-Subhashini Chathurika-
මීරා නායර් අප හඳුනාගෙන සිටියේ දක්ෂ ඉන්දියානු - ඇමරිකානු සිනමා නිර්මාණකාරියක ලෙසය. 'Salaam Bombay', 'Monsoon Wedding', 'Mississippi Masala' සහ 'The Namesake' වැනි ප්‍රේක්ෂකයාගේ මනසේ බොහෝ කල් මතකයේ රැඳුණු ප්‍රකට සිනමාපට වල නිර්මාණකාරිය ඇයයි.
එහෙත් පසුගිය දිනෙක(නොවැම්බර් 2025) ඇය පිළිබඳව ලෝකයේ අවධානය තදබල ලෙස නැවතත් යොමු වූයේ සිනමා කලාවේ සිදුවීමක් නිසා නොව, විදෙස් සංක්‍රමණිකයන් නගර ජනගහණයෙන් වැඩි භාරයක් දරන, නිව්යෝර්ක් නුවර නගරාධිතිවරයා ලෙස පළමුවරට දකුණු ආසියානු සම්භවයක් ඇති, අප්‍රිකාවේ උපත ලද සොහ්රාන් මම්දානි නම් මුස්ලිම් ජාතිකයෙකු පත් වීමත් සමඟ ය.
අවුරුදු තිස් හතරක් වයසැති මේ ලාබාල නගරාධිපතිවරයා වෙන කිසිවෙකුත් නොව මීරා නායර් සහ උගන්ඩාවේ සහ ඇමරිකා එක්සත්ජනපදයේ සේවය කළ මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන, පකිස්ථානු ජාතිකයෙකු වන මහමූද් මම්දානි ගේ එකම පුත්‍රයාය.
සොහ්රාන් මම්දානි සිය මව වන මීරා නායර් හා පියා වන මහමූද් මම්දානි සමග (2025)
සොහ්රාන් වැනි සංක්‍රමණිකයෙකු නිව්යෝර්ක් නුවර නගරාධිපතිවරයා ලෙස පත්වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සංක්‍රමණිකයන් පිටු දකිමින් ‘සුදු සුපිරිවාදය’ කර පින්නාගෙන ‘ශ්‍රේෂ්ඨ ඇමරිකාවක්’ ගැන සිහින මවමින් ලෝකයටම වදකාරයෙක් වී ඇති පසුබිමකය. එම නිසාම සොහ්රාන්ගේ නව පත්වීම ලෝකයම කළඹන සුලු පුවත් මවන්නක් බවට පත් වූයේය.
නිව්යෝර්ක් නුවර නගරාධිතිවරයා ලෙස පත් වූ සොහ්රාන් මම්දානි
“නිව්යෝර්ක් නුවර සංක්‍රමණිකයන්ගේ නගරයක් ලෙස පවතිනු ඇත: සංක්‍රමණිකයන් විසින් ගොඩ නඟන ලද, ශක්තිය ලබා දුන්, අද රාත්‍රියේ සිට සංක්‍රමණිකයන් විසින් පාලනය කරන නගරයක්.”
සොහ්රාන් ඡන්දයෙන් ජයග්‍රහණය කළ පසු මෙවැනි වදන් පවසමින් ට්‍රම්ප්ගේ අවිචාරවත් පාලනය අභියෝගයට ලක් කළේය. ඔහු ඇමරිකානු ජනතාවට පමණක් නොව සමස්ත ලෝක ප්‍රජාවටම නව බලාපොරොත්තුවක් ගෙන ආ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.
පහතින් දැක්වෙන්නේ, හාපර්ස්බසාර් ඩොට්කොම් වෙබ් අඩවියේ පළවුණු, ඉන්දියානු ඇමරිකානු ලේඛිකාවක වන මිරා ජේකොබ් විසින් මිරා නායර් සමඟ, ඇයගේ සිනමා ජීවිතය පිළිබඳව මෙන්ම තම එකම පුතුව උස්මහත් කළ සැටි කතාබහ කෙරෙන සංවාදයක සංක්ෂිප්ත සටහනකි.
මිරා ජේකොබ් : නිතරම බටහිර දෘෂ්ටිය විසින්, බටහිර නොවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා, එකඟතාවන්ට එළැඹීමට. එනම් ඔවුන් කියන්නෙ, මට සම්බන්ධයක් ඇති, මා දැක ඇති ලෝකයට අනුරූප දෙයක් පෙන්වන ලෙස. නමුත් ඔබේ චිත්‍රපට වලින් ඔබ අපට පෙන්වා ඇති ලෝකය ඉතාමත් අව්‍යාජයි. අප ඒ චිත්‍රපට වලට කැමති ඒ් නිසයි, ඒවා තුළ අපට අපව දැක ගත හැකියි. කොහොමද ඔබ, ඔබගේ දැක්මට අවංක වන්නේ?
මිරා නායර් : මගේ මුල් හරිම ශක්තිමත්, ඒ් නිසා තමයි මට ඉගිලෙන්න හැකියාව ලැබුණේ. මම ඉපදුනේ ඉන්දියාවේ ඔරිස්සාවල කුඩා නගරයක. වැඩිමහළු සහෝදරයන් දෙදෙනෙක් එක්ක මම උස් මහත් වුණේ. කුඩා කාලයේ බොහෝ විට තනිවම කාලය ගත කරන්න මට සිද්ධ වුණා. ඒ නිසා මට ශ්‍රේෂ්ඨ රුසියානු සහ ඉංග්‍රීසි සාහිත්‍ය කෘති කියවන්න අවස්ථාව ලැබුණා. මට අවුරුදු දොළහෙදි වගේ කුඩා කාලයේදී මගේ අරමුණ වෙලා තිබුණේ පොතක් ලියපු කුඩා නගරයක ජීවත්වන ලේඛකයෙක්ව සොයා ගන්න එක. එහි පිටුපස තිබුණු අදහස සමහරවිට, මම හිතන්න ඇති අපේ ඇත්ත කතාව කවුරු ලියාවිද? අපේ ඇත්ත කතාව කුමක්ද? වගේ දේවල්. ඉතින් මම මගේම චාරිකාවක ඉදිරියට ගියා. මම ලේඛිකාවක් ද? සිතුවම් ශිල්පිනියක්ද? සංගීතඥයෙක්ද? ඉතින් බොහොම නිහඬව, කිසිවකුගේ අනුදැනුමක් නැතිව මම ශිෂ්‍යත්ව වලට ඉල්ලුම් කළා. මාව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට තේරුණා, ඒ එක්කම වගේ මම තීරණය කළා මම එහි යන්නෙ නැහැ කියලා.
ඒ ඇයි?
මගෙ තාත්තා ඉන්දියාවේ අභිනව අගනුවර, ඒ කියන්නෙ එහි මං මාවත්, නිවාස වගේ දේවල් ගොඩනඟන්න දායක වුණු සිවිල් සේවකයන්ගෙන් කෙනෙක්. ඉතින් මම 1950 ගණන්වල ඒ කාලයට සහ ඉන්දියාවට නිදහස ලැබීම පිළිබඳ කාරණයට සෑහෙන්න ආශක්ත වෙලා හිටියෙ. මොකද ඒ් කාලයේ මතවාදයන් නිර්මාණය වුණේ, වසර සිය ගණනක් යටත් විජිත පාලනයේ වියගහ යට අරගල කරමින් සිටි රටක් නැවත ගොඩනැඟීම පිළිබඳවයි. ඔබ දන්නවා, ඉන්දියාව කියන්නේ, ඉස්සර මුස්ලිම්වරු, හින්දූන්, ක්‍රිස්තියානින් බොහොම සමීපයෙන් ජීවත් වූ රටක්. ඒ නිසා බ්‍රිතාන්‍යයන් පිළිබඳ මගේ හිතේ තරහක් තිබුණා.
ඇයි ඔබට ඇමරිකාවට එන්න හිතුණෙ?
ඇත්තටම හිනා යන කාරණයක් නිසා. දිල්ලි වලදි මම බලුවා 'Love story' කියලා චිත්‍රපටයක්. එහි ප්‍රධාන නළු නිලි දෙපළ වන ඇලි මැක්ග්‍රෝ සහ රයන් ඕ නීල්, පොහොසත් සශ්‍රීක වටපිටාවක් තියෙන විශ්වවිද්‍යාලය භූමියක බොහොම නිදහසේ කෙළි ලොල්ව කාලය ගත කරන දර්ශනය මගේ සිත තදින් ඇඳ බැඳ ගත්තා. මගේ පවුලේ අය සිවිල් සේවකයෝ. සල්ලි තිබුනු අය නෙමෙයි. ඉතින් මට එහි යන්න පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙන්නම ඕනෙ.
මම අවුරුදු 18 දී හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ආවා බොහොම නිදහසක් මනසකින් යුතුව. මාව සොයා ගැනීමේ උවමනාව මිස මට වෙන කිසිම සැලැස්මක් තිබුනේ නැහැ. මාව මෙහෙයවුණු එක ප්‍රතිපත්තියක් තමා, මම ආපු තැන පිළිබඳව අනික් අයගේ තිබුණු නොදැනුවත්භාවය නඩත්තු නොකිරීම.
ඇමරිකානුවෝ මගෙන් මෙහෙම දේවල් අහනවා: “ඉන්දියානුවන්ට කාර් තියෙනවාද?” එවිට මම කියනවා “ඔයා ආපුවම මම අලියෙක් එවන්නම් ගුවන් තොටුපළට” කියලා. (ඇය සිනාසෙයි). හණමිටි අදහස් හැමතැනම තියෙනවා. මම මෙහෙ ආපු 1976 වසරේදි තිබුණේ, අසිරිමත් නිදහස් ඇමරිකාවක්. ඇමරිකාවේ කවුරුත් මාව දන්නෙ නැහැ. ඔයාට ඔයාගේ ගමන යන්න පූළුවන් එකම විදිය ඒක තමයි.
මගෙ පොදු ධර්මතාව වුනේ එය, මා පැමිණි තැන ගැන නොසඟවා කීම, ඒවගේම මම ජීවත්වුණේ මිනිස් සමූහයන් දෙකකට මැදි වෙලා. මගේ චිත්‍රපටය Mississippi Masala බිහි වන්නේ ඒ අත්දැකීමට අනුව, කලු සහ සුදු ජන සමූහයන් දෙකක් අතර ජීවත් වූ දුඹුරු වැසියා. ඔවුන් අතර බෙදුම් රේඛා තිබුණා, ඒත් දුඹුරු පුද්ගලයෙකු ලෙස මට ඒවා අත්දකින්න ලැබුනෙ නෑ.
ඉතින් ඔබට පොඩි නිදහසක් සහ පොඩි පිළිගැනීමක් ලැබෙනවා, ඒත් බොරු වලවල් ගැනත් ඔබ දැනගෙන ඉන්න ඕනෙ.
සීසෝවක්, මම එය හඳුන්වන්නෙ එහෙමයි. මගේ චිත්‍රපට වලදී, මගේ අරමුණ වෙන්නෙ, සහමුලින්ම අනාවැකි පළකල නොහැකි, සංකීර්ණතා සහිත මගේ ලෝකය ඔබ වෙත ගෙන ඒමත්, ඔබ කවුරු උනත්, ඒ් ලෝකය තුළ ඔබව දකින්න සැළැස්වීමත්. Monsoon Wedding නම් මගේ චිත්‍රපටය කියන්නෙ සැබෑ ලෙසම, උමතු, ඝෝෂාකාරී පන්ජාබිවරු පිරිසක් මගේ කෑම මේසයේ වට උනාම දැනෙන දේ කියාපාන්නක්. චිත්‍රපටය නිර්මාණය කරද්දි ඒ සංවේදනයට අවංක උනාට, ඒ අත්දැකීම බ්‍රසීලයේ හෝ නවසීලන්තයේ ඉන්න කෙනෙකුට පවා පොදු දෙයක් බවට පත් වුනා.
මීරා නායර් අධ්‍යක්ෂණය කළ 'Monsoon Wedding' චිත්‍රපටයේ රූප රාමුවක්
සංස්කෘතියක් නියෝජනය කිරීමේ පළමුවැන්නා වීමේ පීඩනය පිළිබඳ ව අපි හිතුවොත්, අරුන්දතී රෝයිගේ The God of Small Things පොත එළි දැක්වුණාම මගේ නැන්දා කෙනෙක් මගෙන් ඇහුවා “ ඇයි එයා ව්‍යභිචාරය ගැන ලියන්නේ? මේ අපේ මිනිස්සු ගැන( සිරියානු ක්‍රිස්තියානි ජනතාව) ලියපු පළමුවැනි පොත, එතකොට අපි ගැන මුලින්ම දැන ගන්නේ මේ දේවල් වලින් ද?” කියලා
ඒ් දෙයම මටත් සිදු වුණා. මගේ පළමු නිර්මාණය Indian Cabaret (1985) චිත්‍රපටයට පාදක වෙලා තිබුණේ මුම්බායිවල රාත්‍රී සමාජශාලාවල අනඟ රැඟුම් දක්වන නාටිංගනාවෝ පිළිබඳව. මම ඒ් පිළිබඳව කතා කරද්දි ඉන්දියානුවෝ මා වෙත ඇවිත් කෝපයෙන් මෙහෙම අහනවා: “ඇයි ඔයා මෙහෙම කළේ? ඇයි ඉන්දියාව ගැන හොඳ චිත්‍රයක් අපට පෙන්වන්නෙ නැත්තේ? ඇයි ඔයාට මං වගේ මිනිස්සු ගැන කියන්න බැරි? මම ඩොක්ටර් කෙනෙක්. මම පාර්ෂ එකක් පදිනවා. “එතකොට මම කියනවා, පාර්ෂ එකක් පදින ඩොක්ටර් කෙනෙක්ව මගෙ හිතට අල්ලා ගියොත් ඒ මොහොතෙම මම එතන.” කියලා.
මීරා නායර් අධ්‍යක්ෂණය කළ 'Mississippi Masala' (1991) චිත්‍රපටයේ රූප රාමුවක්
'Mississippi Masala' චිත්‍රපටය හැදුවට පස්සෙ මිනිස්සු මාව හඹා එන්න පටන් ගත්තා. ඉන්දියානු පිරිමි මගෙන් අහනවා, “ඇයි ඔයා හිතන්නෙ හැම කළු මිනිහම ඩෙන්සල් වොෂින්ටන් කෙනෙක් කියලා? ඔයාට ඕනෙ අපේ දූවරු කළු මිනිස්සු කසාද බඳින්න ද?” කියලා
ඉන් ඇඟවෙන්නෙ Mississippi Masala චිත්‍රපටය හරහා ඔබ ඉන්දියානු ප්‍රජාව අතර තියෙන ජාතිවාදය හෙළිදරව් කරනවා කියන එක. මගෙ Good Talk කෘතිය තුළින් මමත් ඒ දේම කරනවා, මමත් ඉන්දියානුවන්ගේ සහ ඇමරිකානු - ඉන්දියානුවන්ගේ විවේචනයට බඳුන් වෙනවා. “ අප අවදානම් තත්වයක සිටිද්දීත් ඇයි ඔබ අපේ නරක පැත්තම පෙන්වන්නේ? ඉතින් මම දැන් එය ඔබෙන් අහනවා, ඇයි ඔබ එසේ කරන්නේ?
“නරක පැත්ත පෙන්වනවා” කියද්දි ඉන් ඇඟවෙන්නේ ඔබ පිටස්තරයෙකු ලෙස සිතනවා කියන එක. ඔබ දිහා බලන්න. මම එය නෙමෙයි කරන්නෙ. මම පළමුකොට චිත්‍රපටය නිර්මාණය කරන්නෙ මගේ සමට යටින් ඇති දේ පිළිබදව. එය මාව තදින් අල්ලා ගෙන සිටිනවා. මගේ සම, එය සෑම විටම මගේ ඇත්තම මිනිසුන් පිළිබඳව යමක්.
මාතෘත්වය ලබන්න ඔබව මෙහෙය වූයේ කුමක්ද?
කොහොමද ඒක කියන්නෙ? කවදාවත් කිසිම සැලැස්මක් තිබුණේ නැහැ. එය ඉබේම සිදු වුණා.
ඔබ ඒ බව දැනගත් විට ඔබට දැනුනේ කුමක් ද?
ප්‍රීතියෙන් ඉපිල ගියා.
ඔබට අම්මා කෙනෙක් වීමේ උවමනාව හැමදාම තිබුණද?
සත්තකින්ම.
මීරා නායර් (Mira Nair) සහ මහමූද් මම්දානි (Mahmood Mamdani) ඔවුන්ගේ බිළිඳු පුත් සොහ්රාන් මම්දානි (Zohran Mamdani) සමඟ.
මුස්ලිම් සහ හින්දු දෙමාපියන්ට දාව දරුවෙක් මේ ලෝකෙට බිහිකරද්දි, ඒ ජාතින් දෙක අතර පවතින නිරන්තර ආතතිය නිසා තරමක හෝ බියක් දැනුනේ නැද්ද?
එක මොහොතකටවත් නැහැ. මගෙ පවුල හැබෑවටම විශ්මය ජනකයි. අපි බිහි වෙන්නේ, විශේෂයෙන් ආගමික නොවූ එහෙත් සංස්කෘතීන් මුසු වූ පසුබිමකින්. මම මහ්මූද්ව(සොහ්රාන් ගේ පියා) මගේ පවුලේ අයට හඳුන්වා දෙද්දී හින්දු/ මුස්ලිම් කාරණයට විරුද්ධව කිසිම වචනයක් මට ඇහුනේ නැහැ.
වෘත්තීමය වශයෙන් ගත්තොත්, රූගත කිරීම් සමහරවිට පැය 15ක් දක්වා විතර දිග්ගැස්සෙන දවස් තියෙනවා. ඔබට ඒ් සඳහා ඔබේ පවුලෙන් ලැබුණු සහයෝගය මොන වගේද?
සොහ්රාන් ඉපදුනේ නිව්යෝර්ක් නගරයේ නෙමෙයි. අපි නිව්යෝර්ක් වල ජීවත් වුණේ තනි කාමරයක. ඒ නිවසේ මගේ අම්මට, නැන්දම්මට නවතින්න ඉඩක් තිබුනේ නැහැ. අපේ සම්ප්‍රදාය තමයි දරුවෙක් ඉපදුනාම ඒ් දරුවගේ අම්මා, පළමු දින හතලිහේ දරුවව රැක බලාගන්නේ තමන්ගේ අම්මලා සමඟ එකතු වෙලා. ඒ් නිසා දරුවා ඉපදුනේ උගන්ඩාවෙදි. ඒ් නිසා අම්මලාට හැකි වූණා මාත් එක්ක ඉන්න.
එය වඩාත් අරුත් දනවන සුළුයි.
ඒකෙ මොන අරුතක්වත් නෑ. ඕක කරන්න සිවිල් යුද්ධයක් තියෙන උගන්ඩාවට යන්න සිදුවුණු එක විකාරයක්. ඒත් ඒක එහෙම තමයි සිද්ධ වුණේ.
ඉතින් මට විශ්මයජනක ලෙස උදව් ලැබුණා, එවැනි ආකාරයේ උදව් ජිවිත කාලය පුරාමත් මට ලැබුණා. ඒ් නිසා තමයි අම්මා කෙනෙක් වෙලා ඉන්නාවිටත්, ඉන් පස්සේත් මම මගේ වෘත්තීමය කාර්යයන් නැවැත්වූයේ නැත්තෙ. මම වැඩට යද්දි කැරවෑනයක මගේ දෙමව්පියන් තිදෙනෙක් මාත් එක්ක කැඳවාගෙන යනවා: මගේ අම්මා, මගේ නැන්දම්මා සහ මාමණ්ඩි. මගේ අම්මත් මගේ මාමණ්ඩිත් අපිත් එක්ක අවුරුදු විසිපහක් ජිවත් වුණා. ඉතින් අපි නිව්යෝර්ක්, කම්පාලා හෝ ඉන්දියාව වගේ කොතැනක ජිවත් වුවත් සොහ්රාන් වැඩුනේ පරම්පරා කීපයක් මැද්දෙ.
ළමා වියේ පසුවන සොහ්රාන් මම්දානි ඔහුගේ මව වන මීරා නායර් සමඟ.
ඔබ හිතන්නෙ ඔහුට එය මොන විදියට ද බලපාන්න ඇත්තේ?
ඔහුට එය ඉතාමත් ගැඹුරින් බලපෑවා. මම නිතරම හිතනවා ඇමරිකානු ජීවිතය තුළ දක්නට ඇති ලොකු අඩුපාඩුවක් තමා පරම්පරා අතර සැබැඳියාවක් නැතිකම. ඉන්න මම පෙන්වන්නම්.
( ඇය අවුරුදු 17ක් වයස සොහ්රාන් සහ අවුරුදු අසූහයක් වයස සීයාගේ පින්තූර සහිත ඇල්බමයක් ඇය මට පෙන්වන්නීය. ඔවුන් දෙදෙනා අතර ඇති සමීපබව සෑම ඡායාරූපයකම පැහැදිලිවම දිස් වෙයි : ඔවුන් ගෙල වටේ දෑත් පටලා ගෙන ඇත, සෝෆාව මත එකිනෙකාට තුරුළු වී සිටිති, ඡායාරූප රාමුවෙන් පිටතට පනින්නට තරම් විශාලව එකට සිනා සෙති.)
ඔයා දකින්නෙ, මේක තමයි අපේ ජීවිතය. මේ මගේ අම්මා, මේ මාමණ්ඩි. මේ මගේ ඥාති පුතා. අපි ජීවත්වුනේ මෙහෙම තමයි.
ඉතින් ඔහු මහජන සේවයේ භූමිකාවන් වෙත පියවර තබද්දී, ඔබ ඔහු තුළ එවැනි නැඹුරුවත් පිළිබඳ අදහසක් පැවැතියා ද? එය ඔහුගේ පෞර්ෂය සමඟ සමපාත වෙන බවක් ඔබ දුටුවාද?
ඔව්. ඔහු මුලින්ම නිවාස පිළිබඳ නීති උපදේශකයෙක්. එය ඉතාමත් වැදගත් අවස්ථාවක් මොකද දේශපාලනය තුළ ඔහුට වැඩෙන්න ඉඩ සැලසුනා. නිව්යෝර්ක් නුවර විශේෂයෙන් සංක්‍රමණිකයන් නිවසක් ලබා ගැනීමට කරන අරගලය සමඟ ඔහු ඉතාමත් සමීපව වැඩ කළා. එම නිසා ඔහුට එම ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කරන්න හැකි වුණා. වසර අවසානයේදී ඔහු තේරුම්ගත්තා වයසක මාමා කෙනෙකුට ෆෝර්මයක් පුරවන්න උදව් කරනවාට වඩා ප්‍රතිපත්ති වෙනස් කිරීම වඩාත් ප්‍රතිඵලදායකයි කියලා. ඒ් වැටහීම ඔහුව වෙනත් ජන්ද අපේකෂකයන් දෙදෙනෙකු සඳහා ප්‍රචාරක කළමනාකරුවකු ලෙස ක්‍රියා කරන්න මෙහෙය වූවා, ඉන් අනතුරුව ඔහු DSA ( Democratic Socialist of America - ඇමරිකාවේ විශාලතම සමාජවාදී සංවිධානය) සංවිධානයට බැඳිලා අනිත් ඡන්ද අපේකෂකයන්ගේ ප්‍රකාශක කටයුතු මෙහෙයවන්නකු බවට පත් වෙලා ඔහු ඒ තුළින් ඉගෙන ගත්තා. 2020 වසරේ ඔහු ජීවත්වුනු, බහුතර ග්‍රීක ප්‍රජාවක් දක්නට ලැබෙන, ඇස්ටෝරියාවේ ව්‍යවස්ථාදායක සභාව තුළ සාමාජිකයකු ලෙස තේරි පත් වුණා. ඒ එක්කම කොවිඩ් ආවා. සොහ්රාන් ගේ ලොකුම සම්පත තමයි වුණේ ජනතාව මුණ ගැහෙන්න අවස්ථාව තිබුණ එක. නමුත් කොවිඩ් කාලෙ ඔහුට එය කරන්න නොහැකි වුණා. ඉතින් ඔහු අප වෙත ආවා.
අපි ගොඩක් භාෂා දැන සිටියා, ලිව්වා සහ කතා කළා. අපි එයාගේ දෙමව්පියන් විදියට සිය ගානක් තැපැල්පත් ලිව්වා. ඔහු දුන්න නොම්මර වලට අපි දුරකතන ඇමතුම් දුන්නා. ඒවා තුළින් විශ්මයජනක වගේම හාස්‍යජනක හමුවීම් සිදුවුණා. අපි ඒ ප්‍රජාව වෙතට ගියේ එහෙමයි.
ඔහු නිව්යෝර්ක් නුවර නගරාධිපති අපේක්ෂකයකු ලෙස තරඟ කරනවා යැයි කියූ විට එය ඔබට දැනුනෙ කොහෛාම ද?
මට එකපාරටම කතා කරගන්න බැරි වුණා, මොකද හැම අර්ථයකින්ම එය විශිෂ්ඨ දෙයක්.
ඔහුට දැඩි විවේචන එල්ල වුණා ඔහුගේ ලාබාල වයස සහ අත්දැකීම් අඩුකම පිළිබඳව. ඔබගේ පළමු චිත්‍රපටය සලාම් බොම්බේ ඉහළ සාර්ථකත්වයක් ලැබුවා. එය Camera D’or සහ ප්‍රේක්ෂක සම්මානය දිනා ගත්තා. ඇකඩමි සම්මානයට නම් කරනු ලැබුවා. ඔබ එවැනි සාර්ථකත්වයකට සූදානම් වී සිටියා ද?
මේ ප්‍රශ්නය මට උදව්වක් වෙනවා ඔබ මීට කළින් අහපු, ඔහු නගරාධිපති ධූරයට තරඟ වදිනවා යැයි කියූ විට මට දැනුනේ කුමක් ද යන ප්‍රශ්නයට හොදින් පිළිතුරු සපයන්න.
එකපාරටම මගේ හුස්ම හිරවුණා, ඒත් මම ඒ ගැන සිතා බලන විට, ඔහුගේ පියා, විශිෂ්ට ග්‍රන්ථ දෙකක් ලිව්වෙ ඔහුට වයස අවුරුදු 30 දි කියලා මට සිහිපත් වුණා.
මීරා නායර් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ 'Salaam Bombay'(1988) චිත්‍රපටයේ රූප රාමුවක්
ඊට පස්සෙ මම හිතුවා, මම සලාම් බොම්බෙ චිත්‍රපටය හදද්දී මගෙත් වයස අවුරුදු 30 යි. ඒ ජිවිතයේ ඔබ අවදානම් තත්වයන් බාර ගන්න කාලයක්. මම නිතරම, වයස අවුරුදු විස්සේ තිහේ පසුවන අයට කියන්නේ මේ ඔයාලගේ මොහොත. අවදානම බාරගන්න! සම්පූර්ණයේ ජිවත්වන්න! ඒ මොහොත අල්ලගන්න! මම තව වයසට ගියාම, තව පරිණත උනාම මේ දේ කරනවා, අර දේ කරනවා කියලා කල් දාන්න එපා. මොකද ඒ වෙද්දි කිසියම් රටාවක් ජිවිතයේ ස්ථාපිත වෙලා ඉවරයි.
දෙමව්පියන් දරුවන්ට කියා දෙනවා, පැසිස්ට්වාදයේ නැඟීම, ගෝලිය උණුසුම වැඩිවීම වැනි කරණා නිසා මේ ගෙවී යන කාලය කොතරම් බියකරු ද යන කාරණය පිළිබඳව. ඔබගේ පුතාගේ පැවැත්මේ ඇති සිත් සනසන කාරණය තමයි, ඒ ගැටළු ඔහුව බියට පත් කරන්නේ නැහැ, ඔහු ඒ ගැටළු වෙත තාර්කිකව ප්‍රවේශ වනවා. ඔහු කියනවා ඒ ගැටළුවලට විසඳුම් තිබෙනවා කියා. ඔහු ජීවත්වන ලෝකය තුළ කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳ ඔබ මොනවගේ දේවල් ඔහු සමඟ බෙදා ගෙන තිබෙනවාද?
අපි ඉතාමත් බරපතල ලෙස දේශපාලනික අය. මහමූද් ගේ පොත් සේරම වාගේ පශ්චාද් යටත්විජිත කෲරත්වය පිළිබඳ ලියැවුණු ඒවා. ඔබ දන්නවා මගේ චිත්‍රපට කියන්නෙත් ඉරිදා හවස බලන සැහැල්ලු කතා පදනම් කරගත් ඒවා නෙමෙයි කියලා.
අපි මොනවද කරන්නේ, අපි මොනවා ගැන ද කතා කරන්නෙ, අපි නොසතටුට පත් වෙන්නේ මොන හේතු නිසාද, අපි තරහ ගන්නේ මොනවට ද යන කාරණා ඔහුටත් කා වැදුණා. මහමුද්, දකුනු අප්‍රිකාවේ, අප්‍රිකානු අධ්‍යයනයන් පිළිබඳ අධ්‍යක්ෂකවරයෙක් විදියට පත්වුණා. ඒ කාලයේ මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා. ඔවුන් උත්සාහගනිමින් සිටියා අප්‍රිකාව පිළිබඳ තේරුම් ගන්න. එය කිසියම් ආකාරයක ක්ෂිතිමය කාලයක්, මොකද අප්‍රිකාව පිළිබඳව ඉගැන්වුනු දේවල්වල පදනම් මහමූද් ප්‍රශ්න කලා. ඔහු ඒ පිළිබඳ කතා පැවැත්වූවා, මිනිස්සු පොදිකා ගෙන ඒවා ඇහුවා. ඔහු අප්‍රිකානු බුද්ධිමතුන්ගේ හා විද්‍යාර්ථින්ගෙ මත බොහොමයක් සොලවා දැමුවා, නමුත් ඒවා සුදු දකුනු අප්‍රිකාව නොසලකා හැරියා.
ඉතින් සොහ්රාන්ට ඒ වෙද්දි හයක් හෝ හතක්. මට මතකයි ඔහුත් සිටියා ඒ රැස්වීම් ශාලාවක, එය විශාල ප්‍රේක්ෂාගාරයක්. මහමුද් කතා කරනවා. සොහ්රාන් එකවරම මට කියනවා “අම්මා මේක ෂෝක් ප්‍රසංගයක්” ඉතින් ඔහු අපිත් එක්ක උන්නා, හැමවෙලේම. අපි ඔහුව ඉන් ඈත් කලේ නැහැ.
ඔහු ඔබ ගැන වද වෙනවා ද?
ඔව් ඇත්තටම. මේ උන්මත්තක ලෝකයක්. ඔහු ඔහුගේ සාමාන්‍ය ජීවිතය කැප කරමින් සිටිනවා. නමුත් ඔහු වඩාත් මාහැඟි යමක් කරාවි. එය ඉතාමත් විශිෂ්ඨ දෙයක්.
ඔබගේ පුතා වැනි චින්තකයන් බිහිකරන්න කැමති දෙමව්පියන්ට ඔබ දෙන්න කැමති උපදේශය කුමක් ද?
සොහ්රාන් හැදී වැඩුනේ අපේ ආදරය තුළ පමණක් නොවෙයි, ඔහු හැදී වැඩුනේ පරම්පරා කීපයක් ජීවත්වුණු පවුලක ආදරය ලබමින්. ඔහු කවුද කියන එක තුළ ඔහු ඉතා ආරක්ෂිත වුණා. ඔහු ජයග්‍රණය කළ රාත්‍රියේ, ලෝකයට බලාපොරොත්තුවක් ගෙන ආ ඒ පුද්ගලයාව අපි ගොඩ නැංවීම පිළිබදව ඔහු තුළ දැවැන්ත ආඩම්බරයක් සහ කෘතවේදී හැඟිමක් ඔහු තුළ තිබුණා. ඔහුට ඒ සඳහා අවශ්‍ය ධෛර්යය තිබෙනවා.
මීරා නායර් සහ ඇයගේ පුත්, නිව්යෝර්ක් නගරයේ අලුතින් තේරී පත් වූ නගරාධිපති සොහ්රාන් මම්දානි
(මේ මොහොත අප දෙදෙනාගේම දෑස් කඳුළින් තෙත් වූයේය. ඇයට ඒ සම්බන්ධයෙන් බොහෝ හේතු ඇති අතර මා සම්බන්ධයෙන් පැහැදිලි කරන්නේ නම්, සොහ්රාන් නගරාධිපතිධූරය භාරගනිමින් කළ කතාව අප ඇසූ සැටි මට සිහිපත් වෙයි. අප එය නරඹන විට, නව යොවුන් වියේ සිටින මගේ පුතා පැමිණ මා වැළඳගත්තේය. අනෙක් පසින් බංගලාදේශයෙන් සහ ශ්‍රී ලංකාවෙන් පැමිණි මිතුරු මිතුරියන්ය. ඔහු අපව ඔහු වෙත ඇඳ බැඳ තබාගත්තේ ඔහු ද අපෙන් එකෙක් බවට, නිව්යෝර්ක් නුවර වැසියෙක්, ආඩම්බරකාර සංක්‍රමණික පුත්‍රයෙක් බවට පත් වෙමිනි)
එය ඉතාමත් සුන්දර හැඟීමක්.
ඔව්! එය ඉතාමත් සුන්දර හැඟීමක්.

පරිවර්තනය සහ ලිපි සම්පාදනය - සුභාෂිණී චතුරිකා
(මෙය ලිපිය මුල්වරට අනිද්දා පුවත්පතේ 'දේදුන්න' අතිරේකයේ පළවිය.)



