lan englan tam

විශේෂාංග

"දැවෙන හෘද සාක්ෂිය වෙත කැමරාව හැර වූ ජෆාර් පනාහි" - It was Just an accident

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

-Malintha Vithanage-

දේශපාලන සිරකරුවන් ලෙස වධබන්ධනයට ලක් කර කාලාන්තරයකට පසුව ඔවුන් එසේ වධ දුන් පුද්ගලයා නැවත හමුවුවහොත් කුමක් කරාව්ද? අතීතය විසින් මනස තුළ කාලාන්තරයක් පුරා තැන්පත් වූ වේදනාව සහ පළිගැනීම නැවත ඇවිස්සීම නතර කළ නොහැකි ය.

 "It Was Just an Accident" සිනමාකෘතිය වෙතින් ප්‍රේක්ෂකයා වෙත සන්නිවේදනය කරන්නේ කම්පනය, යුක්තිය, අධිකාරී බලය, මතකය සමඟ එක්ව ගැටගැසුණු මානව සදාචාරය පිළිබඳව ය.

 

images original 2

 

චිත‍්‍රපටය ආරම්භ වන්නේ සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් ගන්නා සැමියක, බිරිඳක සහ දරුවෙකු රැගත් මධ්‍යම රූපරාමුවකිනි. කැමරාව නිශ්චල ය. මොවුන් ගමන් ගන්නා මඟ අතරතුර මෝටර් රියට බල්ලෙකු යටව මරණයට පත් වෙයි. බල්ලා පාරෙන් ඉවතට ඇද සුපුරුදු පරිදි මොවුන් මෝටර් රිය පදවාගෙන ඉදිරියට යත්ම මෝටර් රිය අතරමඟ කාර්මික දෝෂයක් නිසාවෙන් මහ මඟ ඇණ හිටියි.

කර්මය පසුපස එයි. වාහනය ඇණ හිටි තැන සිටින්නේ තමන් පෙර දවස දේශපාලන සිරකරුවෙකු ලෙස වධබන්ධනයට ලක් කළ පුද්ගලයකු වන බව නොදැනයි. වාහනයේ සිටින පුද්ගලයා වධබන්ධනය ලක් කළ කුරිරු ඉරාන බුද්ධි අංශ නිළධාරියා බව හඳුනා ගන්නේ ඔහුගේ අහිමි පාදයට සවි කර තිබෙන කෘතීම පාදයෙන් නැඟෙන ශබ්දයෙනි. වධබන්ධනයට ලක් වූ තැනැත්තා වහීඩි ය. වහීඩ් විසින් බුද්ධි අංශ නිළධාරියා පැහැරගෙන කාන්තාරයකට රැගෙන යන්නේ ඔහුව පණ පිටින් වලළා දැමීමටය. සිනමාපටයේ කතාව කුතුහලයෙන් යුතුව ගලා යන්නේ මින් අනතුරුව ය.

 

Vahid Mobasseri as Vahid in It Was Just an Accident courtesy MK2 Films

 

වධ හිංසාකාරී මතකයන් මතුපිටට වේගයෙන් පැමිණීමත්, ඔවුන් සතු අතීතකාමී තුවාල සහිත කැළැල් ඇති පුද්ගලයින් පිරිසකට ඔවුන්ට සිදු වූ කෲරත්වය අනුකරණය කිරීමෙන් වැළකී සිටිය හැකිද? යන්න වටායි. යුක්තිය එදිරිව පළිගැනීම සිනමාකෘතියෙන් සාකච්ඡාවට බඳුන් වෙයි. ප්‍රධාන තේමාවක් වන්නේ දුක් විඳ ඇති අයටම අලුගෝසුවන් වීමට සදාචාරාත්මක අයිතියක් තිබේද? යන්නයි. ප්‍රචණ්ඩත්වයේ සහ පළිගැනීමේ චක්‍ර ප්‍රශ්න කිරීමක් සිනමාපටය තුළ සිදුවෙයි. ශරීරය (Body) සහ දේශපාලනය (Politics) අතර අන්‍යාන්‍ය වශයෙන් පවතින බැඳීම පිළිබඳ අර්ථකථනයක් සපයන්නට සිනමාකරුවාට වුවමනා වී ඇත.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නරඹන්න පහළින්>>

 

මෙම සිනමා වියමනෙහි අදියුරු වන්නේ සම්මානලාභී ඉරාන සිනමාකරු ජෆාර් පනාහි විසිනි. ඔහු විසින් "It Was Just an Accident" චිත්‍රපටය රහසිගතව රූගත කර ඇත්තේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ රූගත කිරීමේ අවසර පත්‍රයක් රහිතව ය. චිත්‍රපටයේ නිළියන් හිජාබය පැළඳ නොසිටි. එය ඉරානයේ නීතිය යටතේ කාන්තාවන්ට අනිවාර්ය වේ. චිත්‍රපටය සඳහා අදහස පැමිණියේ අධ්‍යක්ෂක ජෆාර් පනාහි 2022 ජූලි සිට 2023 පෙබරවාරි දක්වා කාලය තුළ බන්ධනාගාරයේ ගත කළ අත්දැකීමෙනි. ජෆාර්ට වසර හයක සිර දඬුවමක් නියම වී තිබුණද උපවාසයකින් පසුව එය අත්හිටවිණ. ඔහු සිරගත වූ අවදියේ සෙසු සිරකරුවන් හමුවී කතා කළ අතර, එමඟින් සිරගෙයින් නිදහස් වූ පසු කුමක් කරනු ඇත්ද? යන්න පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ජෆාර් පෙළඹුණි. පනාහි යනු ඉරානයේ සුප්‍රසිද්ධ සිනමාකරුවන්ගෙන් කෙනෙකි. ඔහු තම සිනමාකෘති හරහා ඉරාන පාලන තන්ත්‍රයේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළේය.

 

IMG 2792 1024x683

ජෆාර් පනාහි "It was Just an accident" චිත්‍රපටය වෙනුවෙන්  78 වන කෑන්ස් චිත්‍රපට උලෙළේදී පාම් ඩි'ඕර් සම්මානය දිනා ගත් අවස්ථාවේ ඡායාරූපයක්

 

2025 වසරේ පැවති 78වන කෑන්ස් චිත්‍රපට උලෙළේ පාම් ඩි'ඕර් සම්මානය දිනා ගත් "It was Just an accident" චිත‍්‍රපටය විචාරක පැසසුමට ලක් විය. 83 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී, එය හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය සඳහා නම් කරන ලද පළමු ඉරාන චිත්‍රපටය බවට පත් වූ අතර හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා ද නිර්දේශ වී ඇත. එපමණක් නොව 98වැනි ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය (Best International Language Movie) සඳහා ප්‍රංශ ප්‍රවේශය ලෙස තෝරා ගන්නා ලදි. චිත‍්‍රපටයක් හරහා පිළිබිඹු කරන්නේ සිනමාකරුවා විසින් සමාජය සහ ජිවිතය අර්ථ කථනය කරන යථාර්ථයේ පරිමාවයි. "It Was Just a Accident" සබුද්ධික ජනතාව වෙත ආමන්ත්‍රණය කරන්නකි. සරල සෞන්දර්ය ඉක්මවා යන සමාජ ගවේෂකයකුගේ දෘෂ්ටිය මෙම චිත‍්‍රපටයෙහි ඇත. එය ප්‍රේක්ෂකාගාරය තිගැස්මක් ඇති කරවන සුළු ය.

 

476237625 2101514566935849 5297727973837240105 n

කර්තෘ - මලින්ත විතානගේ

(මෙම සටහන "Malintha Vithanage" ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

Back to top
Go to bottom