විශ්ව රූ රැජින තරගාවලියට ද.ආසියාතික මුස්ලිම් රටකින් පළමුවරට තරගකාරිනියක් එක්වෙයි
මුස්ලිම් ජාතිකයින් බහුතරයක් වෙසෙන, දකුණු ආසියාතික රටකින් විශ්ව රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත් පළමු වැන්නා වීමට බංග්ලාදේශ ජාතික ‘ශිරින් අක්තර් ශීලා’ පසුගිය ඔක්තෝබර් මස අග දී සමත් වුවා ය. මින් පෙර මුස්ලිම් ජාතික තරගකාරියන් විශ්ව රූ රැජින තරගයට සහභාගි වී තිබුණ ද ඒ මැද පෙරදිග හෝ අප්රිකානු කලාපය නියෝජනය කරමිනි.
ඩකා නුවර දී පැවැත්වුණු අවසන් මහා තරගයේ දී ශිරින් අක්තර්ට කිරුළ පැළඳුවේ 1994 දී විශ්ව රූ රැජින කිරුල දිනු බොලිවුඩ් රංගන ශිල්පිනි සුශ්මිතා සෙන් විසිනි.
ඒ අනුව ඇය එළඹෙන දෙසැම්බර් 8 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත 68 වැනි විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වීමට නියමිත ය. එම තරගය සඳහා රටවල් 130 ක් නියෝජනය කරමින් සුරූපිනියන් එක් වේ.
බංග්ලාදේශය, ලෝක රූ රැජින තරගය සඳහා 1994 පටන් සුරූපිනියන් ඉදිරිපත් කර තිබුණ ද මෙම තරගය සඳහා තරගකාරියක් ඉදිරිපත් කරන්නේ පළමු වරට ය.
ශ්රී ලංකාව, ඉන්දියාව සහ නේපාලය විශ්ව රූ රැජින තරගාවලිය සඳහා සහභාගී වන අනෙකුත් දකුණු ආසියානු රටවල් වේ.