lan englan tam

විශේෂාංග

නිල කබා පසෙකලා මිනිස්කමේ අරුත් සොයා යන කවියා "නන්දේ…"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Thilina Weerasinghe-

හර්ෂ ප්‍රභාත් කීරවැල්ල ඔහුගේ ප්‍රථම කාව්‍යය නිර්මාණ එකතුවට තැබූ පෙර වදනෙහි දේශපාලනය හා ප්‍රේමය යන්න එකිනෙක හා සංයෝජනීයව පවතින්නක්ද.. නැත්නම් ස්වරූපයන් දෙකක්ද යන්න ස්වයං අවබෝධයක් සදහා වෑයම් කරන බවත් ඒ අධ්‍යනය සදහා ගන්නා වෑයමේදී ලිවීම හා කියවීම අභ්‍යාස කරන බවත් සඳහන් කරයි.

ඔහුගේ කවිය බිහිවන්නේ සමාජය තුළ මිනිස් ඇසුර හරහා ඔහු කරන ජීවන ගවේෂණය තුළිනි.

එසේම එම පූර්විකාවෙහිම ඔහු යුද්ධය විසින් ජීවිතය බිළි ගත් සිය වැඩිමහලු සෙබල සොයුරා පිළිබද ඉතාම සංවේදී සිහිපත් කිරීමක් කරයි. යුද්ධය විසින් ඝාතනය කළ තම වැඩිමල් සොයුරා පිළිබද දීපචෙල්වන් කවියාද "ස්මාරක ශිලාවත" නවකතාවෙහි ඒ සංවේදී සිහිපත් කිරීම කරණු ලබයි. අප එකම යුගයක එකම දේශයක පාලකයන්ගේ දේශපාලන අවශ්‍යතාවන් මත අහිමි වූවන් බවට පත් ව සිටින්නෙමු. මේ පීඩිත යථාර්ථය සමග අපට කාව්‍යය ඉක්මවූ මානවීය දේශපාලන ගැඹුරු සංවාදයක් අවශ්‍ය බව දීපචෙල්වන් සොයුරා සේම හර්ෂ ප්‍රභාත් සොයුරාත් මැනවින් වටහා ගෙන ඇති බව ඔවුනගේ නිර්මාණ විමසීමේදී අපට ගම්‍ය වේ.

හර්ෂගේ කාව්‍යය සිසාරා දේශපාලන සමාජ ආර්ථික පීඩනය සියුම් ප්‍රශ්න කිරීමක් නිරූපිතය.

"සොල්දාදු අරගල"

රාජ්‍ය ආරක්ෂක අංශයෙහි වැටුප් ලබනා පීඩිත පංතියට අයත් පහළ ශ්‍රේණියේ තරුණයාගේ මානුෂික හැගීම් දැනීම් හා පීඩනය හුදකලා ඛේදවාචකය මැනවින් නිරූපණය කරයි.

"පෙර සවි බිල්ඩිමක

යකඩ ඇඳක උඩු බැලිව

යට ලී නොමැති වහලක

නාරි ලතා කොහි පිපෙන්නද...

පංකාව නිමෙනතුරු

මන් ගාව මදුරු කැල

සංකාව වැඩෙන හැටි

මතක් වී කිරි පුසුඹ...

කරදියට හැතැක්මක්

මිරිදියට කල්පයක්...

ඇවිත් ගිය අද හවස

තනි අලිය වැට ළඟින්

වෙඩිල්ලට ගැස්සුණත්

ආයෙ එනවම යි කිය කියා...

පාලකයන්ද උසස් නිලධාරින්ද අසීමිත සුඛෝපභෝගී ලෙස දිවිය ගෙවද්දී හුදකලාව මරණීය බිය සමග ජීවිතයේ සතුට අහිමිව නිදිවරා දුක්විදින හමුදා සෙබලුන්ගේ ඛේදනීය ජීවන යථාර්ථය දෙස හර්ෂ කීරවැල්ල මානවීය දෘෂ්ටියකින් බැලුම් හෙලන අතරම ඔවුනගේ පීඩනය දෙස එබී බලන්නට සහෘදයාට මෙන්ම පීඩිත සෙබලාටද එක්වර ආරාධනා කරයි.

1997දී මා ලියූ "අධිකරණය ඉදිරියට ආ සොල්දාදුවා" හා "සමනල මරණය" ප්‍රබන්ධයේ නිරූපිත පීඩිත හමුදා භටයන් හර්ෂගේ "සොල්දාදු අරගලය" හරහා යළි ප්‍රතිනිර්මාණය වී ඇතැයි සිතේ.

සාමාන්‍ය සමාජය තුළ පවතින යුද්ධයෙහි වීරයා යන ප්‍රතිරූපය ඛණ්ඩනය කරමින් පාලක පංතිය නිර්මාණිත අරගල බිමෙහි මනුෂ්‍යත්වයේ දුක්ඛිත යථාර්ථය හර්ෂ අපූර්ව කාව්‍යාත්මක බසකින් නිර්මාණය කරන්නට සමත්වේ. එය ඉතා අරුත්බර වනුයේ එම අනුභූතිය සැබැවින්ම අත් විදින්නෙකු විසින්ම එහි සැබෑ යථාව ඉස්මතු කිරීමය..

හර්ෂගේ කාව්‍ය අතර ප්‍රභල දේශපාලන සංඥාර්ථයක් දනවන නිර්මාණයකි

"සූරිය කන්දේ ගින්නක්..."

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේ 1980 අග ඇඹිලිපිටියේදී ඝාතනය කර සූරියකන්දේ රහසේ වළ දැමු පාසැල් දරුවන් 31 දෙනාගේ සමූහ මිනී වල මතින් ඒ මව්වරුන්ගේ වේදනාව මතින් 1994 ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ මිනීමරු නායකත්වයට එරෙහිව සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සංදර්ශනීය ලෙස මෙහයවමින් පොදු ජන එක්සත් පෙරමුණ බලය අත් පත් කර ගන්නා ලදී.

සූරියකන්ද මිනී වල මතින් බලය අත් කර ගැනීමට මූලිකත්වය ගත් රත්නපුර දිස්ත්‍රික්කයේ දේශපාලනඥවරියක් 2024 ජනාධිපතිවරණයේදී යළි ඒ මිනීමරු පාලකයන් සමග සන්ධානගත වීම කේන්ද්‍ර කරගෙන ලාංකික දේශපාලන බල අරගලයේ ඇති තුච්ජ අවස්ථාවාදය හා ම්ලේච්ඡත්වය හර්ෂ මනාව නිරූපණය කරමින් සංවාදයට ලක් කරයි. එසේම පාලක පංතීන් අතර ඇති සහයෝගාත්මක සබැදියාව තුළ යුක්තිය අහිමි පීඩිත මිනිසුනගේ දේශපාලන ශෝඛාන්තය ඉතාම ගැඹුරින් "සූරියකන්දේ ගින්නක්" තුළින් හර්ෂ ඉස්මතු කරයි.

"හැම රෑම ඇඹිලිපිටියට වඩා ළඟින්

හඳ පායයි කන්දෙ මුදුනට

අවුරුද්දකටවත් සැරයක් යන්න බැරි අම්මලාට

හැමදාම පත්තු වෙන ඉටිපහන් රවුමක් ය එය..

ඉකුත්වූ මල් වඩම් ටික

කන්ද මුදුනෙ පැළ වෙලාය..

ටයර් වල ගඳ ඉන් මැකිලාය

සුසුම් ඉකියක් ඉකි ගසාම

පපු කැවුතු පුපුරා ගිනිගත්ත

අම්මලාත් දැන් මැරිලාය

ටයරවල ගඳ දැන් මැකිලාය

කන්ද මුදුනෙ මල් වඩම් පිපිලාය..

මල්ශාලාව තාම බ්‍රෑන්ඩඩ්ය

පරණ ඉස්තරම්ම මිනී කපන්නාගේ

සන්නාමය භීතිමත්ව වැජඹෙයි...

පැළ වුණු මල් වඩම්වල

කෙසග නටු එකට වෙළී

ළැව් ගිනි මවයි

සූරියකන්ද ගිනි ගනී..

මෙහි ලා බෙහෙවින් නව්‍ය සියුම් දේශපාලනික රූපකාර්ථ යොදා ගනිමින් ප්‍රභාත් ලාංකික සමාජ දේශපාලනයේ නග්නත්වය කෲරත්වය ට එරෙහිව ගැඹුරු දෘෂ්ටි පරාසයකට සහෘද මනස් රැගෙන යයි.

මල් ශාලාවෙන් ලාංකික ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතිය සංකේතවත් කරන අත මිනී කපන්නා හරහා මිනීමරු පාලකයා පිළිඹිඹු කරයි. මිනීමරු පාලකයන්ගේ දේශපාලන සංනාමය තවමත් රාජ්‍ය තුළ වටිනාකම් ආරෝපිතව වලංගුව තිබීම ට එරෙහිව කවියා දැඩි පිළිකුල් සහගත සෝපාහාසාත්මක විරෝධයක් මුදා හරියි.

පාලකයන්ගේ බලය අත් පත් කරගැනීමේ ව්‍යාජ උපායන් තුළ සැමදා රැවටීමට ලක්වන පීඩිත ජනතාවගේ නොනිමි දුක් පීඩාවන් දෙස ද හර්ෂ සානුකම්පිත දෘෂ්ටියක් හෙලනුයේ මේ ජනතාව දේශපාලනික වශයෙන් සවිඥානික කිරීමේ සැබෑ මානවීය දේශපාලන අරගලයක් නොවීම පිළිබඳවද ඉඟියක් දනවමිනි.

නන්දෙ (සෝමාගෙ ආදර කතාව)..මිනිස්කම හා ආදරය පිළිබද නැවුම් දෘෂ්ටියකින් බැලුම් හෙළන අපූර්ව අනුභූතියකි.

ඉතා ලාබාල යුවතියක් පතල් කම්කරුවකු සමග ගෙවන දිවියේ රිද්මය හර්ෂ අපූර්ව කාව්‍යාත්මක අනුභූතියක් ලෙස නිමවයි.

"උඹේ බේබදුකමට බෑ කියද්දි

උඹේ ලෙංගතුකමට මං හා කිව්වා නන්දේ

ඉල්ලං දෝනාවෙ පස් කන්දට

වැහිලා තිබ්බ උඹේ හදවත

එළියට එන්නේ සීනි කරිඤ්ඤං වලට

අන්තිමට මං උඹේ බේබදුකමට කැමති උනා නන්දේ...

පතල් කම්කරුවන් ගෙවන දුක්බර ජීවිතයෙන් බිදක් කවියා විදහාලනුයේ

"ඉල්ලන් දෝනාවෙ පස් කන්දට වැහිලා තිබ්බ හදවත" යන කාව්‍යාත්මක රූපකය හරහාය.

කම්කරු පංතියේ ජීවන අරගලය තුළ වෙහෙස නිවා ගැනීමට සියලු දුක් පීඩා අමතක කර දැමීමට ඇති එකම සතුට ලෙස ඔවුන් සංජානනය කරන්නේ මත්පැන්‍ පමණි.

සමාජ ජීවිතයෙන් හුදකලාව ජීවිතය ගැටගසා ගැනීමට උදේ සිට රාත්‍රිය දක්වා අඩු වැටුපට ශ්‍රමය වගුරවන ඔවුනට සෙසු සමාජ පංතීන් භුක්ති විදින විනෝදය..විවේකය අහිමිය..එදිනෙදා වේල සරිකර ගැනීමටවත් නොසෑහෙන දෛනික ආදායම ඔවුන්ගේ මනස වේදනාවෙන් හිරි ව්ට්ටා ඇත...

ශාරීරික හා මානසික වෙහෙස යටපත් කර ගැනීමට මත් පැන් පානයට තදින් ඇබ්බැහි වුවද ඉතාමත් සංවේදී ආදරණීය හදවත් ඔවුනටද උරුම බව කවියා ඉතාමත් සංවේදී සරල බසකින් කියා පායි.

"වෑයට කැපුණ කකුල්

මිටියට තැළුණ ඇඟිලි

පුංචි මාමගෙ කඩේ ණය

හවසට උඹට පෙව්වා නන්දේ ...

ලොකු එකා බඩට එද්දි

දිය බතක්වත් නැතුව හිටපු දවස්

හවසට උඹ වැනි වැනී ගෙදර එද්දි

උඹේ කැඹිරිල්ලට වඩා

මගේ වේදනාව එළියට ආව නන්දේ..."

"පණ අදින මන් ගාව

කඳුළු ඇසවලින්ම බිබී

ගැහුණු උඹේ බේබදු හදවත

රත්තරං නන්දේ..."

හර්ෂගේ අපූර්ව මානවීය පරිකල්පනය වඩාත් තීව්‍ර ලෙස ගම්‍ය කරන තවත් නිර්මාණයකි" ජන්නගේ කට උත්තරය.."

ආර්ථික අර්බූද හමුවේ සිය බිලිදු දරුවන් හැර යන පියෙකු ගේ සංවේදී දසුනක් ඇසුරින් තම බිළිදු පුතු හැරදා සත්‍යය සොයා ගිහිගෙයින් නික්ම ගිය සිදුහත් සමග නික්ම ගිය කන්ථක අසුගේ හදිසි හෘදයාබාධයකින් මිය ගිය කථාවතට නව අරුතක් සම්පාදනය කරන්න හර්ෂ කීරවැල්ල මේ හරහා අපූර්ව දෘෂ්ටිමය වෑයමක් දරා ඇත. කන්ථක මිය යන්නේ කුමරා හැර යන සොවින් නොව තම පැටවා අහිමි සොවින් බව කවියා වක්‍රෝතියෙන් ප්‍රකාශ කරනුයේ සහෘද මනස් තුළ සම්ප්‍රදායික සිතීම් පුපුරුවා හරිමින් නව්‍ය සංකල්පනාවක් ධ්වනිත කරවමිනි.

"වොශිංටන්ගේ පිළි ගැනීමේ උත්සවයද" දේශපාලන ප්‍රහසනාත්මක කාව්‍ය සංවාදයකි.

අපගේ කාව්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයට මෙන්ම දේශපාලන සමාජ සංදර්භය තුළට අපූර්ව මානව හිතවාදි පරිකල්පනයක් සහිතව මිනිසුන් අතර ආදරයම සොයා යන මිනිසුන්ට සොදුරු අඩහැරයක්ව පුබුදුවාලන, හර්ෂ ප්‍රභාත් කීරවැල්ල සොයුරාගේ කාව්‍යාත්මක සංවාද ආගමනය අගයමින් සමාජ දේශපාලන සංදර්භය තුළ මානවීයත්වය වඩා සුමටව ගොඩ නැංවීමේ ඔහුගේ සොදුරු අභිලාෂය අත් පත් කර ගැනීමට සුභ පතමි.

 

637677646 1430317658766476 5960519217316835589 n

සටහන - තිලිනා වීරසිංහ

(ප්‍රවීණ ලේඛිකා, මාධ්‍යවේදිනී)

(2026 පෙබරවාරි 26)

 

kemadasa

Back to top
Go to bottom