"නොමියන මතකය" අද හොංකොං ආසියානු සිනමා උලෙළේ තිරගත වේ
ආසියානු කලාපීය රටවල සිනමා නිර්මාණයන් වෙනුවෙන් වෙන්වූ හොංකොං ආසියානු සිනමා උලෙළ ( Hong Kong Asian Film Festival) පසුගිය ඔක්තෝබර් 29 වෙනිදා හොංකොං රාජ්‍යයේදී ආරම්භ විය. දින 20ක් පුරා පැවති මෙම උලෙළ අදින් නිමාව දකින අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උලෙළට සුදුසුකම් ලද සුභා සිවමෝහන්ගේ "නොමියන මතකය" ( House of My Fathers) සිනමාපටය දෙවෙනි වරට අද සවස 4.50 ට උලෙළේ දී තිරගත වේ. ඒෂියන් වයිඩ් ඈන්ගල් (Asian Wide Angle) නම් වූ තරගකාරී නොවන අංශය යටතේ උලෙළට සුදුසුකම් ලද "නොමියෙන මතකය" පළමු වරට පසුගිය 11 වෙනිදා උලෙළේ දී ප්‍රදර්ශනය කෙරුණි.
2004 වසරේදී සමාරම්භය සටුහන් කළ හොංකොං ආසියානු සිනමා උලෙළේ 16 වෙනි අදියර මෙම වසරේදී ක්‍රියාත්මක වන අතර, "නොමියෙන මතකය" මෙම උලෙළ නියෝජනය කරන 05 වෙනි ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය (Long Feature Film) වේ. මීට පෙර 2004 වර්ෂයේදී ප්‍රසන්න විතානගෙගේ "ඉර මැදියම" , 2007 වර්ෂයේදී ප්‍රසන්න ජයකොඩිගේ "සංකාරා", 2009 වර්ෂයේදී ප්‍රසන්න විතානගේගේ "ආකාස කුසුම්" සහ 2010 වර්ෂයේදී විමුක්ති ජයසුන්දරගේ "අහසින් වැටෙයි" යන සිනමාපට හොංකොං ආසියානු සිනමා උලෙළ නියෝජනය කළේ ය.
2018 වසරේ ලෝ ප්‍රකට බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ජගත් මංගල දර්ශනය (World Premiere) පැවැත්වූ "නොමියෙන මතකය" චිත්‍රපටය නියෝජනය කරන 15 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ මෙය වේ. මේ අනුව කුළුදුල් සිනමා නිර්මාණයක් ලෙසින් අන්තර්ජාතික සිනමා උලෙළයන් වැඩිම සංඛ්‍යාවක් නියෝජනය කළ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපට අතර 08 වෙනි ස්ථානයේ ශ්‍රේණිගත වීමට මේ වනවිට "නොමියෙන මතකය" සමත්ව ඇත.
බිමල් ජයකොඩි, ප්‍රදීපා ජීවා, ස්ටීව් සිල්වා, දසුන් පතිරණ, දර්ශන් ධර්මරාජ් යනාදී නළු නිළියන්ගේ රංගනයෙනුත් , කාලිංග දේශප්‍රියගේ කැමරාකරණයෙනුත් හැඩවෙන 'නොමියන මතකය' සුබා සිවකුමාරන්ගේම තිර රචනයයකට අනුව නිර්මාණය වූවකි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි