ගෝලීය රෙගේ සංස්කෘතියේ සුවිශේෂී සැමරුමක් ශ්‍රී ලංකාවේදී සනිටුහන් කරමින්,
දකුණු ආසියාවේ ප්‍රථම තෙදින රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026 – A Tribute to Bob Marley”,
2026 මාර්තු 27 සිට 29 දක්වා දින 3ක් ආකර්ශනීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සුවිශේෂී රෙගේ සංගීත උළෙල පිළිබඳව නිවේදනය කිරීම හා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා කොළඹ සුඛෝපභෝගී සංචාරක නවාතැන වන NUWA Sri Lanka හි දී පැවැත්වුණා.

මෙම ප්‍රසංග මාලාවට ජාත්‍යන්තර කීර්තියට පත් කලාකකරුවන් 06 දෙනෙකු සහභාගී වීමට නියමිත අතර ,එය ආසියාවේ මෙන්ම පැසිෆික් කලාපය තුළ මෙතෙක් අත්විඳ ඇති රෙගේ හැකියාවන් සියල්ල එකම තැනකදී නැරඹිය හැකි විශාලතම අවස්ථාව බවටද පත් වනු ඇත.
මීට සහභාගී වන ගෝලීය රෙගේ කලා කරුවන් වන්නේ,
- Maxi Priest – The “Prince of Reggae” "
- The Wailers
- Julian Marley සහ Ky-Mani Marley (රෙගේ නිර්මාතෲ බොබ් මාලේගේ පුතුන්)
- Inner Circle
- Big Mountain යන පිරිසයි.
ඒ අනුව මාර්තු 27 -29 වනදා දක්වා සෑම දිනකම සවස 6.00 ට සංගීත ප්‍රසංගය ආරම්භ වන අතර සෑම රාත්‍රියකම ප්‍රධාන පෙළේ ශිල්පීන් දෙදෙනෙකු බැගින් ප්‍රසංගය මෙහෙයවයි.
මාර්තු 27 - The Wailers සහ Maxi Priest
මාර්තු 28 - Inner Circle සහ Big Mountain
මාර්තු 29 - Julian Marley සහ Ky-Mani Marley
මීට අමතරව ජාත්‍යන්තර ඩී.ජේ. (DJ) ශිල්පීන් සිව්දෙනෙකු ද මෙම දින තුන පුරා දස්කම් දක්වනු ඇත.
මෙම ප්‍රසංගයේ සුවිශේෂීත්වය නිසාම රෙගේ සංගීතයට ප්‍රිය කරන ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය යන රටවල සංචාරකයින් සහ බටහිර සංචාරකයින් ඇතුලු දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයින් මෙම ප්‍රසංගය දැකබලා ගැනීමට පැමිණෙනු ඇතැයි සංවිධායකයන් අපේක්ෂා කරනවා.
යුරෝපයේ සහ කොළඹ කේන්ද්‍ර කරගත්, ශ්‍රී ලාංකික හිමිකාරීත්වය සහිත One In A Million Entertainment ආයතනය, Caribbean Entertainment ආයතනය හා එක්ව මෙය සංවිධානය කරන අතර, මීට පෙරද Shaggy, Diana King සහ Big Mountain වැනි ජාත්‍යන්තර රෙගේ ශිල්පීන් ශ්‍රී ලංකාවට ගෙන්වීමට මෙම ආයතනය කටයුතු කර තිබෙනවා.









