''ජනාධිපති සිනමා සම්මාන උළෙල'' 26 වැනිදා
දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන ''ජනාධිපති සිනමා සම්මාන උළෙල'' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 26 වැනිදා පස්වරු 06.00 ට කොළඹ නෙළුම් පොකුණ රගහලේ දී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිත බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඊයේ (23) දින සෙත්සිරිපායේ දී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
19 වන වරට සංවිධාන කෙරෙන මෙම සම්මාන උළෙලේ දී 2016, 2017 සහ 2018 වර්ෂවල තිරගතවූ සිනමා කෘති අගයමින් සම්මාන 96ක් පිරිනැමීමට නියමිත ය.
එසේම සිනමාව වෙනුවෙන් කැපවුණු සිනමාවේදීන් 11 දෙනෙකු සඳහා පුරෝගාමී විශ්ව කීර්ති සහ ස්වර්ණ සිංහ සම්මාන පිරිනමන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.