නොබෙල් සාහිත ත්‍යාග කමිටු සාමාජිකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
නොබෙල් ත්‍යාගය පිරිනමන ස්වීඩන් ඇකඩමිය වෙත එල්ල වූ විවේචන හේතුවෙන් නොබෙල් සාහිත ත්‍යාග කමිටුවේ බාහිර සාමාජිකයින් දෙදෙනෙක් ඉන් ඉවත් වී තිබේ.
මෙසේ ඉවත්ව ඇත්තේ ගන්-බ්‍රිට් සන්ඩ්ස්ටෝම් සහ ක්‍රිස්ටෝෆර් ලීන්ඩර් නම් ලේඛකයින් දෙදෙනා යි.
2019 වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානය පීටර් හෑන්ක්ට පිරිනැමීම ගැන එකඟ නොවීම තමන්ගේ ඉල්ලා අස්වීමට හේතු වූ බව ලේඛක ගන්-බ්‍රිට් සන්ඩ්ස්ටෝම් පුවත්පතකට පවසා ඇත.
1990 ගණන්වල යුගෝස්ලෝවියා යුද සමයේ දී සර්බියානුවන්ට සහය පළ කිරීම නිසා දැඩිව මතභේදයට ලක්වූ පුද්ගලයෙක් වන පීටර් හෑන්ක්ට මේවසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය ප්රදානය කිරීම ගැන විවේචන එල්ල විය.
මතබේදයට තුඩුදුන් ලිංගික අපයෝජන සිදුවීමෙන් පසුව ඇකඩමිය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බොහෝ කාලයක් ගැනීම තමන්ගේ ඉවත්වීමට හේතු වූ බව ක්‍රිස්ටෝෆර් ලීන්ඩර් පුවත්පතකට පවසා ඇති අතර ඊට 2019 නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ තීරණය සමඟ සම්බන්ධයක් නැති බවත් වැඩිදුරටත් පවසා තිබේ.
ස්වීඩන් ඇකඩමියේ හිටපු සාමාජිකාවක වන කැතරිනා ෆ්රෝස්ටෙන්සන් නම් කිවිඳියගේ ස්වාමිපුරුෂයා සම්බන්ධ සදාචාර විරෝධී සිදුවීමක් නිසා 2018 වසරේ නොබෙල් ත්‍යාගය පිරිනැමීම අත්හිටුවීමට ඇකඩමිය තීරණය කරන ලදී.
ගන්-බ්‍රිට් සන්ඩ්ස්ටෝම් සහ ක්‍රිස්ටෝෆර් ලීන්ඩර්ගේ ඉවත්වීම ස්වීඩන් ඇකඩමිය විසින් තහවුරු කර ඇත.