කන්ගනා ඉන්දීය ජාතික කොන්ග්‍රසයට දෙහි කපයි
ඉතාලි ආණ්ඩුවේ පාලනයෙන් මිදී ඇති ඉන්දියාව අද වනවිට වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම නිදහස් රාජ්‍යයක් යැයි පවසමින් ජනප්‍රිය බොලිවුඩ් නිළි කන්ගනා රනාවුත්, ඉන්දීය ජාතික කොන්ග්රස් පක්ෂය පිළිබඳව උපහාසයෙන් යුතුව කතා කර තිබේ.
ඉන්දීය මහ මැතිවරණයේ සිව්වැනි අදියරේ ඡන්ද විමසීමේ දී මුම්බායි නුවර සිට සිය ඡන්දය ප්‍රකාශ කළ කන්ගනා, එරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.
“අද ඉතා වැදගත් දවසක්. මේ දිනය එන්නේ වසර පහකට වරක්, ඒ නිසා එයින් ප්‍රයෝජන ගන්න. වර්තමාන ඉන්දියාව වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම නිදහස අත් කරගනිමින් සිටින බව මට හැඟෙනවා. මොකද මිට පෙර අපි මූගල්, බ්‍රිතාන්‍ය සහ ඉතාලි ආණ්ඩුවල අතවැසියන් ලෙස ජිවත් වුණේ. ඒ නිසා කරුණාකර ඔබගේ අයිතිය පාවිච්චියට ගෙන ඡන්දය ප්‍රකාශ කරන්න,” යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.
කන්ගනා මෙහිදී ඉතාලි රජය ලෙසින් ව්‍යංගයෙන් සඳහන් කර ඇත්තේ රාහුල් ගාන්ධි විසින් වත්මන් නායකත්වය හොබවන කොන්ග්රස් පක්ෂය ආණ්ඩු කළ සමය පිළිබඳව යි. රාහුල් ගාන්ධි, හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ සහ සෝනියා ගාන්ධිගේ පුතු ය. රජිව් ගාන්ධි ඝාතනය කිරීමෙන් පසුව දශක දෙකකට ආසන්න කාලයක් ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ පාලනය ගෙන ගියේ ඉතාලියේ උපන් සෝනියා ගාන්ධි විසිනි.