-Malintha Vithanage-
සිනමා කර්මාන්තයක පැවැත්ම කෙරෙහි ප්‍රේක්ෂකාගාරය ප්‍රබෝධමත් කරන නව අන්තර්ගතයන්ගෙන් සංලක්ෂිත සිනමා නිර්මාණ ඉටු කරන කාර්යභාර්ය තීරණාත්මක ලෙස වැදගත් ය.
චම්න්ද ජයසූරිය ලාංකේය සිනමාවට අත්පොත් තබමින් නවමු අධ්‍යක්ෂවරයකුගේ කුළුඳුල් අධ්‍යක්ෂණය ලෙස "ෆාදර්" චිත‍්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකාගාරය වෙතට කදිම සහ නවමු අන්තර්ගතයක් ගෙනැවිත් තිබේ.
ප්‍රථමයෙන්ම "ෆාදර්'' චිත‍්‍රපටය ස්ථානගත කළ යුතුවන්නේ කෙසේද? යන්න පිළිබඳ අවධානය යොමුකළ විට එය හොඳ සිනමාපටයක ලක්ෂණ ප්‍රකට කරන චිත‍්‍රපටයක් ලෙස හැඳින්වීම උච්ත ය. Crime - Gangster - Drama ශානරයේ සිනමාපටයක් ලෙස "ෆාදර්" සිනමාපටය සාර්ථක චිත‍්‍රපටයක් වන්නේ කෙසේද? යන්න අවධානය යොමු කිරීම වැදගත් ය.
ප්‍රේක්ෂකාගාරය දැනටමත් දන්නා කතාව රූපයට නඟා ඇත්තේ කෙසේදැයි දැනගැනීමට කුතුහලය දල්වමින් අති සාර්ථක ලෙස තිරගතවන "ෆාදර්" සිංහල චිත‍්‍රපටය ස්ථානගත කළ යුතු වන්නේ ලාංකේය ක්‍රියාදාම (Action) ශානරයට ආසක්ත ප්‍රේක්ෂකාගාරයක් මැනවින් හඳුනාගත් සිනමාපටයක් ලෙසිනි. ලාංකේය ක්‍රියාදාම චිත‍්‍රපට විලාසය නව මඟකට රැගෙන ආ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ "ගිනිඅවි සහ ගිනිකෙළි" පළමු චිත‍්‍රපටය මෙහිදී මතකයට නැංවෙයි.
"ෆාදර්" චිත‍්‍රපටය දේශපාලනික සහ සාමාජීයමය වශයෙන් සත්‍ය කතාවක් පෙරදැරි කරගත් සිනමා නිර්මාණයකි. ලාංකේය සමාජ ඉතිහාසය තූළ සුප්‍රකට ලෙස ලියවුණු වවුල්කැලේ ඝාතනය ද ඔස්මන්ඩ් ගුණසේකර නමැති සැබෑ චරිතය වටා සිනමාපටයේ කතා පුවත ගෙතෙන්නකි. ඊට පසුබිම්න් එවකට දේශපාලන සිදුවීම් ද නිරූපණය වෙයි. ජනපති ජේ. ආර් ජයවර්ධනගේ රජය යටතේ සිදු වූ දේශපාලනික - සාමාජිය ඛේදවාචකයන් වඩාත් තීව්‍ර ලෙස පෙන්වයි. 1970 දශකයේ සමකාලීන ලාංකික ඉතිහාසයේ නීතිය, යුක්තිය, සාධාරණය අමු අමුවේ වනසා අවිචාර සමයක් නිර්මාණය වූයේ තරගයට එකිනෙකා, සාමූහික ලෙස මරා ගනිමිනි. සිනමාපටය සඳහා කළු ජූලිය, ජවිපෙ කලබලකාරී සිදුවීම්වලට දේශපාලන ප්‍රචණ්ඩත්වය හරහා නාටකීය වටිනාකමක් ලබා දී ඇත.
සාපරාධි අපරාධකරුවෙකු වීම සඳහා සිනමාකරුවාට බල කර සිටින "ෆාදර්" අධ්‍යක්ෂවරයාගේ ආධ්‍යාෂය (Director Intention) කූටප්‍රාප්තිමය අවස්ථාව ඉස්මතු වෙයි. ජනතාවගේ අතීතකාමයත් සමඟ තදින් ඇලුණු ප්‍රචණ්ඩත්වය, පළිගැනීම (Revenge) තේමා කොට ගන්නා "ෆාදර්" චිත‍්‍රපටය ප්‍රේක්ෂකයා සැබෑව (Real) අත්විඳින්නට අධ්‍යක්ෂවරයා දරා ඇති නිර්මාණාත්මක වෙහෙස කැපී පෙනේ. යුක්තිය එදිරිව පළිගැනීම සිනමාකෘතියෙන් සාකච්ඡාවට බඳුන් වෙයි. ප්‍රධාන තේමාවක් වන්නේ දුක් විඳ ඇති අයටම අලුගෝසුවන් වීමට සදාචාරාත්මක අයිතියක් තිබේද? යන්නයි. ප්‍රචණ්ඩත්වයේ සහ පළිගැනීමේ චක්‍ර ප්‍රශ්න කිරීමක් සිනමාපටය තුළ සිදුවෙයි. ශරීරය (Body) සහ දේශපාලනය (Politics) අතර අන්‍යාන්‍ය වශයෙන් පවතින බැඳීම පිළිබඳ අර්ථකථනයක් සපයන්නට සිනමාකරුවාට වුවමනා වී ඇත.
බටහිර සිනමාව සහ ඉන්දියානු සිනමාව තුළ ගොඩ නැඟෙන වීරත්වය සහ එකී වීරයන් මොහොතින් මොහොත රොමාන්තිකරණයට ලක් වෙයි. "ෆාදර්" චිත‍්‍රපටයේ එන වීරයා එසේ රොමාන්තිකරණය කරන්නට අධ්‍යක්ෂවරයාට උවමනා වී නැත. වීරයාගේ යුක්තිය වෙනුවෙන් ආත්මීය අරගලයේ ස්වභාවය තීව්‍ර කිරීම සිනමාකරුවාගේ අරමුණ වී ඇත. එම නිසාම සුපුරුදු වට්ටෝරුවේ තැනෙන බටහිර හෝ ඉන්දියානු චිත‍්‍රපට රැල්ලෙන් මිදෙන්නට "ෆාදර්" චිත‍්‍රපටයට හැකි වී තිබේ. "ෆාදර්" අපටම අනන්‍ය ක්‍රියාදාම චිත‍්‍රපටයක හැඩය ගැනීම වැදගත්වන්නේ ය. ලාංකේය නූතන සිනමාව තුළ ක්‍රියාදාම සිනමා ශානරයක හැඩරුව සිනමාකරුවා විසින් යෝජනා කරති.
සමාජ සංස්කෘතිය ද දේශපාලන සංස්කෘතිය ද තිර පිටපත තුළ එකම තලයක ද ළයමානයකින් යුතුව නිරූපණය වීම ප්‍රේක්ෂකයා අසුනේ රඳවාගන්නට හේතු වී තිබේ. රිපිටර්, පිස්තෝල, කඩු, කිණිසි, පිහි, දැකැති, මන්නා ප්‍රහාර අපේ දේශපාලන සංස්කෘතියේම අතුරු ඵල වේ. බටහිරින් මෙරටට බට ජේමිස් බෝන්ඩ්ලාගේ, ඊතන් හන්ට්ලගේ, ජේසන් බෝන්ලගේ, ඩොන්ලගේ, විටෝ කොරලියන්ලගේ සටන් බිමට වඩා ඩෙස්මන්ඩ්ගේ පාතාල ලෝකයට එබී බලන්නට සමාජය ආශාව දක්වයි. තුම්මුල්ල පද්මේලගේ සිට කෙහෙල්බද්දර පද්මේලාගේ පාතාල ලෝකයට එබී බලන්නට ප්‍රේක්ෂකයා ආශා කරති. "ෆාදර්" මෙරට සිනමා වෙළඳපොළ තුළ සාර්ථකවන්නේ සිනමාකරුවා මෙම ආශාවට ගැළපෙන පරිදි විශ්වසනීයත්වයෙන් යුතු ආඛ්‍යානයක් නිර්මාණය කර ඇති අවංක සිනමාපටයක් වන නිසා ය.
නළු පූජන දන්දෙණියගේ සිට සෞම්‍ය ලියනගේ දක්වා සියළු නළු නිළියන් ඔවුන්ගේ භූමිකාව නිසියාකාරයෙන් ඉටු කර තිබීම චිත‍්‍රපටය සාර්ථක වීමට ප්‍රධාන සාධකය බවට පත් වී ඇත. නිදර්ශනයක් ලෙස නළු සනත් විමලසිරි වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ අති දක්ෂයෙකි. ධනංජය කරුණාරත්නගේ "සිහින රඟහල" වැනි යථාර්ථවාදී නාට්‍යයක් නැරඹූ ප්‍රේක්ෂකයා ඔහුගේ රංගනයේ පරිමාව කෙතරම් දැයි දනී. "ෆාදර්" සිනමාපටයේ සනත් විමලසිරිගේ පොලිස් ස්ථානාධිපතිගේ කෙටි රංගනය සිනමාපටය පුරා ආකර්ෂණයට ලක්වන්නේ ඔහුගේ රංගනයේ පරිමාව ප්‍රදර්ශනය කරමිනි. "ඥාණේ" නම් පාදඩ චරිතය ජගත් මනුවර්ණ මෙතෙක් කළ භූමිකාවන්ට වඩා වෙනස් චරිත ස්වභාවයකට පිවිසේ. පූජන දන්දෙණියගේ කටහඬේ ඇති ගුණය, ආවේණිකත්වය, මුහුණේ මතු කෙරෙන ඉංගිත හරහා අනාගතයේ ලාංකේය සිනමාවේ ප්‍රතිභාවිත රූපණවේදියකුගේ අනාවැකි ප්‍රකට කරයි.
සිනමාපටයේ තේමාව, යථාර්ථය ගවේෂණය, ප්‍රකාශ කර ඇති ආකෘතිය, රූප සංරචනය, භාවිත සිනමා තාක්ෂණය යනාදි ක්ෂේත්‍ර තුළ අනන්‍යතාවයක් ගොඩ නඟාගෙන තිබේ. තිර පිටපත සුසාධිත තිර පිටපතක ලක්ෂණ පෙන්වයි. දෙබස් අරුත්බර ය. ධිවනිතාර්ථ නඟනසුලු ය. සිදුවීමක් ගොඩනැඟීමේ දී දෙබස් ප්‍රබල ව භාව්තා කරන අවස්ථාවක් ලෙස ගම්පහ පොලිස් ස්ථාන අවකාශයේ සිදුවීම අවධානයට ලක් වෙයි. එම යුගයේ විශ්වසනීයත්වය තහවුරු තහඩුව මත ලැකර්වලින් ඇඳෙන වර්ණවත් ෆොනුරූ ද (Font), අලියා ගිනි පෙට්ට්ය ද, අරක්කු බොන අශෝක වීදුරුව ද සිනමා රූපය තුළ ස්ථානගත කිරීම අධ්‍යක්ෂවරයාගේ සහ කලා අධ්‍යක්ෂවරයාගේ නිර්මාණශීලිත්වය ඉස්මතු කරන සාධකයෝය. මිසොන් සෙන් (mise en scene) හෙවත් දර්ශනය (Scene) තුළ තත්වයන් මනා ලෙස සකස් කිරීම හරහා එම යුගය ද චරිත ද විස්තර කරයි. පසුබිම් සංගීතය සහ ගීත පෙළ චිත‍්‍රපටයට ලබා දී ඇත්තේ කතා සාරයට ආවේණිකබවකි. චාමර වීරසිංහ ගායන කරන "පරසතු යාය" ගීතය ප්‍රේක්ෂකාගාරයේ අවධානයට නතු වේ.
නිදර්ශනයක් ලෙස ඩෙස්මන්ඩ්ගේ වෙඩි පහරට ලක්වන මොහොතේ නිවෙස තුළ කෑ මොර දෙන යුවතියගේ විලාපයේ රූපයට ජේදනය වන බිත්තියේ එල්ලා ඇති ඒ.සී.ජී.එස් අමරසේකර චිත්‍ර ශිල්පියා ඇඳි 'යකැදුරාගේ දියණිය' තෙල් සායම් සිතුවම වැදගත් ය. කලා අධ්‍යක්ෂණය විසින් චිත්‍රපටයට අවශ්‍ය පරිසමාප්ත බව නිතරම පෙන්වයි. විශ්වජිත් කරුණාරත්නගේ සිනමා කැමරාව මෙහෙයවීම විශිෂ්ට කාර්යයක් බවට පත්කර ඇත. චිත්‍රපටය පුරාවටම ආලෝකකරණය විසින් රූපයට අවශ්‍ය ගැඹුර ලබා දීමට යොදා ඇති වෙහෙස කැපී පෙනෙන කරතව්‍යයකි. රූපමය සත්කාරය සමඟ යාවෙන ශබ්දමය සත්කාරය ද සිනමාත්මකබවින් පොහොසත් කරයි.
අධ්‍යක්ෂකවරයාගේ තාක්ෂණික දැනුමත්, සිනමාත්මක භාවිතයත් චිත්‍රපටයේ සන්දර්භයට ගැළපෙන පරිදි හසුරුවා තිබීම ඉතාම ඉහළ මටිටමක පවතී. කුළුදුල් නිර්මාණයක පවතින නැවුම් බව ද සමඟින් එක් පසෙකින් චම්න්ද ජයසූරිය චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකාගාරයේ අවුස්සාලන්නේ අතීත, වර්තමාන සහ අනාගත යන කාල ත්‍රිත්වයේ සිටින දේශපාලනික සත්ත්වයාගේ ජීවිතයයි. සිනමාපටය ඕනෑම ප්‍රේක්ෂකයෙකුට ගෝචර සිනමා විලාසයක පිහිටීම ප්‍රකට කරන නිසාම 100% කිසිදු සිනමා ශානරයක් වෙතින් ආභාසය නොලබා ලාංකේය සිනමාපටයක් ලෙස ස්ථානගත කිරීමට හැකි වීම ප්‍රශංසාවට ලක් කළ යුතු කාරණාවකි. එම නිසාම සිනමාකරුවා තම ප්‍රථම චිත‍්‍රපටයෙන්ම හුදු පුද්ගල චරිතාපදාන ස්වභාවය ඉක්මවන හරවත් සමාජ ප්‍රකාශනයක නිරත වෙයි. "ෆාදර්" ලාංකේය වාණිජ සිනමාවේ පැවැත්ම තීරණය කරන සිනමා කර්මාන්තයේ නව දිශානතියක් පෙන්වන හොඳ චිත‍්‍රපටයකි.

සටහන - මලින්ත විතානගේ
(මෙම ලිපිය 2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා දින දිනමිණ පුවත්පතේ මුල්වරට පළ විය.)



