lan englan tam

විශේෂාංග

ගෝඩ්ෆාදර් නොවූ ‘ෆාදර්’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Chris Telan Siyambalapitiya -

ඇතැම් චිත්‍රපට වෙත මා ආත්මීය වන්නේ ඒවා නිශ්චිත සමාජ දේශපාලන ඉතිහාසයක ගැඹුරු ප්‍රකාශන වීම නිසාම ය. එසේ ම ඇතැම් චිත්‍රපට වෙත මා නැඹුරු වන්නේ ඒවා දේශපාලනයේ ගැඹුරට යෑම වෙනුවට නිශ්චිත දේශපාලනය ඉතිහාසයක අති නිශ්චිත කාරණා නිරූපණය කිරීම තෝරා ගැනීම නිසා ය.

එය 'උඩින් අතපත ගෑමක්' සේ විවේචනයට ද බඳුන් විය හැක්කේ වුවත් අධිපති රාජ්‍ය දේශපාලන දෘෂ්ටිවාද විසින් පස් දමා වැළලූ ඉතිහාසයක අංශු මාත්‍රයක් හෝ තමා කලා කෘතිය වෙතට කැන්ඳා ගැනීමේ වුවමනාවට මගේ ආත්මීය ගෞරවය නිතැතින් ම හිමිවේ.

 

fATHER MOVIE RE W

 

මේ සිනමාපටයේ සෑම ජවනිකාවක් ම උතුරා යන නළු නිළි ජවයකින් පිරී ඇත්තේ ය. ඒ අතරින් ජගත් මනුවර්ණගේ චරිතයට මා ඉතා කැමති ය. 'ආයු' චිත්‍රපටයේ මෙන් නොව ෆාදර් තුළ ඔහු නිරායාසයෙන් රංගනයේ යෙදෙයි. ගෙලේ රන් දංවැල් ලා සරම් කැහැපොට ගසමින් ත්‍රීරෝස් සිගැරැට්ටු උරන ජගත් මනුවර්ණ මේ සිනමාපටය තුළට ධනුෂ්මය ආස්වාදයක් මවන අතරේම ධනුෂ්ටත් නැති තවත් මොකද්දෝ මැරෑටි ගතියකින්ද තිරය ජීවයෙන් පුරවයි.

ශ්‍යාම්-බිමල්-පූජන-සරත්-චාන්දනී-සනත් ආදීන්ගේ මහා රැඟුම් ගැන වෙන වෙනම කතා කරන්නට ඕනෑ තරම් කාරණා ඇති ය.

ඒ අතරින් බිමල් රඟන චරිතයනං වෙනදා අප දැක නැති එකක් ය. හෘදසාක්ෂිය උගුල්ලා සිටින්නෙකු සේ හැසිරෙන ගුප්ත පොලිස් වධකයාගේ භූමිකාවට ඔහු සමවැදී ඇති තරම ප්‍රේක්ෂක ලොමු දැහැ ගන්වයි. 'රහස් කියන කඳු' සිනමාපටයේ ප්‍රියන්ත සිරිකුමාර කළ රංගනය මට සිහිවෙයි.

තෙත පිරිමි හඬක් ඇති බිමල් එවැනි රළු කාස්ටක චරිතයක් තුළින් දකින්නට බොහෝදෙනා අකමැති ය. එහෙත් එය බිමල්ගේ රංගන ධාරිතාව පිළිබඳ මෙතෙක් අත් නොදුටු මානයක ඉඟියක් සේ ද අපට ගත හැකි ය.

නළු නිළි චරිත තුළ එවැනි රැඩිකල් වෙනස්කම් ගණනාවක් මේ චිත්‍රපටය පුරා අත් දකිනු හැකි ය. මා ඉතාම කැමති වේදිකා නළුවෙක් වන පසන් රණවීර මාළු ලෑල්ලක කෙළවල්ලන් කපන්නේ ය. මා තවත් කැමති වේදිකා නළුවෙක් වන ජෙනට් ඇන්තනී පරවියෙක් මිට මොළවාගෙන වාද බයිලා ගයන්නේ ය. සනත් විමලසිරි හිත හොඳ චන්ඩි පොලිස් ස්ථානාධිපතිවරයෙක් ය. ශේවියර් කනිශ්ක, අකලංක ප්‍රභාශ්වර ඇතුළු 'තරුණ කැළ' කඩු තුවක්කු අමෝරාගෙන මහ චන්ඩි සමඟ 'කෙළ ගන්නේ ය'.

කොළොම්බියා සෙට්ටෙකේ කීප දෙනෙක් ද ඒ අතර වේ ය.

චූටි මල්ලි පොඩි මල්ලි සුදු මල්ලි ද නළුවන් අතර සිටින්නේ ය. අංජන ප්‍රේමරත්න කැපී පෙනෙන රංගනයක් කරන්නේ ය. ගායකයෙක් සේ අප දන්නා සුදන්ත මාධව ඥාණෙ අයියාගෙ ගැන්සියේ ලිට්ල් ජෝන් පන්නයේ භූමිකාව කරන්නේ ය. මා ඉතා කැමති කෙටිකතා පොතක් වන 'හතරමං හන්දියක වචන අතර' ලියූ සඳුන් ප්‍රියංකර විතානගේ වෙල්ලාගේ චරිතයට රඟපාන්නේ ඔහු ලේඛකයෙක් බව මට අමතක කරමින් ය. මේ චිත්‍රපටයේ නම් කළ යුතුම රඟපෑමකි, චමින්ද බටුකොටුවගේ රඟපෑම. ත්‍රීරෝස් සිගරට්ටු අතර තෝරා බීඩියක් සේ ඔහු මගේ නෙත් ඩැහැ ගත්තේ ය.

රඟපෑම් ගැන මේ කතා ඇති ය.

අඳුරු රඟහල කෙළවරින් එකවරම හදගැස්මක් සේ මතුවූ සංගීතයේ එතී කැටිපෙගෙ රිද්මීය වචන චාමර වීරසිංහගේ හඬින් අඳුර කපාගෙන ආයේ ප්‍රේක්ෂකාගාරයම මුළුමනින් නිහඬ කරමිනි. මගේ ගෙලේ පවා හීගඬු පිපුණු මොහොතකි එය.

 

ඒ ප්‍රේක්ෂකාගාරයම ඩෙස්මන්ගේ නැගණියගේ මඟුල, වාද බයිලා ප්‍රසංගය, චාලිගේ දුවගේ කොටහළු මංගල්ලය විසින් සාදකතා සොමියකට කැඳෙව්වේ ය. වෙඩිමේ කපල් එක පුදුම තරම් මැචින් කපල් එකක් ය. ගෝඩ්ෆාදර් සිනමාපටයේ කොර්ලියෝන්ගේ දියණියගේ වෙඩිම මතක් වුණි මට.

සොමිබර විසිතුරු ගීතවත් ලාංකීය කතෝලික සංස්කෘතික දේහයට ජානමය සම්බන්ධය ඇති මගේ ලාලසා සහ අනූව දශකේ ගම්පහ ඉපිද හැදී වැඩී අත්දුටු පස් පාතාල වටපිටා එකට මුණ ගැසුණු මේ සිනමාපටය මගේ ජීවිත ඉතිහාසයේ මිහිරි අමිහිරි නොස්ටැල්ජියාවන් එකට ඇවිස්සුවේ ය.

 

මෙතැන් පටන් සීරියස් කාරණා කීපයක් ගැන අවධාරණ කරනු කැමැත්තෙමි.

 

1. පූජා සහයක ඇඳුම් හැඳි කොල්ලා සහ පල්ලිය

ඩෙස්මන්ගේ අභ්‍යන්තර මනෝභාව තුළ දියේ එබී පන්දුවක් මෙන් නිරන්තරේ මතුවෙන කතෝලික පල්ලියේ පූජා සහයක ඇඳුම් හැඳි කොල්ලා සංකේතීය බරකින් යුක්ත යැයි හැඟේ.

ජේසුස් ක්‍රිස්තුස් යනු විමුක්තිදායකයෙකි. ඔහු කුරුසියේ ඇණ ගැසුම් කා මරණපත් වූයේ විමුක්ති අරගලයක නිරත වූ නිසා ය.

නාසරතයේ ජේසුස් බොහෝ බල අධිකාරී ව්‍යුහ සමඟ ගැටුණේ ය. ඔහු රාජ්‍යය සහ දේශපාලනය සමඟ ගැටුණේ ය; ජුදා සංස්කෘතිය සහ ජුදා නීතිය සමඟ ගැටුණේ ය; විනයධරයන් පූජකයන් පරිසිවරුන් ආදීන්ව ඔහු ඇමතුවේ 'කෛරාටිකයන්' කියා ය.

ජේසු කුරුසපත් වූයේ ලොවේ පව් උදෙසා යැයි කීම උක්ත බලාධිකාරීන්ම වපුරනා ව්‍යාධියක් ය. ජේසුස්ගේ ජීවිතය දෙස සියුම්ව බලන විට ජේසු කුරුසයේ මරණ දණ්ඩනය ලැබුයේ ස්වකීය ජීවිතය රාජ්‍යයට, ආගමික බලාධිකාරීන්ට, පාලකයන්ට හා නීතියට නොනැමුණු විප්ලවීය ආස්ථානයක පිහිටුවීම නිසා ය. නොඑසේනම් අප්‍රමාණ සටන්කාමියෙක් වීම නිසා ය.

ඩෙස්මන්ගේ මනෝභාවයේ නිරතුරුව පොලා පනින කතෝලික පල්ලියේ පූජා සහයක ඇඳුම් ඇඳි කුඩා කොල්ලා සහ සෑම අවධියකම ඔහුගේ ජීවිතය හා ගැට ගැසී ඇති පල්ලියේ සහසම්බන්ධය විමුක්තිය පිළිබඳ පැහැදිලි සංකේතීය බරක් ඇත්තේ ය.

වෙනස නම් අවි අතට නොගත් ජේසුස් මරණ දණ්ඩනය ලැබීමත් අවි අතට ගත් ඩෙස්මන්ට උපන් බිමෙන් පැන යෑමට වීමත් ය.

 

2. ගෝඩ්ෆාදර් නොවූ ෆාදර්

ලෝකයේ බොහෝ සිනමා රසිකයින් අග්‍ර සිනමා කෘතියක් සේ සලකන Godfather වෙනුවට මෙහි සිටින්නේ Father කෙනෙකි.

ගෝඩ්ෆාදර් යනු මාෆියා කල්ලි නායකයෙක් වුවත් එය ද ක්‍රිස්තියානි සංස්කෘතිය තුළින් පැමිණියකි. බෞතීස්මය කරනවිට සෑම කිතුනු දරුවෙක්ටම අධ්‍යාත්මීය භාරකරුවන් සේ පත් කරන වැඩිහිටි ගැහැනියක් හා පිරිමියෙක් වේ.

පඤ්ඤා නොහොත් ඥාන පියා ලෙස සලකන ගෝඩ්ෆාදර් යනු එහිදී පත්කරන වැඩිහිටි පිරිමියායි.

එය දෙවියන් වෙතට කිතුනු දරුවා සමීප කරවන භාරකාර වැඩිහිටි පිය භූමිකාවක් හා සම වේ.

පසුකාලීනව ඉතාලි මාෆියා කල්ලි බලවත්ව සිටි යුගයන්හීදී දෙමාපියන් තම දරුවාගේ ගෝඩ්ෆාදර් ලෙස එම ප්‍රදේශයේ මාෆියා කල්ලි නායකයා පත්කිරීම ගෝඩ්ෆාදර් නම් වදන මාෆියා ලෝකය හා සම්බන්ධ වීමට බලපෑ ඓතිහාසික හේතුවයි.

ලංකාවේද පාතාලයේ ගෝඩ්ෆාදර්, දේශපාලන පොරපිටියේ හෝඩ්ෆාදර් යනුවෙන් නොයෙක් නොයෙක් අය කලින් කලට වර නැඟුණු පසුබිමක් තිබියදී තම සිනමාපටයේ නම ලෙස God නැතිව Father පමණක් යොදාගැනීම මතවාදීව අප කියවා ගත යුතු ය.

නිර්මාණකරුවා විසින් මෙහි එන ෆාදර්ව/පියාව දේවත්වය වෙත ළඟා කරවීමට වුවමනාවක් නැති බවක් එයින් අපට දනවයි. ෆාදර්ට ගෝඩ් සමග ඇති දේවධාර්මික සම්බන්ධය ඔහු ලොප් කරයි. එය නාමමාත්‍රිකව පමණක් කර ඇති බවක් මට නොසිතෙන්නේ ඩෙස්මන් යනු ඓතිහාසික වින්දිතයෙක් සේ හැඩරුවින් පවා නිරූපණය කිරීම තුළයි.

සෞම්‍ය රඟන ඩෙස්මන්ගෙ වැඩිමහලු අවධිය වීරත්වයකින් පිරි රජිනි කාන්මය ගතියකින් පුරවනු වෙනුවට දෙනෙත් කාන්තියෙන් නොදිලුන, හෘදසාක්ෂිය රිදවා ගත්, කඩා වැටුණු ආත්මය ඔසවා ගනු පිණිස දෙවියන් ඉදිරිපිට දනින් වැටෙන, බර සුසුම් හෙළන, තම ප්‍රියයන් කෙරේ නැඹුරු වූ ගැඹුරු පියෙක්ගේ භූමිකාවක් අප අභිමුවට පැමිණීම තුළින් ෆාදර් ගෝඩ්ෆාදර් නොවී ඇත්තේ නාමමාත්‍රිකව පමණක් නොවන බව පෙන්වයි. ඩෙස්මන්ගේ වැඩිහිටි චරිතය සඳහා සෞම්‍ය ලියනගේ නමැති රූපකාය තෝරාගැනීම එකී අදහස තව තවත් වඩවයි.

 

3. ඥාණෙගෙ ගිනි පෙනෙල්ලෙන් දැවීයන මරදාන ගාමිණීහෝල් හා සිරි පතුළ චිත්‍රපටය

මරදාන ගාමිනී සිනමා හළ දකුණේ සිංහල ජාතිවාදීන් විසින් ගිනිබත් කර දැම්මේ 1983 දී ය. දඩයම සිනමාපටය ඒ මොහොතේ තිරගත වෙමින් පැවතිය හැක්කේ වුවත් සිරිපතුළ සිනමාපටය ඊට වසර පහකට පමණ පෙර තිරගත වූවක් ය. එසේ නම් අධ්‍යක්ෂකවරයා සිරිපතුල මෙතැනට රැගෙන ආවේ මන්ද? 'සකල සතම බොදු බැතියෙන්, මිනිසාමයි ලොව දෙවියන් වන්නේ' වැනි ප්‍රකට බොදු බැති ගී සහිත මෙම සිනමාපටයේ අධ්‍යක්ෂකරයා වූ කේ. වෙන්කට් නම් ද්‍රාවිඩ ජාතිකයෙක් ය. වර්ගවාදී යූඇන්පී මැරයන් විසින් 1983දී පණ පිටින් පුළුස්සා මරා දැමුණු අය අතර කේ. වෙන්කට් ද සිටියේ ය.

1983දී ගිනිබත් වූ ගාමිණී සිනමාහලට සිරිපතුළ රැගෙනවිත් ඇත්තේ ඔහු සිහි කරනු පිණිස යැයි මට සිතේ.

 

4. වවුල්කැළේ වධකාගාරය සහ වෙනුර-පද්මසිරි

මෙම චිත්‍රපටයේ OIC ධම්මිකගේ වධකාගාරයේදී දරුණු ලෙස වධ බන්ධනයන්ට ලක්ව මරණයට පත්වන අයවලුන් අතරින් කොටසක් දේශප්‍රේමී සටන්කාමීන් වන අතර කොටසක් දේශපාලන හා පෞද්ගලික පළිගැනීම් නිසා මරණයට නියම වන අය වේ. එක් තැනක මෙම වධකාගාරයට දෑස් බැඳ රැගෙන එන පාසල් නිළ ඇඳුම් හැඳි යෞවනයන් දෙදෙනෙකි. නම් මොනවාදැයි අසන වධකයන් හට නොසැලෙන හඬින් අයෙක් 'වෙනුර' කියයි. අනෙකා 'පද්මසිරි' කියයි.

රාජ්‍ය ප්‍රචණ්ඩත්වයෙන් ජීවිත පරිත්‍යාගී වූ විමුක්තිකාමී ත්‍රිමා සහ වෙනුර වැනි වීර නාමයන් එසේ සළකුණු කිරීම සුළුකොට තකනු බැරි දේශපාලන නිරූපණයන් ය.

 

5. මයිකල් මන්ත්‍රී, ඥාණෙ අයියා, ඕඅයිසී ධම්මික සහ යූඇන්පීයේ කළු ඉතිහාසය

ඉතිහාසයම අඟුරු කර ඇති විට ඒ මත සුදුහුණු ගෑම යුගයක ම අපේ කලාව වී තිබුණේ ය. මෑත ඉතිහාසය පදාස පිටින් ගිනිබත් කළ දේශපාලකයන්ගේ අගුපිල් මත තම නිදි පැදුරු එලූ කලාකරුවන් අප ඕනෑ තරම් දැක ඇත. එවන් තැනක මේ කළු ඉතිහාසය නිරූපණය වන සිනමා කෘතියක් මතුවූ විට එය නිතැතින්ම කැපී පෙනෙන්නේ ය.

මෙහි සිටින මයිකල් මන්ත්‍රී පැහැදිලිවම එක්සත් ජාතික පාක්ෂිකයෙකි. ජාතික ඇඳුම හැරුණු විට ඔහු බොහෝ විට මෙහි හැඳ සිටින්නේ ද කොළ පාට කමිස වේ. ඔහුගේ නිවස ඉදිරිපිට ජේආර්ගේ තඩි කටවුට් එකකි. ඔහුගේ ආලින්දය තුළ ජේආර්ගේ සහ ප්‍රේමදාසගේ රාමු කළ රූප දෙකකි.

මේ යූඇන්පී මන්ත්‍රියාගේ සියලු දාමරික වැඩ කරන්නේ ඥාණෙ අයියා ය. ඥාණෙ අයියා කප්පම්කාරයෙකි. කසිප්පු පෙරන්නෙකි. මයිකල් මන්ත්‍රී තැනකදී සඳහන් කරන නමක් ඉතා වැදගත් ය. ඒ 'ජයවික්‍රම ඇමති' යන නමයි. ජයවික්‍රම ඇමතිට චන්ඩි රොත්තක් ඕනෑ වී ඇති බව මයිකල් මන්ත්‍රී ඥාණෙට කියයි. ඒ මන්දයත් 'ලොක්කාට කෙසේ හෝ යාපනේ සංවර්ධන සභා ඡන්දය දිනන්නට' ය. මේ ලොක්කා ජේආර් බව අංශු මාත්‍රයක හෝ සැකයක් අපට ඇති නොවන ලෙස සිනමාකරුවා සියල්ල හෙළි කරයි. යාපනේ සංවර්ධන සභා ඡන්දය දිනනු වස් ජේආර් එලූ පැලෑනත් ඊට ජයවික්‍රම නම් කුරුණෑගල ඇමැත්තා අනගි සහයක් දුන් ආකාරයත් මෙරට කළු ඉතිහාසය සොයා කියවන විට අපට වැටහේ.

එසේනම් ස්වකීය දේශපාලන මාවත සාදනු පිණිස යාපනේත්, දෙමළාත් ගිනිබත් කරන්නට ජේආර්ලාට ජයවික්‍රමලාට ඕනෑ කරන චන්ඩි බිම් මට්ටමින් සපයන්නට මයිකල් මන්ත්‍රීලාත් ඥාණෙලාත් දායක වූ ඉතිහාසයේ පෙර අපර සන්ධි ලිහා ගනු පිණිස මෙතැන් පටන් ෆාදර් සිනමාපටය ද අපට සිනමා නිදර්ශනයක් කර ගත හැකි ය.

ග්‍රාමීය චන්ඩියා හෙවත් ඥානෙලාගේ භූමිකා අවසන් වූ තැන පටන් මයිකල්ලාගේ ඕනෑඑපාකම් ඉටු කරනු පිණිස ඕඅයිසී ධම්මිකලා වැනි පොලිස් නිළධාරීන් දත කෑ ආකාරය මඟින් එකී ඉතිහාසයේ වධක පොලිස් භූමිකා බොහෝමයක නම්ගම් අපට සිහි කරන්නේ ය.

ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ආණ්ඩු බලයට කෙළ හැලූ කාලයේ බිම් මට්ටමේ මන්ත්‍රී-චන්ඩි-පොලිස් වධකයෝ දෙමළාගේ රන් තැල්ලටත්, තරුණ තරුණියන්ගේ ලේමස් සුවඳටත් ඉව ඇල්ලූ වසන් කළ ඉතිහාසය මෙතුළින් අප ඉදිරියට නම් ගම් සහිතව ම පමුණුවන්නේ ය.

ඇතැම් චරිත සඳහා පරිකල්පිත නාම යොදා ගැනෙද්දී නිශ්චිත දේශපාලන ඉඟි කිරීම් සඳහා සත්‍ය නාම යොදා ගැනීමේ දේශපාලන වුවමනාව මේ සිනමාපටය ගිනිගන්නා සුළු එකක් කරවයි.

එසේ නමුත් ඒවා ගැඹුරු හා සංකීර්ණ දේශපාලන කථිකාවතක් සේ සිනමාපටය තුළ දිග නොහැර වසන් කළ දේශපාලන ඉතිහාසයක නිරූපිත සේ පමණක් මතුකිරීම වැඩි පිරිසක් එකී කථිකාවත වෙතට ඇතුළු කරවීමේ ශක්‍යතාව සහිත යැයි මට හැඟේ.

අනෙක් අතට සිනමාපටයක් සේ මෙතුළින් මැවෙන හැඩය සහ වර්ණය අතර මනා සහසම්බන්ධයක් තැනිය හැක්කේ 'ගැඹුරට යෑම' තුළින් වඩා 'නිරූපණය කිරීම' තුළින් යන අදහසට යැයි ද මට සිතේ. එලෙසම මෙහි එන අධිවේගී- සංක්ෂිප්තමය සිනමා ගුණය නොනැසී ඇත්තේ ද එනිසා ය.

අනෙක් අතට ඒවා දේශපාලන පෙනී සිටීම් හෝ සළකුණු කිරීම් ලෙස හෝ ගෙන අපට මෙරට ඓතිහාසික අධිකාරී බල ව්‍යුහ විසින් වසන් කර දැමූ නූතන ලාංකීය ඉතිහාසය වෙතට එඹෙන්නට කවුළුවක් සේ හෝ ඓතිහාසික ඝණ අන්ධකාරයක් දෙපළු කරනු පිණිස ගැසූ ටෝච් එළියක් සේ ගෙන අපගේ සංවාදය එලා ගත හැක්කේ ය.

 

561750756 4040094499635553 5443192927923151051 n

කර්තෘ - ක්‍රිස් ටෙලාන් සියඹලාපිටිය 

මෙම සටහන 'Chris Telan Siyambalapitiya' ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී.

 

 

 

kemadasa

Back to top
Go to bottom