lan englan tam

විශේෂාංග

සේකර භාෂා වාදකයෙක් - සුනිල් සරත් පෙරේරා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මහගම සේකර කලාකරුවා අප අතරින් නික්මගොස් පසුගිය ( ජන.14) දිනට වසර 50 කි.

මතු දැක්වෙන්නේ මහගම සේකරයන් පිළිබඳව ප්‍රවීණ ගීත රචක සහ කිවිවර සුනිල් සරත් පෙරේරා විසින් සිය මතකය අවධිකරමින් සිදු කල සංවාදයක සටහනයි. සංවාදය ලක්මාල් බෝගහවත්ත විසින් වන අතර මෙය මුල්වරට අරුණ ජාතික පුවත්පතේ “ධාරා” සාහිත්‍ය අවකාශයේ පළවිය.

 

448534086 2152940185062429 3540169926453796669 n 1ප්‍රවීණ ගී පද රචක හා කිවිවර සුනිල් සරත් පෙරේරා

 

සංවාදකයා ඔබ, මහගම සේකරගෙ සමීප මිත්‍රයෙක්. මහගම සේකර පිළිබඳ ඔබේ පළමු මතකය කුමක් ද?

සුනිල් සරත් පෙරේරා -  ඒ මතක ආවර්ජනය මගේ පාසල් කාලය දක්වා ඈත යන්නක්. ඒ කාලයේ සේකර අපිට මහත් ආස්වාදයක්. එක පැත්තකින් මහගම සේකර මගේ ප්‍රනේතෘවරයෙක්. මම මුලින්ම සේකර දකින්නේ මගේ පාසල ලුම්බිණියට ආපු දවසේ. එකල මා සාමාන්‍ය පෙළ සිසුවෙක්. එදා ඔහු සමඟ මඩවල එස්. රත්නායකත් හිටියා. ලුම්බිණි ශාලාවේ අවසාන පේලියේ කොනක වාඩිවෙලා සේකරගෙ දේශනය අහද්දි ඔහු කතාකරන ලීලාව, ඉරියව් හැම එකක්ම ගෙන ආවේ ආස්වාදයක්. අනෙක් අවස්ථාව තමයි ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට ගිය කාලය. ගුවන්විදුලියේ දකුණ පස තියෙන ශාලාවේ එක යායට මහගම සේකර, කරුණාරත්න අබේසේකර, දයානන්ද ගුණවර්ධන වැනි අය ඉන්නවා අපි දකිනවා.

 

එලෙස සේකර ඈතින් දකින ඔබට, ඔහු ඇසුරු කරන්න ලැබෙන්නේ කෙලෙසින් ද?

මට මතක හැටියට මම ඉතිරි කිරීමේ බැංකුවේ සේවය කරන කාලයේ. ඔහු ඒ කාලයේ හේවුඩ් එකේ විදුහල්පති. ඒ කාලයේ නිතර මා හමුවීමට සේකර අපේ නිවසට ආ ගිය හැටි පවා මට මතකයි. ඒ වගේම මමත් ඔහු මුණගැහෙන්න හේවුඩ් එකට නිතර යනවා. ඒ යන අවස්ථාවල මැන්දිස් රෝහණධීර වැනි අය ඔහු හමුවීමට ඇවිත් ඉන්නවා දකිනවා. ඉතින් ඒ ඇතැම් අවස්ථාවල සේකර රසවත් කවි කියනවා. නාරද දිසාසේකරට සේකර ගැන ලොකු ඇගැයීමක් තිබුණා. ඔහු සේකර ඇදහුවා. ඛලීල් ජිබ්රාන්ගෙ කවිවල බලපෑම සේකරට ලැබුණු හැටි ගැන නිවැරැදි කියැවීමක් නාරදට තිබුණා. නාරද ඒ ගැන මා සමඟ කතා කළා.

සේකරට පළමු හාර්ට් ඇටෑක් එක ඇවිත් තිබුණ කාලයේ දිනක් මා හමුවීමට ඔහු ඉතිරි කිරීමේ බැංකුවට ආවා. ඔහු සමඟ ධම්ම ජාගොඩ වගේම හේවුඩ්වල උගන්වන සුදු අඳින තරුණ කථිකාචාර්යවරයෙකුත් ආවා. එහෙම ඇවිත් සේකර කිව්වා රුපියල් හතළිහක් දීල කතා කරමු කියලා. ඒ කාලයේ රුපියල් හතළිහක් කියන්නෙ සැලකිය යුතු මුදලක්. මම ඉතින් මගේ අසල හිටපු මිත්‍රයෙක්ගෙන් රුපියල් විස්සක් ඉල්ලගෙන, අනෙක් විස්ස මා අතින් දාල සේකරට දුන්නා. සේකර එම මුදල ධම්ම ජාගොඩට දුන්නා. ධම්ම ඒ මුදල අරගෙන සැලියුට් එකක් ගහල අර තරුණයත් එක්ක එතනින් ගියා. මොකද ඒ වෙද්දි සේකර සුරාපානය කරන්නෙ නැහැ. පස්සෙ මමයි සේකරයි බොහෝ වෙලාවක් කතාකරමින් හිටියා. ඔහු ගෙදරින් ගෙනාපු බත් මුලත් ලිහාගෙන කන ගමන්, බෑග් එකෙන් කොළ කිහිපයක් අරගෙන එහි ලියා තිබුණු ගීත දෙකක් මට පෙන්නුවා.

 

ඒ ගීත දෙක ඔබට මතක ද?

ඔව්, එකක් තමයි ‘පුතු ඉපදුණු මේ පොළොවේ උරුමය පුතුටයි’ ගීතය. ඔහු ගේ ගීත කිව්වා.

 

ඒ කියන්නේ සේකරට ගී ගැයිමේ හැකියාවක් තිබුණා ද?

නැහැ, ගැයුවා නෙවෙයි, කෑම කන ගමන් හඬ නගා ඒ ගීත දෙක ඔහු කිව්වා. සේකරගෙ හඬින් ඒක කියද්දි හරි අලංකාරයි.

මම රූපවාහිනියෙ අධ්‍යක්ෂ ජනරාල් වූ පසුව ‘කවිකාර මඩුව’ නමින් වැඩසටහනක් කළා. සේකර එදා අර ගීය හඬනගා කීම තමයි ඒ වැඩසටහන පටන්ගන්න මට මූලබීජය වුණේ. කවියෙක් තමන් ලියූ කවියක් කියවද්දි එහි හරි අපූර්වත්වයක් තියෙනවා. ඒ වැඩසටහනට මොනිකා රුවන්පතිරණ, පරාක්‍රම කොඩිතුවක්කු, මඩවල එස්. රත්නායක, විමල් අභයසුන්දර, අරිසෙන් අහුබුදු වගේ කවියන් ආවා. ගුණදාස අමරසේකර පවා එක් වැඩසටහනකට සහභාගි වුණා. තමන් ලියූ කවි කියවා, ඒ කවි ලියන්න හේතුවූ අත්දැකීම විග්‍රහ කිරීම තමයි ඒ වැඩසටහනේදී සිදුවුණේ.

 

නිර්මාණකරුවෙක් ලෙස සේකරගෙ ඔබ දුටු විශේෂතා මොනවා ද?

මම හිතන්නේ එය මෙවැනි ලිපියකට ලඝු කරන්න බැහැ. ඒ නිසා සේකර ගී පද රචකයෙක් විදිහට සුවිශේෂ වෙන්නෙ කොහොමද කියලා කතා කරන්නම්. ඇත්තෙන්ම සේකර භාෂා වාදකයෙක්. ඒ වාදනය මම දැක්කා ඔහුගේ එදා අර ගීය හඬනගා කීමෙන්.

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට - තිත්ත පැටව් උඩ පැන නැටුවා ගීතයේ මැද හරියට යද්දි “ගල මතුපිට මල පිපෙන්න – මල වට බඹරිඳු නටන්න – වැහිවැහැලා ගඟ පිරෙන්න - ගඟ උතුරා හිත පිරෙන්න...”. මේ අලංකාර භාෂා භාවිතය සංගීතඥයාට අවස්ථාවක් සලසා දෙනවා. ඒ නිසයි මම ඔහුට භාෂා වාදකයෙක් කියන්නෙ. මානව දයාව මිස මානව වෛරය ඔහුගේ එකම ගීතයක හෝ තිබුණෙ නැහැ. ඔහුට බෞද්ධ දර්ශනයේ අභාසය තිබුණා. සේකරගෙ ගීතයේ තියෙනවා භාෂාත්මක සම්මිශ්‍රණය. කලාත්මක ගීතය අපි හඳුනාගත්තේ සේකරගෙන්. ඔහු කියන්නෙ ගී පද කියල.

හොඳම උදාහරණය සේකර ලියූ ‘මහගම සේකර ගීත රචනා’ කෘතිය.

ඔහුගේ හැම ගීතයකම තියෙන්නෙ පර්යේෂණකාමීත්වය. සේකර ඉතා ශූර ලෙස භාෂාවේ ජනවහර සම්මිශ්‍රණය කරනවා. ඒ සම්මිශ්‍රණය ගීතයේ සමස්ත දේහය එක්ක බද්ධ කරනවා. අද සමහර කවීන් යැයි කියන ගී පද රචකයෝ කරන්නේ භාෂා පැලැස්තර ඇලවීමක්. ඒක හරියට එහෙන් මෙහෙන් අරන් අලවන කොලාජ් චිත්‍ර කලාව වගේ. සේකර කලාත්මක ගීතයේ ප්‍රනේතෘවරයෙක්.

 

ඔහුගේ නිර්මාණවලින් පිළිබිඹු වෙන ඒ මානවවාදී ගුණය ඔහු තුළ සැබෑ ලෙසම තිබුණා ද?

ඔව්, ඇත්තටම තිබුණා. ඔහු හරිම අව්‍යාජ මනුෂ්‍යයෙක්. ඒ නිසා මම පුන පුනාම කියනවා මානව දයාව සේකර තුළ තිබුණා. කිසිම මානව වෛරයක් තිබුණෙ නැහැ. මානව දයාවකින් තොරව, මානව විරෝධාකල්පයෙන් කරන කලාවක් සදාකල් පවතින්නෙ නැහැ.

 

සේකරට වඩාත් බලපෑම් සහගතවූ සාහිත්‍යකරුවන් කවුද?

තමන් දේශානුරාගී හා නිර්මාණාත්මක ගීත නිර්මාණය කරන්න පෙළඹුණේ කුමාරතුංග මුණිදාසගේ ‘හෙළ මියැසිය’ කියැවීමෙන් බව සේකරගේ ඔහුගේ ‘මහගම සේකර ගීත රචනා’ කෘතියේ ප්‍රස්ථාවනාවේ පළමුවෙන්ම සඳහන් කරන කරුණක්. ඔහු කුමාරතුංගගෙ නිර්මාණ පිළිබඳ ගවේෂණාත්මකව සිතා බලා තිබුණා. කුමාරතුංගගේ ශුද්ධ භාෂා රීතිය ඔහු පාවිච්චි කළ අවස්ථා තියෙනවා. ඔහු ගන්න පුළුවන් හැම තැනක්ම සොයාගෙන ගියා. ඕමාර් ඛයියාම්ගෙ කවි ගී බවට පත් කළා. සරෝජිනී නායිදු, තාගෝර්තුමා පවා සොයාගෙන ගියා. ඛලීල් ජිබ්රාන්ගෙ කවි හැදෑරුවා.

මටයි, සේකරටයි, විමල් අභයසුන්දරටයි ශ්‍රමාභිමානය වර්ධනය වන ගීත කීපයක් නිර්මාණය කර දෙන්න කියල සුසිල් මුණසිංහ ඉල්ලීමක් කළා. ඔහු ඒ කාලයේ ගුවන්විදුලියේ සභාපති. ඒ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටිය ධර්මසිරි ජයකොඩි, ‘චීනයේ තුන් කන්නයක් වගාකරනවා. ශ්‍රමාභිමානය ගැන ගී ලියද්දි ඒ වගේ අංශ ගැන හිතන්න පුළුවන් නේද’ කියා අපෙන් ඇසුවා. පසුව සේකර ලිව්වා ‘බොල් පොළොවට වැහි ගෙනෙන්න වැහි කුරුල්ලනේ – ඒ පොළොවේ වී ඉහින්න වී කුරුල්ලනේ – ගොයම් කපා කරල් පැසී පාගනා දිනේ - තෙපිත් වරෙව් මඟුල් කන්න මල් කුරුල්ලනේ...’ කියල. චීනයේ කන්න තුනක් වගාකිරීම කියන අදහස තමයි ඔහුගේ ඒ ගී පද රචනාවට පදනම් වුණේ.

 

සේකරගෙ තුංමං හන්දිය’ නවකතාව ඔහුගේ පෞද්ගලික ජීවිතය සමඟ බැඳී තියෙනවා නේ ද?

ඔව්, අපි කරන හැම නිර්මාණයකම අපි ඉන්නවානේ. ගීතයක් නිර්මාණය කළත් මේ මමයි කියා අමුතුවෙන් විග්‍රහ කළ යුතු නැහැ. මම ඉන්නවා.

සේකරගෙන චිත්‍ර කලාව සහ ඔහුගේ කවිය, ගීතය අතර සාම්‍යයක් තියෙනවා. ඔහුගෙ ‘හඳ සහ නිව්යෝර්ක් නුවර’ සිතුවමයි, ‘බෝඩිම’ කාව්‍ය සංග්‍රහයේ එන ඒ නමින් ලියා ඇති කාව්‍යයයි හොඳම උදාහරණයක්...

එය එක්වරම අපට වැටහෙන දෙයක්. නමුත් මම හිතන්නේ ඒ අවස්ථාව පමණක් නෙවෙයි, ඔහුගේ හැම නිර්මාණයකම මේ සාම්‍යය සියුම් ලෙස ගවේෂණය කළ යුතුයි. ඔහුගේ චිත්‍ර කලාවේ ඇති සෑම ඉරක්ම, රේඛා චිත්‍රවල තියෙන ලක්ෂණ ඔහුගේ ගීතයේ තියෙනවා. කවියේ තියෙනවා. ‘වනන්තරේ වන පසු මල් පිපීයන්’ වැනි ගීතයක ඔහු සිතුවම් කළ පිරුණු කාන්තා රූපය ඇතැම්විට මම දකිනවා.

 

සේකර ජීවිතය ගැන ඔහු සිතුවේ මොන විදිහට ද?

ඔහු ජීවිතය හරි සැහැල්ලුවට ගත් කෙනෙක්. එය මා සේකරගෙ දුටු වැරැද්දක්. ඔහු හිතුවේ නැහැ තමන් ගැන. එක අවස්ථාවක කොළඹ විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය උත්සවයක් තිබුණා. එයට විමල් දිසානායක වැනි අය සහභාගි වුණා. ඒ උත්සවය අවසන් වුණ වහාම සේකර තීන්දු කළා ගාල්ලෙ තියෙන තවත් සාහිත්‍ය උත්සවයකට යන්න ඔහු තමන්ගෙ කාර් එක බොරුපණ අමරදේවගේ ගෙදර දාල, ගෙදරට කියන්නෙත් නැතිව විමල් දිසානායක ඇතුළු පිරිස එක්ක ගාලු ගියා.

නමුත් අවසාන කාලයේ තමන් යන ගමන් බිමන් ගැන ඔහු ගෙදරට කිව්වා. සේකරගෙ පළමුවැනි හාර්ට් ඇටෑක් එක ආපු වෙලාවේ මමයි, අජන්තා රණසිංහයි ඔහු බලන්න රෝහලට ගියා. එතකොට ගම්පහ රෝහල ගම්සභා රෝහලක් වගේ පොඩියි. අපි යද්දි සේකර බෙහෙත් අරන් ගෙදර ගිහින්. අපි දෙන්නා ශ්‍රීබෝධි පාරේ තිබුණු ඔහුගේ නිවසට ගියා. ඔහු එතනදි තමන්ගෙ රෝගය පපුවෙ අමාරුවක් නෙවෙයි, එය පසුවේ දැවිල්ලක් විතරයි වගේ සිතමින් එය මඟ හැරගන්න උත්සාහ කළා.

 

ඔහුගේ මරණය ඔබට ආරංචි වෙද්දි ඔබ සිටියේ කොහේ ද?

මම එදා හිටියෙ ගුවන්විදුලියෙ. මට මතකයි දයානන්ද ගුණවර්ධන තෘෂ්ණිම්භූත වුණ මුහුණකින් මහගම සේකරගෙ මරණය ගැන මට කිව්ව හැටි. ඔහු හිටියේ අඬන්න වගේ. දයානන්ද ගුණවර්ධන සහ සේකර අතර බොහොම කිට්ටු ඇසුරක් තිබුණා. මම ඒ මොහොතේම තුංමං හන්දියට ගියා. නමුත් ඒ වෙද්දි දේහය තිබුණෙ ගම්පහ රෝහලේ. ඉතින් මම ආපසු ගම්පහ රෝහලට බස්එකේ යද්දි මගේ අතින් මේ කවි පද හතර ලියැවුණා.

‘සදා නොමියන සිතුවමකි ඔබ

සාදා නොමියන ගීතයකි ඔබ

ගමේ ඕවිටි තැනිතලාවල

සදා ඔබ මට මුණ ගැසෙනු ඇත’

 

සේකර මියගිහින් අඩ සියවසක් ගතවන මොහොතක, අපි ඔහු සැමරිය යුත්තේ කෙලෙසින් ද?

ඔබ දන්නවද නවසිය හැත්තෑහතේ මහගම සේකරගේ පළමු සංවත්සර උත්සවයේ ප්‍රධාන දේශන දෙකෙන් එකක් කළේ මම. අනෙක් දේශනය කළේ ගුණදාස අමරසේකර. උත්සවය තිබුණේ CISR ශාලාවේ. කොල්වින් ආර්. ද සිල්වාත් එම උත්සව සභාවේ හිටියා. එදා උත්සවයට විද්‍යාලංකාරයේ භික්ෂුන් වහන්සේලා වගේම විශාල සෙනඟක් ඇවිත් හිටිය. මොකද ඒ ගුණදාස අමරසේකර මහගම සේකර විවේචනය කරන කාලය. අමරසේකර මට පසුව කතාකරන්න හිටිය නිසා, එතන කුමක් හෝ හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතලා මම මගේ දේශනය අවසන් කරල ඒ සැණින් ගෙදර ගියා. පහුවෙනිදා කොල්වින් මාව හමුවුණු වෙලාවක මගේ දේශනය ඉතා හොඳ බව කිව්වා.

අද සේකරගේ පනස්වැනි සමරුව පවත්වන මොහොතේ ඔහුගේ පුතා රවීන්ද්‍ර සිදුකරන කාර්යය ඉතා වැදගත්. ඔහු තම පියාණන් ලියූ සියලු කෘති විශේෂයෙන් සේකරගේ දුර්ලභ කෘති නව මුද්‍රණයකින් එළිදක්වනවා. මේවායින් මට දැනෙන්නෙ පුතෙක් බිහිකිරීමේ වටිනාකම. මම හිතන්නේ අපි සේකරගෙ නිර්මාණ නැවත නැවත කියවිය යුතුයි. ඒවා නව දෘෂ්ටි කෝණයන්ගෙන් විග්‍රහ කළ යුතුයි. සේකර එදාට වඩා අද ගවේෂණය කළ යුතුයි. එය තමයි සේකර සමරන්න තියෙන හොඳම ක්‍රමය.

 

491047285 10231409774259509 6042815206602045648 n 1

සංවාදය - ලක්මාල් බෝගහවත්ත

මෙම සංවාදය මුල් වරට 2026.01.14 දින අරුණ ජාතික පුවත්පතේ "ධාරා" සාහිත්‍ය අවකාශයේ පළවිය.

kemadasa

Back to top
Go to bottom