෘත්තියට අයදුම් කරන පළපුරුදු අයදුම්කරුවන් මරණයට පත් කර දමා එම වෘත්තිය තමන් සතු කර ගන්නට පිඹුරුපත් සකසති. අනෙකාගේ සැප ජීවිතයට ඔහු ඊර්ෂ්යා කරයි. යූ මන් සූ සුඛෝපභෝගී ජීවිතයක් උදෙසා මිනිමරුවෙකු බවට පත් වෙයි. ඔහු අර්බුදය වෙත මුහුණ පෑමේ ඛේදවාචකය ''No Other Choice" සිනමාපටය ඔස්සේ දිග හැරෙයි.
 
2025 11 22T11 39 05.141Z 103876 EOJJEOL SUGA EOPDA NO OTHER CHOICE Official Still 2 1024x683
 
 
“No Other Choice'' වැනි ජිවිතය උපහාසයට ලක් කරන චිත්රපටයක් මේ යුගයේ නැරඹීමේ අවශ්යතාවය කුමක්ද? යැයි යමෙකුට ඇසීමට පිලිවන. “No Other Choice'' චිතරපටයේ පිළිබිඹු කරන්නේ මනුෂ්යයා සතුව පවතින ආශාව හඹායෑමේ ස්වභාවයයි. සුඛෝපභෝගී ජීවිතයක් වෙනුවෙන් අධර්මිෂ්ඨ ලෙස අනෙකා විනාශ මුඛයට ඇද දමා ආශාව අත්පත් කර ගැනීමේ හුදු වෑයමක් පිළිබඳ නිරූපණය වීම වැදගත් ය. සාමාන්යයෙන් සිනමා කෘතියක් සමාජයට අභියෝග කළ යුතු ය. නැත්නම් කලා කෘතිය විසින් පුද්ගලයාගේ ආධ්යාත්මයේ පවතින සංකීර්ණ ස්වභාවයට අභියෝග කළ යුතු ය.
සිනමාපටයේ ප්රථම භාගයෙහි යු මන් සූ තම ඉඩමෙහි පැළ සිටුවමින්, හරිතාගාරයක් පවා පවත්වාගෙන යන සාමකාමී චරිතයක් ලෙස පෙන්වයි. නමුත් ඔහුගේ රැකියාව අහිමි වී ගිය මොහොතේ සිටම ඔහු තම කුටුම්භය සහ වෘත්තියට ඇති ආශාව ගැන සිතා මිනී මරන්නෙකු බවට පත් වෙයි. මෙවැනි සිදුවීමි සමාජයෙහි ඕනෑ තරම් නිදර්ශන ලෙස පවතී. මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් දෙවරක් නොසිතා සිදු කරන්නට මනුෂ්‍යත්වය දිය කර දමා ඇත. පෞද්ගලික දිවිය වළපල්ලට ඇද දමන්නේ සමකාලීන ධනවාදයේ තූළින් පැන නැඟි ජංගම දුරකථනය නමැති උගුල් අටවන මෙවලමයි. ආත්මාභිමානය, ගෞරවය, අවංකකම දිය කර දමන්නට ජංගම දුරකථනයේ සුළු කෙටි පණිවුඩයකට වුව ද පිලවන.
 
no other choice
 
“No Other Choice'' සිනමාලංකාරය දකුණු කොරියානු මහා සිනමාකරු පාර්ක් චෑන් වූක්⁣ගේ ය. පාර්ක් චෑන් වූක් යනු නූතන කොරියානු සිනමාවේ පදනම සඳහා තීරණාත්මක බලපෑමක් කළ සිනමාකරුවකු ලෙස ප්රකට ය. ඔහු අධ්යක්ෂණය කළ "Oldboy'' ලෝක සිනමාවේ ශ්රේෂ්ඨතම චිත්රපටවලින් එකක් ලෙස සැළකෙයි. ඔහුගේ සිනමා ශෛලිය පවතින්නේ මිනිස් ජීවිතයේ පවතින සංකීර්ණතා උපහාසයට ලක් කිරීම සහ මිලේච්ජසහගත ඝාතන සමිබන්ධයෙන් පවතින අදහස් මතිනි. සිනමාකරුවාගේ සිනමා භාවිතයෙහි දුට හැකි පොදු ලක්ෂණයක් ලෙස මිනිසාගේ හෘදය සාක්ෂිය හෙවත් තමා සමඟම කරන අරගලය විමසීම කැපී පෙනේ.
 
ඇමරිකානු ලේඛකයකු වන ඩොනල්ඩ් වෙස්ට්ලේක් රචනා කළ 'ද ඇක්ස්' නවකතාව “No Other Choice'' චිතරපටය සඳහා පාදක කරගෙන ඇත. දෙබස් හුවමාරුව ප්රබල උද්වෙිගකර නාට්යමය අවස්ථා මවන චිත්රපටයකි. රූපයට පෑහෙන මොන්තාජ් නමැති සංස්කරණ ශිල්පය නමැති සාධකය ප්රමුඛ කරගනිම්න්, රූප රාමුවෙන් (frame), රූප රාමුවට, රූප ඛණ්ඩයෙන්.(shot), රූප ඛණ්ඩයට නරඹන්නාගේ ඇස රවටයි. රූපක, සංකේතවලින් චිත්රපටය පිරී සිනමා කොලාජයකි. සිනමා වැඩබිමක අසිරිය ගනී. ප්රධාන චරිතය වන 'යු මන් සූගේ' චරිතය නිරූපණය කරන සම්මානනීය කොරියානු නළුවෙකු වන 'ලී බ්යුං-හුන්' රංගනය ප්රශස්ත ය.
 
82වැනි සුප්රකට වැනිස් ජාත්යන්තර චිත්රපට උලෙළෙදී “No Other Choice'' චිතරපටය ප්රදර්ශනය කළ අතර එහිදි සුවිශේෂි ප්රතිචාරයක් හිමි විය. චිතරපටය නැරඹු ප්රේක්ෂකයන්, විචාරයක් චිතරපටය නරඹා අවසානයේ මිනිත්තු නවයක නැගී සිට අත්පොළසන් දීමකින් චිතරපටය ඇගයීම සිදු කර ඇත. මෙම වසරේ පැවැත්වෙන්නට නියමිත 98වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි 'හොඳම ජාත්යන්තර වෘත්තාන්ත චිත්රපටය' (best International Feature Film) කාණ්ඩය යටතේ දකුණු කොරියාව නිල වශයෙන් ඉදිරිපත් කර ඇති චිතරපටය වන්නේ "No Other Choice" චිතරපටයයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහළින්>>
 
 
අතිශය තරඟකාරී වූ ධනවාදය නිසා අමානුෂිකකරණයට ලක්වීම චිත්රපටයේ කේන්ද්රීය මූලාකෘතිය බවට පත්වීම සහ රැකියාවක් ලබා ගැනීම සඳහා තරඟකරුවන් මරා දමමින් හැකිළෙන රැකියා වෙළඳපොළ වෙත සිනමාපටය විසින් අඟවන අනතුරු ඇඟවීම ඉදිරි කාලයේ බොහෝ දෙනා සාකච්ඡාවට ගැනීම අනිවාර්යය වනු ඇත. ආර්ථිකය සහ ගෞරවය අවදානමට ලක්ව ඇති බව හැඟෙන විට කුරිරු ධනවාදී පද්ධති සාමාන්ය ජනතාව අමානුෂික තේරීම් කරා තල්ලු කරන්නේ කෙසේදැයි “No Other Choice'' චිතරපටය මැනවින් යෝජනා කරයි.
 
 
476237625 2101514566935849 5297727973837240105 n
කර්තෘ - මලින්ත විතානගේ
(මෙම ලිපිය 2025 දෙසැම්බර් මස 11 වන දින සරසවිය පුවත්පතෙහි මුල්වරට පළ විය.)

kemadasa

Back to top
Go to bottom