විද්වතුන්, කලාකරුවන් මේ වනවිට වීදි බැස ක්‍රියාකාරීලෙස රටෙහි ප්රජාතන්ත්රවාදය තහවුරු කර, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර, ව්‍යවස්ථානුකූලව රටේ පාර්ලිමේන්තු කටයුතු මෙහෙයවීමට ජනාධිපතිවරයාට බලකරමින් සිටින්නේ පක්ෂ පාට හෝ පුද්ගල දේශපාලනයකින් තොරවය. රට වෙනුවෙන් සහ අනාගත පරපුර වෙනුවෙනි. පසුගිය 28 දා කොළඹ ගෝල්ෆේස් වටරවුමේ පැවති නිහඩ උද්ඝෝෂණය මෙරට මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ ද අවධානයට ලක්විය. මේ සඳහා සමනළී, නදීකම්මැල්වීර, කෞෂල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න ඇතුළු කලාකරුවන් ගසක් දායකවිය.
මේ වනවිට සමනළීට එරෙහිව විිධ චෝදනා නගමින් බොහෝ අය විවිධ මඩගැසීම් කරමින් සිටී. පසුගිය දා කාංචන විජේසේකර පුවත්පත් සාකච්ජාවකදී පවසා සිටියේ සමනළී ඇතුළු පිරිසකට ජනමාධය අමාත්‍යාංශයෙන් මිලියන ගණන් මුදල් ගෙවා ඇති බවයි. සමනළී මේ කාරණය පිළිබඳව සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබා ඇත. මේ ඇය තබා ඇති සටහනයි
"ඊයේ දින මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් පොදුජන පෙරමුණේ, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන කාංචන විජේසේකර ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මා හා තවත් පිරිසක් විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් රුපියල් මිලියන 27කට ආසන්න මුදලක් පසුගිය කාලය තුල ලබාගෙන ඇති බවයි. මාගේ නම භාවිතා කරමින් සිදුකළ මේ සාවද්‍ය ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මා ප්‍රතික්ෂේප කරන අතර, මා හට සිදු කළ මේ අපහාසයට කාංචන විජේසේකරට විරුද්ධව ඉතා දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මම ප්‍රකාශ කර සිටිමි. මේ වන විටත් මාගේ නීතිඥවරු ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටිති.
මේ රටේ පැවති කිසිඳු රජයකින් මුදල්, තනතුරු, රැකියා හෝ අන් කිසිඳු වරප්‍රසාදයක් මා පෞද්ගලිකව ලබාගෙන ඇත්නම් එය ජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වන මෙන් මම මේ නිවටයින්ගෙන් ඉල්ලා සිටිමි. අවම වශයෙන් මා රඟපෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරවා ගැනීමටවත්, ටෙලිනාට්‍යයක් විකාශනය කර ගැනීමටවත් එකඳු ඇමතිවරයෙකු හෝ නිලධාරියෙකු හමුවට මා ගොස් ඇත්නම් එය ද ඔප්පු කර පෙන්වන මෙන් මම ඉල්ලා සිටිමි. නොමැතිනම් රජයේ අමාත්‍යාංශයක් මගින් සිදුකළ එකඳු ව්‍යාපෘතියකට, වෙළෙඳ දැන්වීමකට හෝ මා සම්බන්ධ වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස මම ඉල්ලා සිටිමි.
යම් මතවාදමය වෙනස්කම් හමුවේ වුව ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සිදු කළ ඇතැම් රැළි, දේශපාලන හා සංස්කෘතික මැදිහත්වීම වලට අමතරව වෙනත් කිසිඳු දේශපාලන පක්ෂයක වේදිකාවකට මා ගොඩ වී නැත. වෙනත් කිසිඳු පක්ෂයක දේශපාලන ක්‍රියාවලියකට මා සම්බන්ධවී නැත. පක්ෂය වෙනුවෙන් ඔවුන් විසින් කලාකරුවන් හට සිදු කරනු ලැබූ කිසිඳු ආරාධනාවකට හෝ සංග්‍රහයකට මා සහභාගී වී ඇත්නම් එය ඔප්පු කර පෙන්වන මෙන් මම මේ මුග්ධ ප්‍රකාශ නිකුත්කරන පිරිස්ගෙන් ඉල්ලා සිටිමි.
මාගේ දේශපාලන මැදිහත්වීම කිසිසේත්ම පක්ෂ දේශපාලන මැදිහත් වීමක් නොවේ. මහින්ද රාජපක්ෂ පාලනය හා ඒ ජාතිවාදී විකෘති සංස්කෘතිය විසින් රට තල්ලු කරමින් තිබූ ආගාධය දුටු, දේශපාලනය සෘජුව සිදු නොකළ බොහෝ පිරිස් 2015 ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරී විය. විශේෂයෙන්ම ඒ වනවිට බොදුබල සේනාව සක්‍රීය වී දර්ගා නගරය, බේරුවල වැනි ප්‍රදේශ වල මුස්ලිම් ජනයා මත ප්රචණ්ඩත්වය පතුරවමින් සිටියහ. මේ සියල්ලටම විරුද්ධත්වය පළකිරීමේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපතිවරණයේදී අපි මහින්ද රාජපක්ෂට විරුද්ධව වැඩ කළෙමු. එහි ප්‍රතිපලයක් ලෙස මා හට කුමන පක්ෂයක ලේබල් ඇලවූවත් මා සැමදා ක්‍රියා කළේ ස්වාධීනවය. මේ නිසාම ලැබුනු දේට වඩා අහිමි වූ දේ බොහෝය. එහෙත් ඒ අහිමි වූ දේ මා හට සැමදා ලබාදුන්නේ අභිමානවත් ආත්ම ශක්තියකි.
මේ මොහොතේ ප්රජාතන්ත්රවාදයට ගරුකරමින්, රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස බලකරමින්, මේ හොර තක්කඩි රැළට විරුද්ධව ක්‍රියාත්මක වීම නිසා මොවුන් විසින් මා මර්දනය කිරීමට සිදු කරනු ලබන මේ අසාර්ථක වෑයම ඉතා පැහැදිලිය. එමෙන්ම තම ඡන්ද පදනම වෙනුවෙන් රට තුල ජාතිවාදය පතුරමින්, රටේ අනාගත පරපුර එකෙනෙකා නොපෙනෙනා අඳුරක කොටු කිරීමට මොවුන් ගන්නා අප්‍රසන්න වෑයම අඩපණ කිරීමට ජාතිවාදයට එරෙහිව හඬනගන තවත් බොහෝ අවංක පිරිස් හා එක්ව මා වැඩකිරීමේ හේතුව නිසා ද මොවුන් හට මා අක්‍රීය කිරීමට අවශ්‍යය. කිසිඳු පදනමකින් තොර අසත්‍ය චෝදනා මගින් මා නිහඬ කරවීමටත්, අධෛර්යමත් කරවීමටත් මොවුන් මේ ගන්නා නොමනා උත්සාහය කිසිදා සාර්ථක කරගැනීමට මම ඉඩ නොදෙමි.
අවසාන වශයෙන් මට පොහොට්ටුවේ අසාර්ථක දේශපාලනඥයින්ට පැවසීමට ඇත්තේ,
ඔබ වටා සිටිනා කලාකරුවන් වරප්‍රසාද හා මුදල් පස්සේ දුවන අවස්ථාවාදී, අවිචාරවත් වහලුන් විය හැක. අනෙක් පක්ෂ හා දේශපාලනඥයින් වටාත් සිටිනා එවැනි වහලුන් අප දැක ඇත. එහෙත් අප වැඩ කළේ ඒ ගඳ ගසන සංස්කෘතිය වෙනස් කිරීමටය! ඒ ස්වාධීන ආස්තානයක සිටගෙනය. පුදුම විය යුතු නැත. එවැනි කලාකරුවෝ බොහෝමයක් තවමත් මේ රටේ ජීවත් වෙති. ඒ බව හොඳින් මතකයේ තබාගන්න...! ස්තූතියි...!"
- සමනලී ෆොන්සේකා.