පසුගියදා අපෙන් සමුගත් මාධ්‍යවේදිනී චන්දිමා පීරිස් වෙනුවෙන් 'විදර්ශන ප්‍රකාශන' අධිපති ජනක ඉණිමංකඩ තැබූ සටහනකි.
90 දශකයේ මුලදී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය තාක්ෂණිකව නව ගමනක ආරම්භය සනිටුහන් කරමින් තිබුණේ ඇමුණූ අකුරු වෙනුවට පරිගණකගත අකුරු වෙත මාරු වෙමිණි. ඒ පසුපස යමින් ඩිජිටල් කවර නිර්මාණය පසු කාලීනව ඊට අනුයුක්ත වෙමින් මෙකී කර්මාන්තයේ නව්‍ය යුගය 90 දශකයේ මැදදී ස්ථාවර කළේය.
60 දශකයේ මුල පමණ සිට යතුරු ලියනය ස්ත්‍රී කාර්‍යයක් ලෙස බහුලව සැළකුණද, 90 දශකය මුල ඇරඹි නව තාක්ෂණික පරිගණක යතුරු ලියනය වෙත මුල් කාලීනව යොමු වූ කාන්තාවෝ සුලබ නොවූහ.
එකී 90 දශකයේ මුලදී පරිගණකය සුලබ නොවූවද පරිගණක යතුරු ලියනය ජනප්‍රිය වෙමින් පැවතියද එහි සුහුරු වූවෝ අල්ප වූහ.
ලේඛක ලේඛිකාවන්ගෙන් 95% ක් පමණම එකල තම කෘති අත් අකුරින් ලියා ප්‍රකාශකයන් වෙත ඉදිරිපත් කළ අතර කිහිප දෙනෙකු පමණක් එය යතුරු ලියනය කර ඉදිරිපත් කළහ.
ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය නවීකාරක වෙමින් පැවති එම යුගය පරිගණක යතුරු ලියනයෙන් ශෝභාමත් කළ කාන්තා චරිත කිහිපයක් විය. ඔවුන් ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ නිහඬ වීරවරියන් ලෙස නම් කිරීම සාධාරණය.
එම නිහඬ වීරවරියන් අතර ඉහළින්ම කියවෙන නාමය චන්දිමා පීරිස් වේ. (දර්ශිකා රණසිංහ, ප්‍රඥා වර්ණ යෝජකයෝ හී වරින්වර සේවය කළ තරුණියන්, උදයංගනී හා ධම්මිකා සිරිවර්ධන සොයුරියන්... චන්දිමා සමඟ ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ නවීකාරක මුල් යුගය දීප්තිමත් කළ අය වූහ.)
1994 දී පමණ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය වෙත පරිගණකයක් මිලදී ගත් විට එම මධ්‍යස්ථානයේ නිත්‍ය යතුරු ලියනිය වූ දර්ශිකා ට පරිගණක පුහුණුව ලබා දීමට පැමිණි කාලයේ මම මුලින්ම චන්දිමාව හඳුනා ගතිමි.
මතකයෙන් කිව නොහැකි තරම් ස්ථානවල පරිගණක යතුරු ලියනය, පිටු සැකසීම කළ චන්දිමා 'රාවය' පුවත්පත වෙත ඇගේ දායකත්වය විශිෂ්ටව ලබා දුන්නාය.
ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශනය හා විකල්ප පුවත්පත් හා සඟරා අති විශාල ප්‍රමාණයක් ඇගේ වර්ණ යෝජනයෙන් හැඩ විය.
පරිගණක යතුරු ලියනය පසුකාලීනව සුලබ වුවද එහි විධිමත්භාවය හා නිවැරදිභාවය දුබල විය. චන්දිමා හා ඇගේ පරම්පාරාවේ මෙකී ශිල්පීන් එම දුබලතා රහිත අතළොස්සක් වූ සුහුරු පිරිස නියෝජනය කළෝය.
ලේඛක ලේඛිකාවන් බස නිවැරදි නොවන ලෙස ලියූ දේ බස නිවැරදිව සකසා පරිගණක ගත කිරීමේ දුලබ හැකියාවෙන් යුතු ඉතා අතළොස්සක් වන ලාංකික පරිගණක වර්ණයොජක පිරිසේ මුල් පරම්පරාවේ අනර්ඝ මැණිකකි චන්දිමා.
අද චන්දිමා ඇගේ දිවි සැරිය නිම කරයි.
අඩ සියවසක් තරම් කෙටි ජීවිත කාලය තුළ සියවසක් පවතින වැඩ නිහඬව ඉටු කළ ඈ අද පිළිකා රෝගය ඉදිරියේ පැරදී නික්ම යන්නේ ලංකාවේ ග්‍රන්ථ පාඨකයන් වෙත විධිමත්ව අකුරු සංයෝජනය කළ, පරිගණක අකුරු වෙත ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශනය පීලි මාරු කරන විට ඒ වෙනුවෙන් සුවිසාල මෙහෙවරක් කළ නිහඬ වීරවරියක ලෙසිනි.
කී බෝඩය සුලබ මෙවලමක්ව පවතින අද දිනයේ බොහෝ දෙනා චන්දිමාව නොදැන සිටීම අරුමයක් නොවේ. ලංකාවේ ග්‍රන්ථ පාඨකයන් වැඩිදෙනා ඈ නොදැන සිටීමද අරුමයක් නොවේ. ලේඛකයා, ප්‍රකාශකයා අධිනිශ්චය වන කර්මාන්තයක ඒ පිටුපස සිටින නිහඬ විරුවන්, වීරවරියන් නොපෙනී යාම සාමාන්‍යයකි. ඕනෑම කර්මාන්තයක එය එසේය.
නමුදු, ඇගේ දෑඟිලි යතුරු පුවරුව මත බුහුටිව ගමන් කරන ඒ අතීත මතකය මෙකී කර්මාන්තයේ එකී නව්‍ය ආරම්භක අවධිය දුටු මාහට අමතක කළ නොහැක.
චන්දිමා, ඔබට සුබ රාත්‍රියක්!
ජනක ඉණිමංකඩ