lan englan tam

පුවත්

නදී වාසලමුදලිආරච්චිගේ 'පැන්ත්‍රම්' චිත්‍රපටය ඩකා අන්තර්ජාතික චිත්‍රපට උළෙලට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නදී වාසලමුදලිආරච්චිගේ 'පැන්ත්‍රම්' චිත්‍රපටය 24 වන වරට පැවැත්වීමට නියමිත බංග්ලාදේශයේ ඩකා අන්තර්ජාතික සිනමා උළෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය වන ආසියානු තරඟකාරී අංශයට නිළ වශයෙන් තේරී පත්ව තිබෙනවා.

24 වැනි ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (DIFF)’ 2026 වසරේ ජනවාරි 10 සිට 18 දක්වා බංගලාදේශයේ ඩකා හීදී පැවැත්වීමට නියමිතයි.

1977 දී ආරම්භ කළ දා සිට, ඩකා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (DIFF) සෞඛ්‍ය සම්පන්න සිනමා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීමට සහ ගෝලීය ප්‍රධාන ධාරාවේ චිත්‍රපට සහ එහි සමාජ අදාළත්වය සැමරීමට කැපවී සිටී. අද වන විට, එය බංග්ලාදේශයේ වඩාත්ම කීර්තිමත් චිත්‍රපට ඉසව්වක් ලෙස පවතින අතර, සජීවී හා ධනාත්මක ජාතික චිත්‍රපට ව්‍යාපාරයක් හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මෙම වසරේ උළෙලට රටවල් 75 ක පමණ සහභාගීත්වයක් ඇති අතර, ජාත්‍යන්තර ජූරි මණ්ඩලයක් ආසියානු තරඟ අංශය විනිශ්චය කරයි.

 

 

 

'පැන්ත්‍රම්' චිත්‍රපටය අධ්‍යක්ෂණය මෙන්ම තිර රචනයද නදී වාසලමුදලි ආරච්චි විසින් වන අතර,

සිංහල, දෙමළ ද්විභාෂික චිත්‍රපටයක් වන මෙහි පශ්චාත් යුධ සමයේ මානව සබඳතා වල අර්ථය සොයා යන පිය පුතු දෙපළකගේ කතාවක් ඇතුළත්.  

 

559647531 10239667915384327 1789063640055725977 n

 

හේමසිරි ලියනගේ, අනසූයා සුබසිංහ, මයුර පෙරේරා, තිලක්ෂන් තර්මිකන්, අක්දෙව් ලියනගේ, දිලීපන් මෙහි ප්‍රධාන චරිත රඟදක්වන අතර කැමරාකරණය රිෂී සෙල්වම් විසිනි.

'පැන්ත්‍රම්' චිත්‍රපටය නිෂ්පාදනය කළේ අයිඩා ප්‍රඩක්ෂන්ස් විසින් වන අතර සම්පත් ගුණවර්ධන හා උදාර පල්ලියගුරු සම නිශ්පාදනයක් වනවා. 

 

“පැන්ත්‍රම්” චිත්‍රපටය මේ වන විට අන්තර්ජාතික සිනමා උළෙල රැසකටම තේරී පත්ව තිබෙන අතර සම්මානයට පාත්‍ර වි තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කල්කටාහි පැවැත්වුනු ස්වාමි විවේකානන්ද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි තරඟකාරී අංශයෙන් ඉදිරිපත් වූ නදී වාසලමුදලිආරච්චිගේ 'පැන්ත්‍රම්'  චිත්‍රපටය එහිදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් විය.

එමෙන්ම මේ වන විට කාශ්මීරයේ ශ්‍රීනගර් (TIFFS) ජාත්‍යන්තර චිත්‍රපට උළෙල (2025) සඳහා ද “පැන්ත්‍රම්” චිත්‍රපටය තේරී පත්ව තිබෙන අතර, ස්වීඩනයේ බෝඩෙන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී (Boden International Film festival 2025) හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.

නිවේදිකාවක, මාධ්‍යවේදිනියක හා ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රථම වතාව මෙය වන අතර, කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටයම මෙලෙස ජාත්‍යන්තර ඇගයීමට ලක්වීම විශේෂත්වයක්.

නදී වාසලමුදලිආරච්චි ඇතුළු “පැන්ත්‍රම්” චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්.

kemadasa

Back to top
Go to bottom