දමිළ සිනමා ලෝකය තුළ දැඩි උද්‍යෝගයක් නිර්මාණය කරමින්,ඉන්දීය සුපිරි නළු රැජිනිකාන්ත් සහ කමල් හසන් වසර 45කට වැඩි කාලයකට පසු නව චිත්‍රපටයක් සඳහා නැවත එක්වීම පිළිබඳව නිල වශයෙන් නිවේදනය කොට තිබෙනවා.
‘Thalaivar 173’ යන තාවකාලික නමින් නම් කර ඇති මෙම චිත්‍රපටය කමල් හසන්ගේ ‘Raaj Kamal Films International’ විසින් නිෂ්පාදනය කරනු ලබන අතර එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සුන්දර් සි. (Sundar C) විසිනුයි.
ඊයේ (05) දිනයේ මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කමල් හසන්ගේ ‘Raaj Kamal Films International’ විසින් සදහන් කොට ඇත්තේ “මෙම සන්ධිස්ථානීය සහයෝගීතාවය ඉන්දියානු සිනමාවේ ඉහළ බලවේග දෙකක් එක්සත් කරනවා පමණක් නොව, සුපිරි තරු රජිනිකාන්ත් සහ කමල් හසන් අතර දශක පහක මිත්‍රත්වය සහ සහෝදරත්වය සමරන ‘මහා කාර්යයක්’ බවයි.
මෙම නව චිත්‍රපටය රැජිනි කාන්ත් ගේ 173 වන චිත්‍රපටය වනු ඇති අතර, චිත්‍රපටයේ නළු නිළියන් සහ කථා වස්තුව පිළිබඳ විස්තර තවමත් රහසිගතව පවතින බැවින් කමල් හසන් හා රැජිනි කාන්ත් චිත්‍රපටයේ එකට පෙනී සිටින්නේ ද යන්න තවමත් අප්‍රකටව පවතී.
කල්ලතූර් කන්නම්මා (1960) චිත්‍රපටයෙන් ළමා නළුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ කමල් හසන් එතැන් සිට චිත්‍රපට 200 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර ඉන්දියාවේ ජාතික සම්මාන පහක් දිනා තිබෙනවා.
බස් කොන්දොස්තර වරයෙකුගේ සිටි ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි තරුව දක්වා ගමන් කළ රජිනිකාන්ත් මෙම චිත්‍රපටය සමග එක්වන්නේ “කූලි” (coolie) චිත්‍රපටයේ බ්ලොක්බස්ටර් සාර්ථකත්වයත් සමගයි.
ඉන්දීය සිනමාවේ මෙම දැවැන්තයන් දෙදෙන මීට පෙර Apoorva Raagangal (1975), Avargal (1977) and 16 Vayathinile (1977) ඇතුළු චිත්‍රපට 20 කට අධික ප්‍රමාණයක එකට රඟපා ඇති අතර රැජිනිකාන්ත් බොහෝ විට ප්‍රතිවාදියා ලෙස රඟපා තිබේ.
ඔවුන් අවසන් වරට තිරය බෙදා ගත්තේ අල්ලාවුඩිනම් අල්භූත විලක්කම් (Alavuddinum Arputha Vilakkum) - (1979) චිත්‍රපටයේ ය.
නව චිත්‍රපටයේ අධ්‍යක්ෂක සුන්දර් සී මීට පෙර රජිනිකාන්ත් සමඟ අරුණාචලම් (1997) චිත්‍රපටයේ සහ කමල් සමඟ අන්බේ සිවම් (2003) චිත්‍රපටයේ කටයුතු කොට තිබෙනවා.
‘Thalaivar 173’ චිත්‍රපටය 2027 වසරේ පොංගල් සමයේදී (Red Giant Movies) විසින් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ.
මූලාශ්‍රය - "Daily Mirror"



