"අසන්ධිමිත්තා" චීනයේ ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උලෙළට
නොවැම්බර් මස 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා චීනයේ ෂාමන් නගරය ආශ්‍රිතව පැවති 28 වෙනි ස්වර්ණ සැවුල් හා සියක් මල් සිනමා උලෙළ (ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් ෆිල්ම් ෆෙස්ටිවල්/ Golden Rooster & Hundred Flowers Film Festival) නියෝජනය කිරීමට අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ "අසන්ධිමිත්තා" සිනමාපටය සමත් විය. උලෙළේ අන්තර්ගත වූ අන්තර්ජාතික සිනමාපට අංශය (International Film Section) යටතේ උලෙළ නියෝජනය කළ "අසන්ධිමිත්තා" නොවැම්බර් 21 සහ 23 යන දෙදිනයන් හිදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරුනි. ඒ අනුව චීනයේ ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උලෙළ නියෝජනය කිරීමට සමත්වූ පළමු ශ්‍රී ලාංකේය සිනමාපටය බවට "අසන්ධිමිත්තා" පත්විය.
1981 දී ආරම්භ වූ ගෝල්ඩන් රූස්ටර් සම්මාන උලෙළ (Golden Rooster Awards) සහ 1962 දී ආරම්භ වූ පීපල්ස් හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සම්මාන උලෙළ (People's Hundred Flowers Awards) යන චීන ජාතික සම්මාන උලෙළයන් ද්විත්වය එකාබද්ධ කරමින් 1992 දී ගෝල්ඩන් රූස්ටර් හා හන්ඩ්‍රඩ් ෆ්ලවර්ස් සිනමා උලෙළ (Golden Rooster & Hundred Flowers Film Festival) ආරම්භ වුනි. මුල් කාලීනව පෙරකී සම්මාන උලෙළයන් නියෝජනය කරන සිනමාපට ඇතුළුව චීන භාෂිත සිනමාපට පමණක් තිරගත වුනු මෙම උලෙළ පසු කාලීනව විදේශීය සිනමාපට සදහා ද විවෘත වූ අන්තර්ජාතික සිනමා උලෙළක් බවට පරිවර්තනය විය. මෙවර රටවල් 20ක් නියෝජනය කරමින් විදෙස් සිනමාපට 30ක් ද, එයට අමතර චීන ජාතික සිනමාපට 50 ක් ද උලෙළේ තිරගත විය. උලෙළට සමගාමීව පැවති ගෝල්ඩන් රූස්ටර් සම්මාන උලෙළ නියෝජනය කළ චීන භාෂිත සිනමාපට ගණන 277කි.
ආසියාවේ සුවිශාලතම සිනමා උලෙළ ලෙසට සැලකෙන දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙන් (Busan International Film Festival) 2018 වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර ගමන් ඇරැඹූ "අසන්ධිමිත්තා" සිනමාපටය මේ වන විට තිරගතව ඇති අන්තර්ජාතික සිනමා උලෙළ ගණන 07 කි.
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි