ප්‍රකට වේදිකා නාට්‍ය අධ්යක්ෂ , ලේඛක ජොනතන් මිලර් දිවි ගමනින් සමුගනියි
Beyond the Fringe නම් ප්‍රකට ප්‍රහසන රංගයේ රඟපෑ කෘතහස්ත වේදිකා සහ ඔපෙරා අධ්යක්ෂ ජොනතන් මිලර් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 85කි.
ඇල්සයිමර් රෝගයෙන් දිගු කාලයක් තිස්සේ පීඩා විඳි ජොනතන් මිලර් සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බව ඔහුගේ පවුල විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ඔහු ලේඛකයෙක්, ඡායාරූප ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, ගුවන්විදුලි සම්ප්රවේෂකයෙක් මෙන්ම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ද විය. 1934 දී ලන්ඩනයේ උපත ලද මිලර් කලාවට පිවිසීමට පෙර කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදෑරුවේ ය.
1960 දී රංගගත කළ Beyond the Fringe නිසා ජොනතන් මිලර්ට “මොනිටර්” නම් BBC කලා වැඩසටහනේ සංස්කාරක සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නා ලෙස ද ලන්ඩනයේ National Theatre හි වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක් ලෙස ද කටයුතු කිරීමට මඟ පෑදී ය.
කලාව සහ සංගීතය උදෙසා කළ මෙහෙය අගයමින් 2002 වසරේ දී ඔහු නයිට් පදවියෙන් ද පිදුම් ලැබුවේ ය.