ප්‍රවීන හොලිවුඩ් නළු පීටර් ෆොන්ඩා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීන ඇමරිකානු රංගන ශිල්පියෙක්, අධ්යක්ෂවරයෙක් මෙන්ම නිෂ්පාදකවරයෙක් වූ පීටර් ෆොන්ඩා අභාවප්‍රාප්ත වී තිබේ.
ලොස් ඇන්ජලිස් නුවර පිහිටි නිවසේ දී ඔහු මෙලොවින් සමුගෙන ගිය බවට ඔහුගේ පවුල විසින් නිවේදනය කර ඇත. පෙනහළු පිළිකාවකින් පීඩා විඳි පීටර් ෆොන්ඩා මියයන විට 79 හැවිරිදි වියේ පසුවිය.
පීටර් ජනප්‍රිය හොලිවුඩ් පවුලක එක් සාමාජිකයෙකි. ඔහුගේ පියා හෙන්රි ෆොන්ඩා ඇකඩමි සම්මාන දිනූ රංගන ශිල්පියෙක් වන අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ජේන් ෆොන්ඩා ඇකඩමි, බැෆ්ටා, ගෝල්ඩන් ග්ලෝබ්, එමී ඇතුළු සිනමා සම්මාන රැසකින් පිදුම් ලැබූ රංගන ශිල්පිනියකි. පීටර්ගේ දියණිය බ්‍රිජට් ද රංගන ක්ෂේත්රයේ නමක් දිනා ගත් තැනැත්තිය කි.
Tammy and the Doctor චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී 1963 දී සිනමා ක්ෂේත්රයට පිවිසි මේ කලාකරුවා ජනප්‍රසාදයට පත්වුයේ 1969 ඔහු රංගනයෙන්, තිරරචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වූ Easy Rider සිනමාපටයෙනි. හොඳම තිරරචනය සඳහා වූ ඇකඩමි සම්මානය උදෙසා ද එම චිත්‍රපටය නිර්දේශ විය.
පීටර් ෆොන්ඩා චිත්‍රපට 40 කට සහ ටෙලි නාටක 20 කට වැඩි ප්‍රමාණයක් සඳහා රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන්, තිර රචනයෙන් සහ නිෂ්පාදනයෙන් දායකත්වය ලබා දී තිබේ.
ඔහුගේ අභාවය පිළිබඳ ලොවපුරා කලාකරුවන්, රසිකයින් ශෝකය පළ කර ඇත.