-Mandis Murrukkuwadura-
ස්ටැන්ලි කුබ්රික් විසින් නිර්මාණය කරන ලද 'EYES WIDE SHUT' චිත්‍රපටය තුළ අන්තර්ගතව පවතින 'PARRĒSIA' (පරේසියා) සංකල්පය තේරුම් ගමුද?
"දේශපාලනික සහ සදාචාරාත්මක ක්ෂේත්‍රය තුළ සත්‍යය ප්‍රකාශ කිරීමේ භයානක ක්‍රීඩාව Parrēsia (පරේසියා) ලෙස හැඳින්වේ."
මිචෙල් ෆූකෝ (Michel Foucault)
මුලින්ම 'EYES WIDE SHUT' චිත්‍ර පටිය ගැන සාකච්චාවක් ඇති කලේ එවකට X කණ්ඩායමේ දීප්ති සහෝදරයා ඇතුළු පිරිස විසිනුයි. 'Eyes Wide Shut' චිත්‍රපටය පිළිබඳව ඉතා විදීමත්ව ඔවුන් විසින් ලියා ඇති අතර, ඒවා බොහෝ දුරට ලැකානියානු මනෝවිශ්ලේෂණය අනුදත් කියවීම් විය.
' Eyes Wide Shut' චිත්‍රපටයේ පෝස්ටරයක්
එම චිත්‍රපටයේ ඇති වැදගත්ම දර්ශනයක් වන ඇලිස් හාර්ෆෝර්ඩ්ගේ (නිකෝල් කිඩ්මන්) පාපොච්චාරණ කතාව, ෆූකෝගේ 'Parrhēsia' (පරේසියා) හෙවත් 'තමා පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීම' යන සංකල්පයට මනාව ගැලපෙන බව නිරීක්ෂණය කළ හැක.
බිල් හාර්ට්ෆෝර්ඩ් (ටොම් කෲස්), ව්සින් වෙනත් පිරිමින් ඇය සමඟ ආලවන්ත හැඟීම් පෑම ගැන තමාට ඊර්ෂ්‍යාවක් නොදැනෙන බව ඇලිස්ට පවසන මොහොතේදී, නොසිතු ලෙස ඇය වෙනත් පිරිමියෙකු පිළිබඳව තමා තුළ තිබූ අශ්‍ලිල fantasy ය ඔහු වෙත හෙළිදරව් කරයි.

('eyes wide shut' චිත්‍රපටයේ බිල් හාර්ට්ෆෝර්ඩ් ලෙස (ටොම් කෲස්) රඟපාන අතර ඇලිස් හාර්ෆෝර්ඩ් ලෙස (නිකෝල් කිඩ්මන්) රඟපායි. ඔවුන් සැමියා සහ බිරිඳගේ චරිත නිරූපණය කරයි.
"ගිය අවුරුද්දේ ග්‍රීස්ම සෘතුවේ 'කේප් කොඩ්' (Cape Cod) වලදී වුණු දේ ඔයාට මතකද? ඔයාට මතකද එක රැයක කෑම ගන්නා ශාලාවේ, අපේ මේසය අසලම තරුණ නාවික නිලධාරියෙක් වාඩි වෙලා හිටියා...එදා දවල්... ඔයා සහ මම ආදරය කළා (ලිංගිකව එක්වුණා), අපේ අනාගතය ගැන සැලසුම් හැදුවා... ඒත් ඒ එකම මොහොතකවත් ඔහු මගේ හිතෙන් අයින් වුණේ නැහැ. මම හිතුවා ඔහුට මාව අවශ්‍ය වුණොත්, ඒක එක රැයකට විතරක් වුණත්, මම මගේ හැමදේම අතහැරලා ඔහු ගාවට යන්න සූදානම් කියලා. ඔයාවත්, හෙලේනාවත්, මගේ මුළු අනාගතයම... ඒ හැමදේම අතහරින්න මම සූදානම් වෙලා හිටියා."
බිල් මෙම හෙළිදරව්ව සඳහා ඇත්ත වශයෙන්ම සූදානම් වී සිටියේ නැත (ඇලිස් සිතූ පරිදි හෝ ඔහු මවාපෑ පරිදි), එමෙන්ම ඔහු එය සුබවාදීව භාරගත්තේ ද නැත. නමුත් ඇලිස්ගේ පාර්ශවයෙන් ගත් කල, ඇය නිරත වූයේ එක්තරා ආකාරයක ‘පරේසියා’ (parrēsia) ක්‍රියාවකය; එනම් ඇය ලැජ්ජාවකින් හෝ බියකින් තොරව තමා පිළිබඳව ඉතා අවංකව සහ විවෘතව අදහස් ප්‍රකාශ කරමින් සිටියාය.
' Eyes Wide Shut' චිත්‍රපටයේ රූපරාමුවක්
Parrēsia' (පරේසියා) යනු දළ වශයෙන් "සියල්ල පැවසීම" යන අර්ථය දෙන ග්‍රීක වචනයකි. සියල්ල පැවසීම යන්නෙන් නිසැකවම අදහස් වන්නේ කිසිදු පෙරහනකින් තොරව, අසංයමයෙන් සහ බාධාවකින් තොරව ඕනෑම දෙයක් පැවසීමයි. විශේෂයෙන්ම අපගේ බියගුලුකම හෝ ලැජ්ජාව නිසා අපට පැවසීමට නොහැකි වන දේ පැවසීමට නිර්භීත වීම මෙයින් අදහස් කෙරේ. 1982 සහ 1984 අතර වසර කිහිපය තුළ, ෆූකෝ ප්‍රංශය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල පැවැත්වූ සිය දේශනවලින් වැඩි ප්‍රමාණයක් කැප කළේ මෙම 'පරේසියා' හෙවත් තමා පිළිබඳ සත්‍යය පැවසීම යන විෂය වෙනුවෙනි.
ෆූකෝට අනුව, මෙම සංකල්පයට ප්‍රධාන දේශපාලන වටිනාකමක් ඇත.එය ප්‍රජාතන්ත්‍රවාදය සහ සත්‍යය අතර සම්බන්ධය නැවත ඇගයීමට ඉඩ සලසයි; සදාචාරාත්මක වටිනාකමක් ඇත.එය ආත්මමුලිකත්වය සහ සත්‍යය අතර සම්බන්ධය ගැටලුසහගත කිරීමට තීරණාත්මක වේ. සහ විවේචනාත්මක ආකල්පයක රූපා වලියක් සිතුවම් කිරීම සඳහා දාර්ශනික වටිනාකමක් ඇත. ෆූකෝ කිසිම අවස්ථාවක සත්‍යයේ තර්කානුකූල නිර්ණායක පරීක්ෂා කරන්නේ නැත. ඔහුගේ මූලික අවධානය යොමු වන්නේ සත්‍යයට පුද්ගලයා ගේ ආත්මය දක්වන සදාචාරාත්මක සම්බන්ධය කෙරෙහි ය: එනම්, පුද්ගලයෙකු තමා පෞද්ගලිකව විශ්වාස කරන සත්‍යයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේදී භාවිත කරන නිදහස සහ ධෛර්යය කෙරෙහි ය; එවැනි සත්‍යයක් ශ්‍රාවකයා (අසන්නා) සමඟ යම් ආතතියක් ඇති කරයි.
ප්‍රංශ දාර්ශනික මිචෙල් ෆූකෝ (Michel Foucault) ගේ ඡායාරූපයක්
1982 ජූනි මාසයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ෆූකෝ ප්‍රකාශ කළේ, "කතා කරන්නාට සත්‍යය පැවසීම භයානක විය හැකි අතර, අසන්නාට එය ඇසීම අප්‍රසන්න හෝ රිදවන සුළු විය හැක. එය සදාචාරාත්මක හෝ දේශපාලනික සත්‍යයකි, එය තුළම එක්තරා ආකාරයක අනතුරක් පවතී. ඇත්ත වශයෙන්ම මෙම අනතුර කතා කරන්නාට සහ අසන්නාට එක හා සමාන නොවේ, නමුත් 'පරේසියා' හරහා පැවසිය යුතු මෙම සත්‍යය තුළ අනතුරක් ගැබ්ව ඇත."
1984 වසරේ 'කොලේජ් ඩි ෆ්‍රාන්ස්' (Collège de France) හි පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ෆූකෝ අපට මෙසේ අනතුරු ඇඟවීය: "'පරේසියා' (parrēsia) තත්ත්වයක් ඇති වීමට නම්, සත්‍යය පැවසීමේදී අනෙක් පුද්ගලයා අමනාප කිරීමේ, ඔහු කුපිත කිරීමේ, ඔහු කෝප ගැන්වීමේ සහ ඔහු පොළඹවා ගැනීමේ අවදානම විවෘතව භාර ගැනීමටත්, එයට මුහුණ දීමටත් කෙනෙකුට සිදුවේ..."
"මෙහිදී යම් ආකාරයක ධෛර්යයක් අවශ්‍ය වේ. එහි අවම ස්වරූපය වන්නේ, 'පරේසියාස්ට්' (parrēsiast - සත්‍යය පවසන්නා) විසින් අනෙක් පුද්ගලයා සමඟ පවතින සබඳතාව බිඳී යාමේ හෝ අවසන් වීමේ අවදානම භාර ගැනීමයි; මන්ද යත්, ඔහුගේ එම කතිකාව ගොඩනැගීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන්නේම එම සබඳතාවයි. එක් අතකින් බලන කල, සත්‍යය පවසන්නා සැමවිටම උත්සාහ කරන්නේ තම කතිකාවට පදනම වූ එම සබඳතාවම පළුදු වීමේ අවදානම දැරීමටයි."

නැවත චිත්‍රපටය වෙත යොමු වුවහොත්, බිල් ඇත්ත වශයෙන්ම ඒ සඳහා සූදානම්ව සිටියේ නැත. නමුත් , ඇලිස් කළේ නිවැරදි දෙයයි, එම තත්වය නිර්මාණය කිරීමට ආරාධනා කළේ බිල් විසින්මය. ෆූකෝ බොහෝ වාරයක් ප්‍රකාශ කර ඇති පරිදි, සත්‍යය පැවසීමට (මෙහි ඇලිස්ට) යුතුකමක් ඇත. මගේම අත්දැකීම් වලදී, එවැනි හෙළිදරව් කිරීම් සබඳතා වඩාත් යහපත්, අවංක සහ සමීප ඒවා බවට පත් කළ හැකිය. තවද එය නිසැකවම පුළුල් සමාජ සහ දේශපාලන මැදිහත්වීම් සඳහා පුහුණුවක් ලෙස සේවය කළ හැකිය.
සටහන - මෙන්ඩිස් මුරුක්කුවදුර
(මෙම සටහන 'Mendis Murukkuwadura' ගේ ෆේස්බුක් පිටුව ඇසුරින් උපුටා ගන්නා ලදී)



