“බිත්ති සිතුවම් කිරීමේ නව රැල්ල වේගයෙන් මට සුනාමියක් වෙමින් පවතී”
බිත්ති සිතුවම් කිරීමේ නව රැල්ලෙන් තමන්ට අසාධාරණයක් සිදු වී ඇති බව ප්‍රවීන සිතුවම් ශිල්පී ප්‍රසන්න වීරක්කොඩි පවසයි.
තමන් “වසර ගණනක් පර්යේෂණ හා මාස ගණනක් වෙහෙස වී ඇඳි සිතුවම් සොරාගෙන පැය කිහිපයකින් බිත්ති මත ඇඳ, ඒවා ඔවුන්ගේම ‘නිර්මාණ’ යැයි මාධ්‍යය ඉදිරියේ හුවා දක්වනවා දැකීමෙන් දැඩි චිත්තවේදනාවකට පත්ව ඇතැයි” සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු සඳහන් කර තිබේ.
එම සටහන පහතින්,
“Pirated paintings for Wall art
බිත්ති සිතුවම් කිරීමේ නව රැල්ල වේගයෙන් මට සුනාමියක් වෙමින් පවතී. මුලින් දක්ෂ යොවුන් ශිල්පීන් විසින් පටන්ගත් රැල්ලට දැන් නොයෙක් නොයෙක් පාර්ශවයන් එකතුවන බව පෙනේ. මේ දිනවල සොරකම් කරන ලද මගේ චිත්රවල ප්‍රතිනිර්මාණයන් මාධ්‍යය තුළ දැකීමේ ප්රවනතාව වර්ධනය වෙමින් පවතී. මුලදී පෙන්වූ චිත්‍ර වල නිර්මාණශීලී බව යටපත් කරමින් දැන් දැන් වෙනත් අයගේ ඡායාරූප සහ චිත්‍ර වල කොපි මෙම සිතුවම් වල දකින්නට පුළුවන. සමහරෙක් මාගේ සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමට අවසර ඉල්ලන අතර තවත් සමහරෙක් එය තමන්ගේ අයිතියක් ලෙස ගෙන නොදන්වාම කරගෙන යනු ලබයි. එසේම තව සමහරෙක් මගෙන් සොරාගත් නිර්මාණ මාධ්‍ය ඉදිරියේ ඒවා ඔවුන්ගේ බවට ප්‍රකාශ කරමින් කරනා සන්දර්ශන දැකීමෙන් ඇතිවන්නේ සිත්තැවුලකි. සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කරන ඉල්ලීම් ප්‍රමාණය ද දැන් දරාගත නොහැකි තත්වයකට පත්වෙමින් ඇත. තෝරාගත් හොඳ නිර්මාණ කිහිපයකට මාගේ උදවු ලබාදුන්න ද තවදුරටත් එසේ නොකරන්නට තීරණය කළෙමි. එක් අතකින් මෙයට හේතුව වන්නේ එම චිත්‍ර වලට අනුග්‍රහය ලබාදුන් තවත් පාර්ශවයක් සිටිනා නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් ද මා විසින් ආරක්ෂා කළයුතුව පවතින බැවිනි. එසේම ඒවා අන් අය විසින් අවභාවිතා කිරීම නිසා එම චිත්‍ර වල අනුග්‍රාහක පාර්ශව ඉදිරියේ මා දැඩි දෝෂදර්ශනයට හා අපහසුතාවයට පත්වෙමි.. ස්වයං නිර්මාණකරණයේ යෙදෙන අලුත් ශිල්පීන් හට මා හදවතින්ම උදවු උපකාර කරන නමුත් අන් අයගේ ඡායරූප හෝ චිත්‍ර කොපිකිරීම කලාවක් සේ සලකන අයහට මාගේ අගයකිරීමක් නොමැත. බිත්ති මත සිතුවම් කිරීම් සංවිධානය කරන පාර්ශව වලින් මා කරන කාරුණික ඉල්ලීම නම් මාගේ චිත්‍ර මේ ලෙස අවභාවිතා කිරීමෙන් වලකින ලෙසයි. මන්ද ඔවුන් සමඟ නඩුහබ වල පැටලී උසාවි ගානේ කාලය ගතකිරීමට යෑමෙන් සිදුවන්නේ, නිදහස් නිරවුල් මනසින් සිත්තමක් කරගෙන යෑමේ මට ඇති අවස්තාව හා කාලය මා අහිමිකර ගැනීම පමණි. වසර ගණනක් පර්යෙෂණ හා මාස ගණනක කාලයක් දැඩි වෙහෙසකින් මා විසින් අඳිනු ලබන සිතුවම් සොරාගෙන පැය කිහිපයකින් බිත්ති මත ඇඳ, ඒවා ඔවුන්ගේම "නිර්මාණ" යැයි මාධ්‍යය ඉදිරියේ හුවා දක්වනවා දැකීමෙන් දැඩි චිත්තවේදනාවකට මා ලක්වී සිටිමි. මගේ සිතුවම් ප්‍රතිනිර්මාණය කිරීමේ රැල්ල නවතාගැනීමට නොහැකිවන්නේ නම් මින් ඉදිරියට දහස් ගණනක් වූ මගේ ෆේස්බුක් රසිකයන් සමග මාගේ සිතුවම් බෙදාගැනීම වුවද නවතා දැමීමට මට සිදුවනු ඇත. සෝලියස් මෙන්දිස් නම් මහා කලාකරුවානන්ටත් අවසන සියල්ල කලකිරී තම පින්සල විසිකර දමා නික්මයාමට සිදුවිණි. යම් දිනෙක මට ද එම ඉරණමටම මුහුණ දීමට සිදුවෙතැයි මට සිතේ.”