ඉන්දියාව තුළ බුර්කාව තහනම් කරනවා නම්, රාජස්ථාන කාන්තාවන් බහුල වශයෙන් අනුගමනය කරන “ගුන්ගත්” චාරිත්‍රය ද ඊට සමගාමිව තහනම් කළ යුතු බව ඉන්දීය ගේය පද රචක ජවේඩ් අක්තර් පවසනවා.
බුර්කාව තහනම් කරන ලෙස එරට අගමැති නරේන්ද්‍ර මෝඩි ගෙන් ඉල්ලමින්, ශිව සේනා දේශපාලන පක්ෂයේ මතය නියෝජනය කරන “සාමනා” පුවත්පතේ කතුවැකියක් පළ වී දිනකට පසු සිය අදහස් දක්වමින් ජවේඩ් අක්තර් මේ බව ප්‍රකාශ කර ඇත. අනන්‍යතාවය තහවුරු කරගැනීමට බාධාවක් වන පරිදි මුහුණ ආවරණය කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය වූ පසු ජාතික අවශ්‍යතාවක් සේ සලකා ඉන්දියාව තුළ ද එසේ කරන මෙන් ඉල්ලමින් සාමනා පුවත්පතේ මෙම කතුවැකිය පළ කර තිබුණි.
“බුර්කාව තහනම් කරන නීතිය ඔබට මෙහෙට (ඉන්දියාව) ගෙන එන්න ඕනෑ නම් එය කෙනකුගේ මතය නම් මාගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් රාජස්ථානයේ පැවැත්වීමට නියමිත අවසන් අදියරේ ඡන්දයට පෙර, මේ රජය එම ප්‍රදේශය තුළ ගුන්ගත් චාරිත්‍රයේ තහනම ප්‍රකාශයට පත් කළ යුතු යි,” යනුවෙන් ඔහු පවසා තිබේ.
“ගුන්ගත්” යනුවෙන් හඳුන්වන්නේ හින්දු කාන්තාවන් විසින් සාරියෙන් සිය මුහුණ ආවරණය ගැනීම යි.
“මම හිතනවා ගුන්ගත් සිරිත නැති කළ යුතුයි ඒ වගේම බුර්කාව නැති කළ යුතුයි. මම එයින් සතුටු වේවි. ඉරාකය මුස්ලිම් රාජ්‍යයක් නමුත් එහි සිටින කාන්තාවන් සිය මුහුණ වසා ගන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියෙන් පවා මුහුණ වසා ගැනීම තහනම්.”