සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙල අගෝස්තු අවසානයේ
අද්‍යතන ශ්‍රී ලාංකේය කාව්‍ය විචාරය වඩාත් අර්ථවත් කරනු වස් වාර්ෂිකව පැවැත්වෙන ‘සන්ථව කාව්‍ය විචාර සම්මාන උත්සවය’ මෙවර ද කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවනාගාරයේදී එළඹෙන අගෝස්තු 30 වන සිකුරාදා දින සවස 3 ට පැවැත්වීමට නියමිතය.
මෙහිදී “2018 වර්ෂයේ ප්‍රකාශිත නූතන ම සිංහල කවි අස්වැන්නේ රුව ගුණ සුවඳ” මැයෙන් ප්‍රධාන දෙසුම පවත්වන්නේ සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි විසිනි.
2018 වර්ෂයේ ප්‍රකාශිත කවිය වෙනුවෙන් සුසැදි විචාර නිබන්ධනය මෙන්ම සන්ථව කාව්‍ය විචාර තරගයේ ජයග්රාහි විචාර ඇතුලත් “රසාර්ථ දීපනී - නූතනම සිංහල කවියේ සන්ථව ව්‍යාඛ්‍යාව” ග්‍රන්ථය ජනගත වීම ද මෙම අවස්ථාවේ සිදු වෙයි.
ප්රශස්ත ම විචාරයට ‘සන්ථව කාව්‍ය විචාර සම්මානය’ පිරිනැමෙන අතර සෙසු විචාර දහයක් උදෙසා පිළිවෙලින් ස්ථාන ජයග්රහන ද, තවත් විචාර දහයක් උදෙසා කුසලතා සහතික පත්‍ර ද පිරිනැමෙනු ඇත.
සන්ථව නව කාව්‍ය කෘති කිහිපයක් ද එදින ජනගත වීමට නියමිත අතර මෙම වටිනා සම්භාවනීය අවස්ථාවට සහභාගී වන ලෙස සාහිත්‍ය ලැදි ඔබට ආරාධනා කර සිටියි.