සිනමාශාලාවල මත්පැන් අලෙවිය අත්හිටුවයි
සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් බලපත්‍ර සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ලබා දෙන නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මේ අනුමැතිය හිමි වී ඇත.
ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරීමෙන් පසු මුල් අවධියේ දී සිනමාශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුව ද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වාගෙන යාම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.
සිනමාශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මගින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයන් අපහසුතාවන්ට ලක්වන බවත් මේ හේතුව නිසා සිනමාශාලා වෙත පැමිණෙන නරඹන්නන්ගේ සංඛ්‍යාව අඩු වී ඇති බවත් රජය පෙන්වා දී තිබේ.
එබැවින් ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත්, මතින් තොර රටක් ගොඩනැගීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන ඇත.