lan englan tam

පුවත්

රවින්ද්‍ර රන්දෙණියට තරුණයෙකුගෙන් ලැබුණු අපූරු උපන්දින තෑග්ග!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරුණ ශාස්ත්‍රීය ලේඛකයෙකු වන ආකාශ් තාරුක පෙරේරා විසින් ප්‍රවීණ රංගවේදී රවින්ද්‍ර රන්දෙණියගේ සිනමා රූපණය පිළිබඳව 'රංගේන්ද්‍ර රවින්ද්‍ර' යන නමින් ශාස්ත්‍රීය කෘතියක් රචනා කොට තිබෙනවා.

අඩ සියවසක් ඉක්මවන ආචාර්ය රවින්ද්‍ර රන්දෙණියගේ සිනමා රූපණය පිළිබඳ සිදුකෙරුණු ශාස්ත්‍රීය කියැවීමක් වන මෙම කෘතියේ මුල් පිටපතක් අද (05) දා එහි කර්තෘ ආකාශ් තාරුක පෙරේරා විසින් රවින්ද්‍ර රන්දෙණිය හට පිළිගැන්වීම ද සිදු වූවා.

රවුන්ද්‍ර රන්දෙණියයන්ගේ 80 වෙනි උපන් දිනය යෙදී තිබුණේ ද අද දිනයි.

පහතින් දැක්වෙන්නේ මේ පිළිබඳව කෘතියේ කර්තෘ ආකාශ් තාරුක පෙරේරා විසින් සිය මුහුණු පොතේ මේ පිළිබඳ තබා තිබූ අපූරු සටහනක්.

(උපුටා ගැනීම)

ආයුවඩන ශුභ උපන්දිනයක් රවී මාමේ, 

කෘතහස්ත රංගධරයෙකු වෙනුවෙන් සිදුකළ හැකි විශාලතම ගෞරවය නම් ඔහුගේ ශිල්පීය භාවිතාව පිළිබඳ ශාස්ත්‍රීය විභාග කිරීමක් ඉතිහාසගත කිරීම යැයි මම සිතමි. මගේ මුල්ම සිනමා ග්‍රන්ථය ලෙසින් නුදුරේ ම ජනගත වීමට නියමිත 'රංගේන්ද්‍ර රවින්ද්‍ර' නැමැති ශාස්ත්‍රීය කියැවීම, දෙවසරකටත් අධික කාලයක් මුළුල්ලේ මවිසින් සිදුකළ ගවේෂණාත්මක කරුණු පෙළගැස්වීමකි.

ශ්‍රී ලාංකේය සිනමාවේ පෞරුෂවත් රූපණ රූපය ගොඩනැංවීමෙහිලා ජීවිතයෙන් අඩ සියවසකටත් අධික කාලයක් කැපකළ ආචාර්ය රවින්ද්‍ර රන්දෙණියන්ගේ දිවි මංසලේ 80' වැනි සුවිසෙස් පියවර තබන අද දිනයේ දී, එතුමන්ගෙ සිනමා රංගයේ සුවිශේෂී භාවිතය සහ ශිල්පෝපක්‍රම පිළිබඳ මවිසින් සිදුකළ ශාස්‍ත්‍රීය කියැවීමෙහි මුල් පිටපත අද එතුමන්ගෙ සුරතෙහි තැබීමට ලැබීමත්, මා වැනි තරුණයෙකුට එතුමන් වැනි දැවැන්තයෙකු උදෙසා ලබාදිය හැකි ඉහළතම උපන්දින ත්‍යාගය යැයි මම සිතමි.

උක්ත විෂය කලාපය පිළිබඳ ප්‍රාමාණික වියතුන් කිහිපදෙනෙකු සමගින් මේ දිනවල මෙම කෘතියේ ඉතිරි කටයුතු සහ ඉතිහාස කරුණුවල නිරවද්‍යතාව පිරික්සමින් සිටින අතර, නුදුරේ ම එය එතුමන්ගේ සුරතින් ම ජනගත කරන්නට මම ආදරයෙන් දින ගනිමි. මගේ පර්යේෂණ චාරිකාව සඳහා විෂය වන ලෙස මම කළ හිතුවක්කාර ඉල්ලීම නිහතමානීව පිළිගෙන, මේ වනතුරුත් මෙන්ම ඉදිරියටත් මට ලබාදෙන නිර්ලෝභී සහයෝගයටත් අව්‍යාජ ආශිර්වාදයටත් ආදරණීය රවී මාමට මගෙ ස්තුතිපූර්වක ගෞරවාදරය කෙසේ වචන කළ යුතුදැයි මට නොවැටහේ.

ආදරණීය රවී මාමාට, නොඑසේනම් 'රංගේන්ද්‍ර රවීන්ද්‍ර' මහා රූපණවේදියාණන්ට නිදුක් නිරෝගි චිරජීවනය ම සැලසෙන ආයුවඩන අනාගතයකට දිගාසිරි වේවායි පතමි !

 

kemadasa

Back to top
Go to bottom