ඇතුළුවීම නොමිලේ...ශ්‍රී ලාංකීය දීර්ඝ සිනමාපට කාල සටහන මෙන්න ...
එක් අදියරකදී දෙස් විදෙස් සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් තිරගත කරමින් සේම ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා උළෙලක අන්තර්ගත්විය යුතු පොදු ලක්ෂණයන්ගෙන් සමන්විතවද, වසර පහක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්වූ මෙරට පළමු අන්තර්ජාතික සිනමා උළෙල ලෙසින් ඉතිහාසයට එක්වෙමින්, යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ( Jaffna International Cinema Festival) අද සවස යාපනය මැජෙස්ටික් සිනමාශාලා සංකීර්ණයේදී උත්සවාකාරයෙන් ආරම්භ වේ.
යාපනය අන්තර්ජාතික සිනමා උළෙලේ සමාරම්භය සනිටුහන් වූ 2015 වර්ෂයේ පටන් මේ දක්වා උළෙලේ අධ්‍යක්ෂිකාව (Festival Director) ලෙසින් අනෝමා රාජකරුණා කටයුතු කරනු ලබන අතර, ඇගේ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ මෙවර ඉන්දීය සිනමා විචාරක වී.කේ ජෝසප් සහ ශ්‍රී ලාංකීය සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි යාවජීව සම්මානයෙන් (Lifetime Achievement Award) පිදුම් ලැබීමට නියමිතව ඇත. එසේම ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම (Retrospective) හරහා ප්‍රවින ශ්‍රී ලාංකීය සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ගෞරවයට පාත්‍ර වීමට නියමිතය. 1998 වර්ෂයේ ජපානයේ පැවති 08 වෙනි ආසියානු ෆුකෝකා අන්තර්ජාතික සිනමා උළෙලේදී, 2000 වර්ෂයේ බංගලාදේශයේ පැවති 06 වෙනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සහ 2015 වර්ෂයේ ඇ.එ. ජනපදයේ පැවති 10 වෙනි සියැටල් දකුණු ආසියාතික සිනමා උළෙලේදී ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මන් හරහා බුහුමන් ලද ප්‍රසන්න විතානගේ , ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලකදී 'ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මක්' හරහා ඇගයීමට ලක්වන පළමු අවස්ථාව මෙය වේ. එසේම සිනමාව උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් 2017 වර්ෂයේ ප්‍රංශයේ පැවති 23 වෙනි විසූල් අන්තර්ජාතික ආසියානු සිනමා උළෙලේදී ගෞරව සම්මානයයට පාත්රවූ ස්වර්ණා මල්ලවාරච්චි, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර්ජාතික සිනමා උළෙලකදී එවන් සම්මානයකින් පිදුම් ලබන පළමු අවස්ථාවද මෙය වේ.
පෙර වර්ෂයට සාපේක්ෂ්ව ශ්‍රී ලාංකීය දීර්ඝ වෘත්තාන්ත ප්‍රබන්ධ සහ වාර්තා සිනමාපට වැඩි සංඛ්‍යාවක් මෙවර උළෙලේ තිරගත කිරීමට තෝරාගෙන ඇති අතර, ඒ අනුව සිනමාපට 02 ක් (නොමියෙන මතකය, කන්දක් සේමා) කුළුඳුල් සිනමාපට තරඟ අංශය නියෝජනය කිරීමටත්, තවත් සිනමාපට 02 ක් (අසන්ධිමිත්තා, පාංශු) තරඟකාරී නොවන නිළ තෝරාගැනීම් අංශය නියෝජනය කිරීමටත්, තවත් සිනමාපට 06ක් (අනන්ත රාත්‍රිය, පවුරු වළලු, පුරහඳ කළුවර, ඉර මැදියම, ඔබ නැතුව ඔබ එක්ක, උසාවිය නිහඬයි) ප්‍රසන්න විතානගේගේ 'ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම'' නියෝජනය කිරීමටත් තෝරාගෙන ඇත. එයට අමතරව විදේශයන්හි දිවි ගෙවන ප්‍රදීපන් රවීන්ද්‍රන් අධ්‍යක්ෂණය කල 'Soundless Dance' නැමැති දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ප්‍රංශය නියෝජනය කරමින්ද, ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කල 'You' නැමති අර්ධ-දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින්ද යාපනය උළෙලේ තිරගත වේ. එසේම සමන් ඇල්විටිගල සංස්කරණය කල ' The Red Phallus' නැමැති භූතාන දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයද මෙවර උලෙළ නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබීම විශේෂත්වයකි. එයට අමතරව ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක අශෝක හඳගමගේ 'Taking about Love' නම් වූ කුළුඳුල් කෙටි සිනමාපටයේ මංගල දර්ශනයද (World Premier) මෙවර යාපනය අන්තර්ජාතික සිනමා උළෙල ආශ්‍රිතව සිදුවීම කැපී පෙනේ.
උළෙලේ තිරගතවන ශ්‍රී ලාංකීය දීර්ඝ සිනමාපට:....
Debut Competition-:
*නොමියන මතකය (සුබා සිවකුමාරන්)– සැප්තැම්බර් 08 ඉරිදා- ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*කන්දක් සේමා (අශෝක අතාවුදහෙට්ටි)– සැප්තැම්බර් 09 සඳුදා- පෙ.ව 10.15- මැජෙස්ටික් සිනමාශාලාව
Official Selection-:
*අසන්ධිමිත්තා (අසෝක හඳගම)– සැප්තැම්බර් 09 සඳුදා - ප.ව 3.15- මැජෙස්ටික් සිනමාශාලාව
*පාංශු (විසාකේස චන්ද්‍රසේකරම්)– සැප්තැම්බර් 09 සඳුදා - රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව
Retrospective-:
*පුරහඳ කළුවර (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා - ප.ව 3.15- යාපනය විශ්වවිද්‍යාලය
*උසාවිය නිහඬයි (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 04 බදාදා- රාත්‍රි 7.00- යාපනය විශ්වවිද්‍යාලය
*ඉර මැදියම (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා - ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*ඔබ නැතුව ඔබ එක්ක (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 05 බ්‍රහස්පතින්දා - රාත්‍රි 7.00- මැජෙස්ටික් සිනමාශාලාව
*පවුරු වළලු (ප්‍රසන්න විතානගේ)-සැප්තැම්බර් 07 සෙනසුරාදා - ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
*අනන්ත රාත්‍රිය (ප්‍රසන්න විතානගේ)- සැප්තැම්බර් 08 ඉරිදා - ප.ව 12.45- යාපනය විශ්වවිද්‍යාලය
සටහන - උදිත ලක්මාල් කහඳවාරච්චි Udithe Lakmal Kahandawaarachchi